ආර්ථිකයේ ඩිජිටල් පිම්ම. - Info Sri Lanka News | Sinhala

ආර්ථිකයේ ඩිජිටල් පිම්ම.


ශ්‍රී ලංකා ආර්ථිකය ඩිජිටල්කරණය යුගයක් කරා ක්‍රමිකව පියවර තබමින් සිටියි. මේ, නව තාක්ෂණික හා නවලොව දැනුම පාදක වූ මානව සම්පතක් සහිත රටක් බවට අප රට පත්වීමේ පෙර නිමිති පහළ කිරීමක් ද වේ.

වසර 2016 ඩිජිටල් ආර්ථිකයක් කරා වූ අපගේ ගමන ආරම්භ වූ බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා 2017 අයවැය වාර්තාව රටට ඉදිරිපත් කරමින් ආර්ථිකය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ ඇරඹීමට රුපියල් මිලියන 15000ක් වෙන්කළ බව මේ මොහොතේ සිහිපත් වේ.

“සැමට ප්‍රතිලාභ හිමිවන, වේගවත් වර්ධනයක් කරා...” තේමාව යටතේ වසර 2017 අයවැය වාර්තාව ඉදිරිපත් කරමින් මෙරට ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම උදෙසා රජය නවමානයක් පෙන්වාදුන්නේය.

වෙළෙඳපොළට හා තාක්ෂණයට කඩිනම් ප්‍රවේශයක් සැලසීම පහසුකරමින් මිනිස් අකාර්යක්ෂමතාවය හා අයුතු ආර්ථික ප්‍රතිලාභ ලබාගැනීමේ පුරුදු මඟහරවාලමින් රාජ්‍ය පාලනය විනිවිදභාවය සහ රාජ්‍ය සේවා සැපයීම දියුණු කිරීම මේ ඩිජිටල්කරණයේ අරමුණයි.

ජයග්‍ර‍හණයක්

ඩිජිටල්කරණය තුළින් නව අදහස් ඉදිරිපත්වීමේ වේගය වැඩිවීම, නව සොයාගැනීම් හා ඵලදායිතා වර්ධනය වීම, එමඟින් තරගකාරි පසුබිමක් නිර්මාණයවීම සිදුවේ. මෙබඳු පසුබිමක් යටතේ ශ්‍රී ලංකාව මේ වසරේ හා ඉන් ඔබ්බට ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම උදෙසා අවශ්‍ය යටිතල පහසුකම් සැපැයීම සැලසුම් කළ යුතුමය.

මෙහි මුල් පියවරක් වශයෙන් මේ වසරේ අයවැය ඒකාබද්ධ භාණ්ඩාගාර කළමනාකරණ තොරතුරු පද්ධතිය හා ආදායම් පරිපාලන හා කළමනාකරණ තොරතුරු පද්ධතිය තුළින් ක්‍රියාත්මකය.

ආදායම් පරිපාලන කළමනාකරණ පද්ධතිය රජයේ ආයතන 23 සමඟ සජීවි ව සම්බන්ධ වී ඇත. සෑම ව්‍යාපාරයකට ම එක හා සමානව ව්‍යාපාර කටයුතු කරගෙන යාමට අවශ්‍ය පසුබිමක් සකස් කිරීමටත්, වෙළෙඳ පොළ තුළ පවත්නා වෙනස්කම් නැති කිරීමටත් හැකිවන පරිදි බදු පරිපාලනය හා බදු පදනම ව්‍යාප්ත කිරීමත් සිදුකැරේ.

මේ අන්දමට බදු පරිපාලනය හා බදු පදනම් තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාගැනීමට හැකිවීම විශාල ජයකි. බදු ගෙවන්නන් සඳහා ඊ ලිපිගොනු හා ඊ ගෙවීම් අන්තර්ගත නව කාර්යාලයක් නිර්මාණය (Virtual office) කිරීමට පහසුකම් සැපයීම සිදු කැරෙනු ඇත.

හැනුම්පත

තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) විසින් දැනට ක්‍රියාත්මක කරගෙන යනු ලබන ජාතික ඩිජිටල් හැඳුනුම්පත මඟින් සියලුම පුද්ගලයන්ට ව්‍යාපාරික ස්ථානවලට හා රාජ්‍ය සේවා ලබාගැනීමේදී සිය ගාස්තු ආරක්ෂාකාරී ලෙස ඩිජිටල් පරිසරයක ගනුදෙනු ලෙස සිදු කිරීමේ හැකියාව ඉදිරියේදී හිමිවනු ඇත.

හඳුන්වාදෙන නව ජාතික ඩිජිටල් හැඳුනුම්පත භාවිතා කිරීමෙන් අප ජන සමාජයේ අවධානය යොමු විය යුතු කණ්ඩායම් සඳහා සමාජ රැකවරණය හා වඩා ඵලදායි, කාර්යක්ෂම සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීමටද ප්‍රයෝජනයට ගත හැකිය.

සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුටම ලේඛන අස්සන් තැබීම සඳහා ඩිජිටල් අස්සනක් ලබාදීම ඉදිරි කාලයේ සිදු කිරීම ඩිජිටල්කරණ ක්‍රියාදාමයේ ගමන වේගවත් කරන්නක් වනු ඇත.

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ආයතනය විසින් ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන රථවාහන පාලනය කිරීම සඳහා මාර්ග ගාස්තු අයකිරීමේ ක්‍රමයක්ද ක්‍රියාත්මක කිරීමට සූදානම්ය. ඩිජිටල් ආර්ථිකය සඳහා පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නා අතර , සයිබර් ආරක්ෂාවද සහතික කිරීමට රජය පියවර ගත යුතුය. ඒ අනුව තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනය තොරතුරුවල දේශීය ඒකාග්‍රතාවය බ්ලෝක්චේන් තාක්ෂණය භාවිතා කරමින්ද, විශේෂිත ලේඛන ආරක්ෂිත යතුරක් භාවිතා කරමින්ද ආරක්ෂා කිරීමට පියවර ගනු ඇත.

සයිබර් අපරාධ වැළැක්වීම හා තොරතුරු හා දත්තවල ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා රජය ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගය ලබාගැනීමට කටයුතු කොට ඇත.

සියලුම රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා ආයතන වීඩියෝ සම්මන්ත්‍රණ ක්‍රමයක් මඟින් සම්බන්ධකර වඩා යහපත් අන්තර් සම්බන්ධතාවයක් රාජ්‍ය ආයතන අතර ඇති කිරීම සඳහා අවශ්‍ය කාර්යක්ෂමතාවය සහ පහසුව ඉදිරියේදී වැඩි දියුණු කරනු ලැබේ.

රාජ්‍ය සේවය

රාජ්‍ය සේවය සැලසීමේදී වඩා ඉහළ විනිවිදභාවයක් හා කාර්යක්ෂමතාවයක් ඇතිකරවීම සඳහා අවශ්‍ය අන්තර් රාජ්‍ය ඩිජිටල් ලේඛනය ද ක්‍රියාත්මක කරනු ඇත. මෙමඟින් පරිසරය රැකගැනීමද අපේක්ෂා කැරේ.

ශ්‍රී ලංකා ආර්ථිකය ඩිජිටල්කරණය කිරීමේ යෝජනා ක්‍රියාත්මක කිරීමට මේ වසරේදී රජය රුපියල් මිලියන පහළොස් දහසක මුදලක් වෙන්කොට තිබීම පැසසිය යුතු කරුණකි.

ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ සුවිසල් පෙරළියක් සිදු කරමින් ඉදිරි වසර හතර තුළ, කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය ගොඩනැ‍ගේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත විදේශීය ණය ආධාර වෙනුවට විදේශීය ඍජු විදේශ ආයෝජන රටට කැඳවා ගැනීමේ සැලසුම් ඉදිරිපත්කොට ඇත.

මේ අන්දමට ලොව සියලු රටවල ආර්ථික හා සම්බන්ධවීමට රටවැසියන්ට ඉඩකඩ හිමිකර දීමෙන් නව රැකියා අවස්ථා බිහිවේ. එම රැකියා අවස්ථා ඉහළ වැටුප් සහිත හා ලොව පිළිගත් වෘත්තිමය වටිනාකම් සහිත ඒවා වීම නිසා අප රටේ ජනයාගේ ඒක පුද්ගල ආදායම ඉහළ යනු ඇත.

සංචාරක, වාණිජ, කර්මාන්ත, ආයෝජන ඇතුළු තවත් අංශ රැසක දියුණුවට මඟපාදන කොළඹ මූල්‍ය නගර ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටියි. මේ තුළින් රටේ සෑම පුරවැසියෙකුටම ප්‍රතිලාභ ගලායෑමේ වැඩපිළිවෙළක් ද සැලසුම් කොට ඇත.

ගම නැංවීම

මුළු රටම ආර්ථික කලාපයන්ට, අපනයන සංවර්ධන ගම්මාන, පොකුරු ගම්මාන, ග්‍රාම රාජ්‍ය සංකල්පය ඔස්සේ බලගැන්වීම ඉලක්කකොට ඇත.

ගම නංවන, ගමේ ජනතාව බලගැන්වෙන මේ සියලුම සැළසුම් සාර්ථකව ක්‍රියාවට නැංවෙන අතර, මහා පරිමාණ වරාය, ගුවන් සේවා, කර්මාන්තපුර, ආයෝජන කලාප ද ක්‍රියාත්මක වනු ඇත. මේ හරහා ඉදිරි 2020 වන විට රට අලුත් ජවයක්, ජීවයක් ලැබූ ආර්ථික අතින් දියුණු වූ බිමක් බවට පරිවර්තනය වනු ඇත.

ජයසිරි මුණසිංහ

Share on Google Plus