Ads Top

Ray Ad

ආර්ථිකයට උගුල් ඇටවීම.


ඉන්දියාවත් සමඟ ආර්ථික සංවර්ධන අවබෝධතා ගිවිසුමකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබුණු බව වාර්තා විය. ඒ සමඟම වාර්තා වූයේ සුපුරුදු ආරක්ෂණවාදී තර්ක විතර්ක ද නැවත මතු වූ බවයි. අපේ රටේ සම්පත් විදේශිකයන්ට දීමේදී පරිස්සම් විය යුතු බව ආදී අවවාද ලැබුණු බවයි. ඉන්දියාවත් සමඟ කුමන ගිවිසුමකට ආණ්ඩුව උත්සාහ කළද මෙබඳු ප්‍රතිචාර ලැබෙන බව පෙනෙන්නට තිබේ. හම්බන්තොට වරාය සංවර්ධනයට චීනය සම්බන්ධ කර ගැනීමේදී ද මෙබඳුම ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවීය.

ඉන්දියාවත් සමඟ ගිවිසුමකට එළඹීමට යන්නේ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් සඳහා එරට සමාගම්වල සහාය ලබාගැනීමටය. ත්‍රිකුණාමල වරාය සංවර්ධනය සහ එහි තෙල් පිරිපහදුවක් ඉදිකිරීම, කොළඹ වරායේ නව පර්යන්තයක් සඳහා ඉන්දීය ආයෝජන ලබාගැනීම ආදිය එම ව්‍යාපෘති අතරට ඇතුළත් බව වාර්තා විය.

ඇතැමුන් මෙය අර්ථ දක්වනු ඇත්තේ හම්බන්තොට වරාය සංවර්ධනයට චීනය හවුල්කර ගැනීම ගැන ඉන්දියාව අමනාප වීම වළක්වා ගැනීමේ උපායක් වශයෙන්ය. ඇත්ත වශයෙන්ම එබඳු ප්‍රශ්නයක් ඇති බව ද පිළිගත යුතුය. අනෙක් අතට අපට කළ නොහැකි වැඩට ඔවුන් හවුල් කර ගැනීම ද අවශ්‍යය.

ඒකාබද්ධ විපක්ෂය මේවාට කියන්නේ රටේ සම්පත් විකුණනවා කියාය. ඔවුන්ට අනුව මේ සියල්ල රජය යටතේම තබාගෙන සංවර්ධනය කළ යුතුය. එසේ වුවද මේ ව්‍යාපෘති සංවර්ධනයට මුදල් අවශ්‍යය. රට ණය උගුලක හිර නොවී තිබුණා නම් සංවර්ධනයට අවශ්‍ය මුදල් ණයට ලබාගත හැකිය. මහවැලිය වැනි ව්‍යාපෘති කළේ එහෙමය. එසේ වුවද පසුගිය කාලයේ ගිනි පොලියට ණය ගෙන කළ සෝබන ව්‍යාපෘතිවලින් ආදායම් නැත. දැන් සියල්ල ආදායම් ලබන තත්ත්වයට පත්කළ යුත්තේ රට තව තවත් ණය උගුලේ හිර නොවන ආකාරයෙනි. ණය උගුලෙන් ගොඩයන ආකාරයෙනි. ආණ්ඩුව දැන් කරමින් සිටින්නේ එයයි.

ණය උගුලෙන් ගැලවීම

හම්බන්තොට වරාය අපට තිබූ වටිනාකම කුමක්දැයි අපි දනිමු. සේවකයන් එහි මාළු බාමින් සිටි ආකාරය ලොවම දැක්කේ ජනමාධ්‍යවල ගිය වාර්තාවලිනි. එය දියුණු කිරීමට අප රටට කළ හැකි දේ අල්පය. එහෙත් චීනයට එය එසේ නොවේ. ඔවුන් සිටින්නේ අතීතයේදී චීනයෙන් බටහිරට තුබූ සේද මාවත වැන්නක් මුහුදින් ද ගොඩනඟමිනි. චීනයේ නිෂ්පාදන අප්‍රිකාවට හා යුරෝපයට ගෙන යන මාවතක් සකස් කරමිනි. එම මාවතේ මධ්‍යස්ථානයක් ලෙස හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම චීනාට උපාය මාර්ගික ලෙස වැදගත් ය. ඒ සමඟම එයින් අප රටට ලැබෙන මුදල රට ණය උගුලින් ගොඩගැනීමට සහනයක් ද වෙයි. ආණ්ඩුව වට ගණනාවකින් සාකච්ඡා කොට ගිවිසුම් සකස් කළේ ඒකටය. දැන් එය අවසන් අදියරේය. මේ මස අවසානය වන විට ගිවිසුම අත්සන් කළ හැකි බව කියති. එයම රටේ ආර්ථිකයේ හැරෙන ලක්ෂයක් වන බව ද පෙනෙන්නට තිබේ.

ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනයට ඉන්දියාවට ඇති අවශ්‍යතාව බොහෝ දෙනා නොදන්නා කාරණයකි. සමහරු හිතන්නේ ඉන්දියාවේ වරායයන් තිබෙන නිසා ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනයට ඔවුන් අකමැති විය හැකි බවයි. එසේ වුවද මේ වන විට ඉන්දියාවේ ප්‍රධාන වරායක් බවට පත්ව ඇත්තේ කොළඹ වරායයි. එරටෙහි අපනයන ආනයන කටයුතු බොහොමයක් සිදුවන්නේ කොළඹ වරාය කේන්ද්‍ර කරගෙනය. එය දැන් දශක ගණනාවක් තිස්සේ වර්ධනය වී ඇති තත්ත්වයකි.

ධනපති ක්‍රමයේ පවතින සංවර්ධනයේ ස්වරූපය අනුව ආණ්ඩු, ව්‍යාපාරික ආයතන මෙන්ම ව්‍යාපාරිකයන් ද තීන්දු තීරණ ගන්නේ හා ගත යුත්තේ දේශප්‍රේමය මත නොවන බව කවුරුත් වටහාගත යුතු තත්ත්වයකි. ඉන්දියාවේ මොන වරාය තිබුණද ඔවුන්ට වඩා වාසිදායක වී ඇත්තේ කොළඹ වරාය යොදාගෙන නැව්ගත කිරීම් ප්‍රතිනැව්ගත කිරීම් සිදුකිරීමය. ඔවුන් කර ඇත්තේ ඔවුන්ට ලාභ දේය. ඉදිරියට කරන්නේත් එහෙමය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත්, ආණ්ඩුවත් දැන් ක්‍රියාකරමින් සිටින්නේ අපට සංවර්ධනය කරගැනීමට අවශ‍ය සම්පත් කොටසක් චීනය සමඟ හවුලේ සංවර්ධනය කරන ගමන් තවත් කොටසක් ඉන්දියාව සමඟ හවුලේ සංවර්ධනය කර ගැනීමටය. එය ආණ්ඩුවේ සංවර්ධන උපාය මාර්ගයේ කොටසකි.

ආණ්ඩුව හරියට ආර්ථිකය මෙහෙයවන්නේ නැතැයි සමහරු කියති. ඒකාබද්ධ විපක්ෂය කියන්නේ ආර්ථිකය කඩාවැටෙන බවකි. රුපියල දිගින් දිගට අවප්‍රමාණ වන බවකි. එම ප්‍රශ්නවලට රජයට පිළිතුරු නැති බවකි. ඒ සමඟම කියන්නේ ආණ්ඩුව කරන්නේ සම්පත් විකිණීම බවකි. එසේ වුවද මේ වන විටත් පෙනෙන්නට තිබෙන්නේ ආණ්ඩුව ආර්ථිකය හරි පාරට ගෙන ඇති බවයි.

ඇත්ත වශයෙන්ම ආර්ථිකය තිබුණේ කඩා වැටුණු තත්ත්වයකය. තව තවත් කඩා වැටෙමිනි. අපනයන දිගින් දිගට පහළ වැටෙමින් පැවතිණ. ආණ්ඩුවට අභියෝග වී තිබුණේ එම තත්ත්වය ආපසු හැරවීමයි.

මේ අභියෝග ජය ගැනීමට ආණ්ඩුව ගත් පියවර ගණනාවක් සාර්ථක වී ඇත. යුරෝපයෙහි පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම අවසන්ය. දැන් යුරෝපයට කෙරෙන මාළු අපනයනය විශාල ලෙස වැඩි වී ඇත.

නිෂ්පාදනයේ සිදුවී තිබූ කඩාවැටීම ආපසු හැරී ඇති බව පසුගිය කාලයේ සංඛ්‍යාලේඛන මඟින් පෙන්නුම් කෙරිණි. යුරෝපයේ ජී. එස්. පී. ප්ලස් බදු සහනය මැයි මාසයේ ලැබුණු විට මෙරට නිෂ්පාදනයේත්, අපනයනයේත් තවත් පිම්මක් දැකගත හැකි වනු ඇත.

විදෙස් ආයෝජන

කොළඹ කොටස් වෙළෙඳපොළ යළි ශක්තිමත් වෙමින් පැවැතීම පසුගිය සති ගණනාවක් තුළ දකින්නට ලැබුණු තත්ත්වයකි. එහි වැදගත්ම සාධකය නම් විදෙස් ආයෝජන වැඩි වැඩියෙන් ලැබීමයි. පසුගිය දිනවල වාර්තා වූයේ විදෙස් මිලදී ගැනීම් ප්‍රමාණය සියයට හැත්තෑව ඉක්මවා ඉහළ ගොස් ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ මූල්‍ය කළමනාකරණය ප්‍රශස්ත මට්ටමක පවතින බවයි. උත්සව සමයේ ආනයන සඳහා විදේශ විනිමය ඉල්ලුම ඉහළ ගොස් තිබියදීම රුපියල ස්ථාවර තත්ත්වයකට පත්ව ඇති බව පසුගිය දිනවල වාර්තා විය. මේ සියල්ලෙන් පෙනී යන්නේ ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට පත්ව ඇති බවයි.

ආණ්ඩුව මේ සියලු ජයග්‍රහණ ලබා ඇත්තේ මඟහැරිය නොහැකි බාධක මැද බව ද තේරුම් ගත යුතුය. අමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමත් සමඟ ලෝක මට්ටමින් ඇතිවී තිබෙන ආර්ථික ව්‍යාකූලතාවය එක් අභියෝගයකි. දේශීය වශයෙන් බරපතළ අභියෝගයක් වූයේ දරුණු නියඟයකට මුහුණදීමට සිදුවීමයි. නියඟය කෘෂිකාර්මික නිෂ්පාදනයට මෙන්ම ඇතැම් ප්‍රදේශවල ජනතාවගේ පැවැත්මට ද දරුණු තර්ජනයක් බවට පත්ව තිබිණි. කෙසේ වෙතත් ඒ සියල්ල මධ්‍යයේ ර‍ෙට් ආර්ථිකය ස්ථාවර කරගෙන යහපත් දිශාවකට හැරවීමට ආණ්ඩුවට හැකි වී තිබේ.

දැන් තිබෙන්නේ ආර්ථිකයේ වර්ධනය වේගවත් කර ගැනීම සඳහා පියවර ගැනීමයි. ඉන්දියාව, චීනය සමඟ මෙන්ම වෙනත් රටවල් සමඟ ද ආයෝජන ගිවිසුම මෙන්ම වෙළෙඳ ගිවිසුම් ද අවශ්‍ය වන්නේ ඒ සඳහාය.

මෙහිදී ආණ්ඩුවේ උපාය මාර්ගය වී ඇත්තේ අලුත් ආයෝජන ලබාගැනීමය. ඉන්දියාවට, චීනයට පමණක් නොව සිංගප්පූරුවට, ජපානයට, ඉන්දුනීසියාවට යමින් අපේ නායකයින් කරන්නේ එම ආයෝජන ලබාගැනීමට උත්සාහ දැරීමයි.

අනෙක් උපාය මාර්ගය නම් රටට අලුත් වෙළෙඳපොළ විවෘත කර ගැනීමයි. අපට දැන් වෙළෙඳපළ තිබෙන්නේ යුරෝපයේ හා ආමෙරිකාවේය. එසේ වුවද විශාල වෙළෙඳපොළක් තිබෙන්නේ ආසියාවේය. ඒ අපට උතුරෙන් හා නැඟෙනහිරිනි. දැන් අප කළ යුතුව ති‍ෙබන්නේ එම වෙළෙඳපොළ විවෘත කරගෙන එහි ප්‍රතිලාභ ලබාගැනීමයි. ආණ්ඩුව වෙළෙඳ ගිවිසුම් ගැන සාකච්ඡා කරන්නේ ඒකටය. ඉන්දියාව සමඟ 'එට්කා' මෙන්ම චීනය, ජපානය, සිංගප්පූරුව ආදී රටවල් සමඟද නිදහස් වෙළෙඳ ගිවිසුම් අපට අවශ්‍යය.

කෙසේ වෙතත් මේ බොහොමයක් ගිවිසුම්වලට විරෝධතා එල්ල වී ඇති බව සත්‍යයකි. බොහෝ විට සිදුවන්නේ ඒවා ගැන බියපත් වීමයි. බිල්ලන් මවා ගැනීමයි. එවිට කොපමණ කීවද විරෝධය ඉවත් කරගත්තේ නැත. ඇතැම් බියපත් කිරීම් ගැන කී විට මහජනයා තුළ ද තිගැස්මක් ඇතිවීම සාමාන්‍යය.

නොරෙච්චෝලේ පරණ කතා

නොරච්චෝලේ බලාගාරය ඉදිකිරීමට විරෝධය දක්වන විට කීවේ මත්ස්‍ය සම්පත නැතිවන බව පමණක් නොවේ, ශ්‍රී මහා බෝධියට ද හානි සිදුවිය හැකි බවකි. මහවැලිය හදන විට කීවේ මේ මහා ජලාශ නිසා කඳු නාය යාමට ලක්විය හැකි බවයි. පරිසරයට මහා විනාශයක් වන බව කියා කණ්ඩලම හෝටලයට ද විරුද්ධ විය. නිදහස් වෙළෙඳ කලාප ඇතිකරන විට කීවේ සුද්දන්ට අප රටේ වහල් කලාප හදා දෙන බවකි.

ඉතිහාසයේ සිදුවූ මෙබඳු බිල්ලන් මැවීමේ කතා ගැන නැවත ද මතක් කරගත යුතු වන්නේ අදටත් මේ සිදුවන්නේ එම ක්‍රියාවලියම නිසාය.

දැන් බොහෝ විට කියන්නේ ස්වාධිපත්‍යයට හානි විය හැකි බවයි. ගිවිසුම්වලින් ගැලවෙන්නට නොහැකි වනු ඇති බවයි. එට්කා ගිවිසුම ගැන කියන්නේ ඉන්දියානු බාබර්ලාට මෙරටට එන්නට ඉඩකඩ විවර කරන බවයි. අප රටේ රූපලාවණ්‍ය කර්මාන්තයේ යෙදී සිටින සමාගම් මේ වන විට ඉන්දීය වෙළෙඳපොළ ආක්‍රමණය කරමින් සිටින බවවත් මේ කියන උදවිය දන්නේ නැත.

වාසි අවාසි මැන බැලීම

ගිවිසුම් ඇතිකරගන්නා විට හා විශේෂයෙන්ම විදේශ සමඟ ගිවිසුම් අත්සන් කරන විට වඩා පරිස්සම් විය යුතු බව ඇත්තකි. ඒ එම ගිවිසුම් වඩා සාර්ථක කරගැනීමට හා වැඩි ප්‍රතිලාභ ලබාගැනීමටය. අනෙක් අතට ඔවුන්ට ද වාසි නැතිනම් කිසිවකු අප සමඟ ගිවිසුම්වලට නොඑ‍ළඹෙන බව ද හොඳින් මතක තබාගත යුත්තෙමු. ඒ ජාතියේ ගිවිසුම් ලෝකයේ නැත.

එසේ වුවද විපක්ෂය විරෝධතා ගේන්නේ රටට වාසිදායක ගිවිසුම් ඇතිකර ගන්නට හා ඒවා සාර්ථක කරගන්නට නොවන බව ද තේරුම් ගත යුතුව ඇත. එම පිරිසට අවශ්‍ය රට ගොඩයෑම හා ආර්ථිකය වර්ධනය වීම නොවේ. ආර්ථිකය කඩාවැටෙනු දැකීමය. ආණ්ඩුවේ වැඩ කටයුතු සාර්ථක නොවනු දැකීමය. රටත්, ආණ්ඩුවත් ගොඩ ගියොත් විපක්ෂය හාන්සි වන බව ඔවුහු දනිති. ඉතින් ඔවුන් හදන්නේ ආණ්ඩුවේ වැඩ බකල් කරන්නටය. ඔවුන් විරෝධතා කරන්නේ ආර්ථිකය ගොඩදමන්න නොව අල කරන්නටය. මේ විරෝධතා පිළිබඳ තිබෙන ගේම ඒකය. ඒකට විවිධ පිල්ලි ඉදිරියට දමන බවක් ද පෙනෙන්නට තිබේ. මෙම පිල්ලි මට්ටු කිරීම ආණ්ඩුවට පමණක් කරන්න බැරිය. ජනතාව ද පෙ‍රට ආ යුතුය. ජනතාව අවබෝධයෙන් යුතුව ක්‍රියාත්මක වුවහොත් ආර්ථිකය අලකිරීමට විපක්ෂ බලවේගවලට අවස්ථාව ලැබෙන්නේ නැත. රට ඉක්මනින් ගොඩ යන්නේ එවිටය.

සී. ජේ. අමරතුංග

Powered by Blogger.