බ්ලුමැන්ඩල් කුණු කන්ද උඩ හරිත උයනක්‌...! - Info Sri Lanka News | Sinhala

බ්ලුමැන්ඩල් කුණු කන්ද උඩ හරිත උයනක්‌...!


අදින් වසර විස්‌සකට විසිපහකට ඉහත උතුරු කොළඹ විවෘත වගුරු බිමක්‌ විය. මුහුද ගොඩ කර වරාය නගර බිහිකිරීම වැනි සංකල්පය නොතිබි එකල මෙකී වගුරු බිම පිළිබඳ කිසිවෙකුගේ අවධානය යොමු නොවීය. කලක්‌ ගතවිමත් සමග දිනපතා කොළඹ ගොඩ ගැසෙන අපද්‍රව්‍ය බැහැර කිරීම පිණිස අක්‌කර විසි පහකින් පමණ සමන්විත වගුරු බිම භාවිතා කිරිමට තීරණය කිරිමත් සමග කොළඹ ගොඩ ගැසෙන කුණුවලට කර ගැසීමට සිදු වන්නේ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පිහිටි ඉහත සඳහන් වගුරු භූමියටය.

එම කටයුත්ත සිද්ධවන්නේ 2001 වර්ෂයේදී කොළඹ මහ නගර සභාව සහ පෞද්ගලික ආයතනයක්‌ විසින් ගිවිසගත් ගිවිසුමකට අනුව වීමත් වසර 25 ක්‌ ගතවන තුරු එම භූමිය කුණු කසළ වලින් පිරවීමට නගර සභාවට අවසර හිමිවීමත් සමඟ කොළඹ "කසළ බඳුන" බවට පත් වන උතුරින් දුම්රිය මාර්ගයෙන්ද දකුණු පසින් වරාය පිවිසුම් මගද නැගෙනහිරින් මහවත්ත සහ බටහිරින් බ්ලුමැන්ඩල් පාරද මැදිකරගත් වගුරු බිම අපද්‍රව්‍ය වලින් පිරෙන්නට ගැනීම හේතුවෙන් කල්යැමේදී රට පුරා ප්‍රසිද්ධියට පත් බ්ලුමැන්ඩල් කුණු කන්ද බවට පත්විය.

2014 වර්ෂයේදී බ්ලුමැන්ඩල් කුණු කන්ද ගිනිපත්තුවී මහා කලබගෑනීයක්‌ සිදුවන තුරු මට්‌ටක්‌කුලිය, මෝදර, කොටහේන, මාලිගාවත්ත ග්‍රෑන්ඩ්පාස්‌ ඇතුළු තවත් ප්‍රදේශ රැසක සමාජීය පාරිසරික සෞඛ්‍යමය ගැටලු රැසක්‌ නිර්මාණය කළ බ්ලූමැන්ඩල් කුණු කන්ද එහි නොනිල අයිතිය වෙනුවෙන් පාතාල කල්ලි කණ්‌ඩායම් උනුන් මරා ගන්නා අයුරුද නොසෙල්වී බලා සිටි යුගයක්‌ විය.

යහපාලන රජය විසින් තිරසර සංවර්ධනයක්‌ කරා රට රැගෙන යැමේ වේගය ඉහළ අගයක්‌ දක්‌වා රැගෙන ගොස්‌ ඇති වටපිටාවක කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක්‌ පවතින්නේ ශීඝ්‍ර සංවර්ධනයකට ලක්‌වෙමින්ය. එහි සැලකිය යුතු භූමිකාවක්‌ නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදුකරන අතර කොළඹ බ්ලූමැන්ඩල් කුණුකන්ද වෙත ඔවුන්ගේ අවධානය යොමුවන්නේ කාරණා කීපයක්‌ හේතුවෙනී.

ප්‍රදේශයේ ජනතා සුභ සිද්ධිය පිණිස කුණුකන්ද වෙනත් වානිජමය අරමුණක්‌ පිණිස යොදා ගැනීම කොළඹ වරාය වැඩකටයුතු සඳහා ඉන් කොටසක්‌ වෙන්කිරීම, නාගරික අලංකාරය පිණිස සියලු පහසුකම්වලින් සමන්විත අලංකාර නාගරික උද්‍යානයක්‌ නිර්මාණය කිරීම මූලික යෝජනා බවට පත් කරගෙන මේ වන විටත් දේශීය විදේශීයව ආයතන කීපයකින් පක්‌කරගත් නිලධාරීන් පිරිසක්‌ විසින් බ්ලූමැන්ඩල් කුණු කන්ද සම්බන්ධව තාක්‍ෂණික අධ්‍යයනයක නිරතව සිටී. 

මේ වන විට බ්ලූමැන්ඩල් කුණු කන්ද සම්බන්ධව නාගරික සංවර්ධන අධිකාරිය මැදිහත්ව සිදුකර ගෙන යන වැඩපිළිවෙල කුමක්‌ද යන්න නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාගෙන් අප කළ විමසුමට පිළිතුරු දෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ බ්ලූමැන්ඩල් කුණු කන්ද සම්බන්ධයෙන් දිගින් දිගටම පාරිසරික සමාජීය හා සෞඛ්‍යමය ගැටලු පැන නගින බැවින් එයට විසඳුමක්‌ ලෙස යම් විකල්පයකට යැම අත්‍යවශ්‍ය කාරණයක්‌ වන බවත් කුණු කන්දට අයත් භූමි භාගයේ එක්‌ කොටසක්‌ වරාය සංවර්ධන කටයුතු උදෙසාත් ඉතිරි කොටස නාගරික උද්‍යානයක්‌ සඳහා වෙන් කිරීමට යෝජනා වී ඇති බවයි. එම යෝජනා ක්‍රියාත්මක කිරීමට පෙර කුණු කන්දේ අභ්‍යන්තරික තත්ත්වය පිළිබඳ මනා අධ්‍යයනයක්‌ කළ යුතු බැවින් මේ වන විට ඒ සම්බන්ධව තාක්‍ෂණික අධ්‍යයනයක්‌ සිදුකරන බව පවසා සිටි සභාපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ එය ඉතාමත් සංකීර්ණ කටයුත්තක්‌ බැවින් විදෙස්‌ රටවල් කීපයක සහයෝගය ඒ සඳහා ලබාගෙන ඇති බවත් ඒ පිළිබඳ වාර්තාව ලැබීමෙන් අනතුරුව බ්ලූමැන්ඩල් කුණු කන්ද ආශ්‍රිතව සිදුකළ වඩාත් සුදුසු ව්‍යාපෘතිය කුමක්‌දැයි තීරණය කළ හැකි බවත්ය. එම වාර්තාව මේ මස නිමාවීමට පෙර ලැබීමට නියමිත බැවින් යෝජිත ව්‍යාපෘතිය කුමක්‌දැයි නිශ්චිතව පැවසිය හැක්‌කේ ඉන් අනතුරුව බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිsටියේය.

වසර ගණනාවක්‌ පුරා දිනකට ටොන් හයසිය පනහක්‌ හත්සියයක්‌ අතර ප්‍රමාණයක්‌ වන්නට කොළඹ නගරයෙන් බැහැර කරන ලද කුණු කන්දල් මතින් ගොඩනැගුණ බ්ලූමැන්ඩල් කුණු කන්ද මත යමක්‌ ප්‍රතිනිර්මාණය කිරීම යනු අසීරු කාර්යයක්‌ය. එකකට එකක්‌ වෙනස්‌ අපද්‍රව්‍ය එක්‌ රැස්‌වීම හේතුවෙන් මීතේන් ඇතුළු විෂ වායුන් ඇතිවීමේ තර්ජනය කසළ පල්වීම හේතුවෙන් හට ගන්නා දුර්ගන්ධය නැති කිරීම විෂබීජ විනාශ කිරීම කුණු කන්ද සමතලා භූමියක්‌ බවට පත් කිරීම ආදී ක්‍රියාවලියකින් අනතුරුව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු බැවින් පළමුව ඉහත විසඳුම් සෙවිය යුත්තේ ඉහත සඳහන් කාරණාවන්ටය. මේ වන විට ඒ සම්බන්ධව දැනුමක්‌ ඇති දෙස්‌ විදෙස්‌ විද්වතුන්ගෙන් සමන්විත පිරිසක්‌ ඒ සඳහා තාක්‌ෂණික අධ්‍යයනයක යෙදෙන අතර ඔවුන් විසින් ලබා දෙන වාර්තා අනුව නුදුරේදී බ්ලුමැන්ඩල් කුණු කන්ද මැද ඉදිකරනු ලබන්නේ අංගසම්පූර්ණ පහසුකම්වලින් යුත් නාගරික උද්‍යානයක්‌ද එසේත් නැත්නම් වෙනත් වානිජමය වටිනාකමකින් යුත් ව්‍යාපෘතියක්‌ සඳහා එම භූමිය යොදාගන්නේ දැයි නාගරික සංවර්ධන අධිකාරිය විසින් තීරණය කරනු ඇත.

මේ වන විටත් මොරටුව විශ්ව විද්‍යාලය හා මධ්‍යම පරිසර අධිකාරිය මේ කටයුත්ත සඳහා තම සේවය ලබා දීමට ඉදිරිපත්ව ඇති අතර ඒ සියලූ කාරණා සම්පූර්ණ වීමෙන් අනතුරුව මෙතෙක්‌ කලක්‌ රෝබිය වසංගත බෝ කරමින් ජනතාව බිය වැද්දූ බ්ලූමැන්ඩල් කුණුකන්ද වෙනුවට පරිසර හිතකාමී නාගරික උද්‍යානයක්‌ හෝ වෙනත් ආර්ථිකමය වටිනාකමක්‌ සහිත කුමන හෝ ව්‍යාපෘතියක්‌ බිහිවනු ඇත.

රුවන් ජයවර්ධන

Share on Google Plus