Ads Top

Ray Ad

උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් ඝාතන සැලැස්මක්.


මේ වනවිට ලෝක දේශපාලනය තුළ මහත් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්ව සිටින උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් ඝාතනය කිරීමට ඇමෙරිකාව සැලසුම් කරන බවට පළ වූ ප්‍රවෘත්තියක් පසුගිය දා කාගේත් විශාල අවධානයක් දිනාගත් පුවතක් විය. මේ වනවිට ඇමෙරිකාව ඇතුළු ඔවුන්ගේ මිතුරු රටවල් රැසකට හිසරදයක් වී ඇති උතුරු කොරියානු නායකයා සමග ගනුදෙනු කළ හැකි අනෙකුත් උපායමාර්ග සාර්ථක නොවන්නේ නම් මෙවැනි පියවරක් ගැනීම සම්බන්ධයෙන් පවා සලකා බැලීමට ඇමෙරිකානු ආරක්ෂක අංශ ජනාධිපතිවරයාට උපදෙස් දී ඇති බව පසුගියදා ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.

උතුරු කොරියාව පසුගිය කාලය තුළ නිරතව සිටින න්‍යෂ්ටික වැඩපිළිවෙළ සහ අඛණ්ඩව සිදු කෙරෙන මිසයිල අත්හදාබැලීම් ඔවුන්ගේ අසල්වැසියන් මෙන්ම ඇමෙරිකාවේ මිතුරන්ද වන දකුණු කොරියාවට  සහ ජපානයට විශාල තර්ජනයක් එල්ල කරමින් සිටියි. ඉහත කී වැඩපිළිවෙළෙහි අවසන් අරමුණ න්‍යෂ්ටික අවි බලය අත්පත් කරගැනීම ලෙස සැලකෙන අතර ඇමෙරිකාවට වුව පහර දිය හැකි අන්තර් මහාද්වීපික මිසයිල පවා උතුරු කොරියාව ළඟදීම නිපදවනු ඇතැයි යන්න බොහෝ නිරීක්ෂකයින්ගේ විශ්වාසය වී තිබේ. උතුරු කොරියාවේ මෙම න්‍යෂ්ටික වැඩපිළිවෙළ ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය කිරීමක් ලෙසද සැලකෙන අතර පසුගිය කාලයේ ඔවුන්ට එරෙහිව විවිධ සම්බාධක ආදිය  පැනවීමට පවා මෙම තත්ත්වය හේතුවක් වූයේය. නමුත් මෙම පියවරවලින් එතරම් ඵලක් වූ ආකාරයක් දැකගත හැකි නොවේ. මෙම පසුබිම තුළ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන නතර කර ගැනීම සඳහා ඇමෙරිකාව වඩාත් දැඩි පියවර ගැනීමේ මාවතකට අවතීර්ණ වෙමින් ඇති ආකාරයක් පෙනේ.

යම් විදියකින් ඉදිරියේදී උතුරු කොරියාව න්‍යෂ්ටික අවි බලයෙන් සන්නද්ධ වුවහොත් එය නැගෙනහිර ආසියානු කලාපය තුළ ඇමෙරිකාවේ මෙන්ම ඔවුන්ගේ මිතුරන්ගේ ද අභිලාෂයන්ට තර්ජනයක් වන බව ඇමෙරිකාව දනියි. උතුරු කොරියාවත්, ඇමෙරිකාවේ ප්‍රධාන තරගකරුවා වන චීනයත් අතර ඇති මිත්‍රත්වයද ඇමෙරිකාවට හිසරදයක් වී ඇත්තේ මේ නිසා උතුරු කොරියාව ආම්බාන් කර ගැනීම වඩාත් සංකීර්ණ කටයුත්තක් බවට පත්වන හෙයිනි.

පසුගිය කාලය තුළ, විශේෂයෙන් ට්‍රම්ප් ජනාධිපති වීමෙන් පසු උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන සහ මිසයිල අත්හදාබැලීමේ කටයුතු  වඩාත් වේගවත් වූ ආකාරයක්ද දැකිය හැකි විය. උතුරු කොරියාව පවසන්නේ තම රටට ඇමෙරිකාව ඇතුළු ඔවුන්ගේ මිතුරන්ගෙන් එල්ල විය හැකි දේශපාලන සහ ආරක්ෂක තර්ජනවලට මුහුණ දීම සඳහා මෙවැනි වැඩසටහනක් තමුන් දියත් කර ඇති බවයි.

ඇමෙරිකානු සහ උතුරු කොරියානු පාර්ශ්ව අතර උත්සන්න වෙමින් ඇති මෙම ගැටුම්කාරී තත්ත්වයට අදාළව පසුගිය දා තවත් වැදගත් සිදුවීමක් සිදු විය. එනම් ඇමෙරිකානු ප්‍රහාරක නාවුක කණ්ඩායමක් කොරියානු අර්ධද්වීපය ආසන්නයට යැවීමට ඇමෙරිකාව පියවර ගැනීමයි. ප්‍රහාරක ගුවන් යානා ගෙන යන කාල් වින්සන් නැමැති විශාල නෞකාවද මෙම බලඇණියට ඇතුළත් වෙයි. කොරියානු කලාපයේ වර්ධනය වන තත්ත්වය හමුවේ උතුරු කොරියාවට අනතුරු ඇඟවීමක් කිරීම මෙහි අරමුණ බව පෙනේ. මෙය, තත්ත්වය වඩාත් උණුසුම් බවක් ගනිමින් ඇති බව සනිටුහන් කළ සිද්ධියක් විය. උතුරු කොරියාවේ තර්ජන හමුවේ තමුන් වඩාත් දැඩි උපායමාර්ග අනුගමනය කිරීමට සූදානම් බවක් ඇඟවීම ඇමෙරිකාවේ අදහස වූවා විය හැකිය. තවත් වැදගත් කාරණයක් වූයේ ඇමෙරිකාව මෙම පියවර ගත්තේ චීන ජනාධිපති ෂී ජින්පිං සහ ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් අතර හමුවෙහි උණුසුම මැකී යාමටත් පෙර වීමයි. චීනය උතුරු කොරියාවේ මිතුරෙකු වුවද ට්‍රම්ප්-ෂී ජින්පිං හමුවේදී මේ සම්බන්ධයෙන් කිසියම් සම්මුතියකට ආවාද යන පැනයද මෙහිදී මතු වෙයි. ඇමෙරිකානු රාජ්‍ය ‍ලේකම් රෙක්ස් ටිලර්සන් පවසා තිබුණේ උතුරු කොරියාව සම්බන්ධයෙන් ‘’යම් පියවරක්’’ ගත යුතුව ඇති බවට ට්‍රම්ප් පාලනය සහ චීනය අතර කිසියම් එකඟතාවක් ඇති වූ බවයි.

උතුරු කොරියාව සම්බන්ධයෙන් ඇමෙරිකාවට යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට අවශ්‍ය නම් එයට මුළුමනින් විරුද්ධ වීමට චීනයටද හැකියාවක් නැත. විශේෂයෙන් ඇමෙරිකාව චීනයේ ලොකුම වෙළෙඳ සහ ආර්ථික සහකරුවෙකු ලෙස සිටින පසුබිමක ඇමෙරිකානු ඉල්ලීම්වලට යම් දුරකට කන්දීමට චීනයට සිදු වෙයි. ඒ නිසා මෙහිදී ඇමෙරිකාව සහ උතුරු කොරියාව යන පාර්ශ්ව දෙක සමගම සබඳතා සූක්ෂ්ම ලෙස කළමනාකරණය කිරීමට චීනයට සිදුවනු ඇත. නැගෙනහිර ආසියාව තුළ සිය බලය පවත්වා ගැනීමේදී චීනයට උතුරු කොරියාව වැදගත් මිතුරෙකු බවද මෙහිදී අමතක කළ හැකි නොවේ. ඒ නිසා උතුරු කොරියාව අමනාප කරගැනීමටද චීනය කැමති වනු ඇතැයි සිතිය නොහැක. කෙසේ නමුත් උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ ඉදිරියේදී චීනයේ අභිලාෂයන්ට පවා තර්ජනයක් බවට පත්වනු ඇත්ද යන සැකයක්  චීනය තුළද නොතිබෙන්නට බැරිය. උතුරු කොරියාව සම්බන්ධයෙන් වන චීන- ඇමෙරිකා ප්‍රතිපත්ති සකස් කිරීමේදී මේ සියල්ල අඩුවැඩි වශයෙන් බලපානු ඇත.

කෙසේ හෝ වේවා උතුරු කොරියාව සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සහ සාකච්ඡා මාර්ගයෙන් යම් විසඳුමක් ඇති කර ගැනීමට ඇමෙරිකාවට නොහැකි වුවහොත් ඉදිරියේදී ගැනීමට යෝජනා වී ඇති වඩාත් ආන්දෝලනාත්මක පියවර අතර දකුණු කොරියාව තුළ ඇමෙරිකානු න්‍යෂ්ටික අවි සවි කිරීම මෙන්ම ඒකාධිපති පාලකයෙකු ලෙස සැලකෙන කිම් ජොන් උන් ඝාතනය කිරීම සහ උතුරු කොරියානු පාලනයෙහි වෙනසක් සිදු කිරීම වැනි කාරණාද ඇතුළත් වන බව පැවසෙයි. ‘එන්.බි.සී නිව්ස්’ පුවත් සේවය මීට අදාළ වාර්තාවක් පසුගියදා පළකර තිබිණි.

මීට දශක ගණනාවකට පෙර සීතල යුද සමයේද ඇමෙරිකානු න්‍යෂ්ටික අවි දකුණු කොරියාව තුළ ස්ථාපිත කර තිබිණි. නමුත් පසුව මෙම අවි ඇමෙරිකාව විසින් ඉවත් කර ගන්නා ලදී. යම් හෙයකින් නැවත න්‍යෂ්ටික අවි දකුණු කොරියාවේ සවි කළහොත් තත්ත්වය වඩාත් බිහිසුණු මට්ටමකට ළඟා වනු ඇති බව බොහෝ ආරක්ෂක විශ්‍ලේෂකයින්ගේ විශ්වාසයයි.

කෙසේ නමුත් මෙම ප්‍රවෘත්ති වාර්තා සම්බන්ධයෙන් පසුව අදහස් දක්වමින් ඇමෙරිකානු රාජ්‍ය ‍ලේකම් ටිලර්සන් පවසා තිබුණේ උතුරු කොරියානු නායකයා ඝාතනය කිරීමේ සැළසුමක්  පිළිබඳ පළවී තිබූ තොරතුරු ප්‍රතික්‍ෂේප කරන බවයි. තමා එවැනි සැලැස්මක් ගැන නොදන්නා බවද, උතුරු කොරියානු පාලනයෙහි වෙනසක් ඇති කිරීමට ඇමෙරිකාවට වුවමනාවක් නැති බවද ඔහු පවසා තිබේ. කෙසේ වෙතත් කොරියානු කලාපය තුළ උත්සන්න වෙමින් ඇති ආතතිය හමුවේ එහි පවතින්නේ ඉතා අවිනිශ්චිත සහ  ගිනි ඇවිලෙන සුළු  තත්ත්වයක් බව පැහැදිලිව දැකගත හැකිය. දේශපාලන සහ ආරක්ෂක වශයෙන් මේ කලාපය දුම් දමන  ගිනි කන්දක් බවට පත්වෙමින් ඇති ආකාරයක් දැකිය හැකි අතර ඉදිරියේදී එය කවරාකාරයෙන්  හැසිරෙනු ඇත්ද යන්න බොහෝ දෙනා මහත් අවධානයෙන් බලා සිටින කාරණාවක් බවට පත්ව ඇත.

-නිහාල් පීරිස්

Powered by Blogger.