රු: 975 ආහාර මල්ල අද සිට ලක් සතොසෙන්.


උත්සව සමයේ ජනතාවට අඩු මිලට භාණ්ඩ ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ රුපියල් 1515ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර වර්ග 10ක් ඇතුළත් භාණ්ඩ මල්ලක් අප්‍රේල් 10 සිට ලබන 20 වැනිදා දක්වා රුපියල් 975ක මිලකට සතොස ආයතනය හරහා අලෙවි කිරීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

පරිප්පු, අල, ලොකු ලූනු, සහල්, හාල්මැස්සන්, සීනි, ටින්මාළු, කෑලි මිරිස්, කඩල සහ කිරිපිටි එම භාණ්ඩ මල්ලට ඇතුළත් වේ.

මෙවැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මලු දස ලක්ෂයක් රට පුරා බෙදාහරින බවත්, ඒ සඳහා වැයවන රුපියල් මිලියන 540ක් වන අතිරේක මුදල, මුදල් අමාත්‍යාංශය මඟින් දරන බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (09) රාත්‍රී ‍බොරැල්ල පිහිටි ලක් සතොස ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාද එක්ව සිටියේය.

ලක් සතොස ආයතනය තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙනයෑම සඳහා මුදල් අමාත්‍යාංශය හරහා උපරිම සහාය ලබාදීමට පියවර ගන්නා බව ද රවී කරුණානායක මහතා එහිදී ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රවී කරුණානායක මහතා,

“බංකොලොත් දේශපාලනඥයන් චෝදනා කරන පරිදි වෙළෙඳ පොළේ කිසිම භාණ්ඩ හිඟයක් නැති බව දැන් පැහැදිලි වුණා. ඒ නිසා මේ පණිවිඩය රටට කියන එක ජනමාධ්‍යවේදීන් විදියට ඔබේ වගකීමයි. 2015 ජනවාරි අටවෙනිදා අපි රට භාර ගන්නකොට හාල් තිබුණේ රුපියල් 110ට. අද රුපියල් 75කට තියෙද්දි සද්ද කරනවා. එදා පරිප්පු රුපියල් 230 – 240යි. අද සිල්ලර මිල රුපියල් 157යි. එදා රුපියල් 425 කිරි පැකට් එක අද 210 ඉඳල 300 වෙනකන් තියෙනවා. ඉන්ධන, ගෑස් මේ සියල්ල අද අඩුවෙලා. එදා රුපියල් 2635ට තිබුණ ගෑස් මිල අද 1350යි. භූමිතෙල් එදා රුපියල් 80යි. අද රුපියල් 45යි. එදාට වඩා අද ජීවිතේ සැහැල්ලුභාවයක් ඇවිත් තියෙනවා.

මීටත් වඩා භාණ්ඩ මිල අඩු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය දීර්ග කාලීන වැඩපිළිවෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා” යැයි ද මුදල් අමාත්‍යවරයා පැවැසීය.

මෙහිදී අදහස් දැක්වූ වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේ රටපුරා ලක් සතොස ආයතන ස්ථාපිත කිරීම මේ වනවිට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවයි. ඒ අනුව නව ලක් සතොස ආයතන 372ක් ඉතා කෙටි කාලයක් තුළදී ආරම්භ කිරීමට හැකිවූ බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

Powered by Blogger.