මීතොටමුල්ලේ මිය ගිය ගණන 27ක් දක්වා ඉහළට.


කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නායයෑමේ සිද්ධියෙන් මේ වනවිට මියගිය අයගේ මළ සිරුරු 27ක් සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි. අතුරුදහන් වූ අයගේ තවත් මළ සිරුරු රැසක් වැළලී ගොස් ඇති අතර එම මළසිරුරු සෙවීමේ මෙහෙයුම් කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ මෙහෙයවීමෙන් තවදුරටත් සිදුකෙරෙමින් පවතී. සිද්ධියෙන් තුවාල ලැබූ 17 දෙනකු මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර පස් යට වැළලී සිටියදී හමුදාව විසින් බේරාගන්නා ලද සිවුදෙනෙක්ද ඒ අතර සිටිති.

සිද්ධියෙන් අවතැන් වූවෝ කොළොන්නාව ටෙරන්ස් ද සිල්වා විද්‍යාලයේ ලැගුම්ගෙන සිටිති. මෙම ප්‍රදේශයේ දශක කීපයක සිට පදිංචිව සිටි වැසියන් මෙන්ම මෑත කාලයේදී පදිංචිව සිටි ජනතාවගේ නිවාස එසේ විනාශයට පත්ව ඇති අතර ඛේදවාචකය සිදුවූ අවුරුදු දා (14) නිවාඩු දිනයක් වූ බැවින් බොහෝ නිවාසවල ගෘහමූලිකයන් ඇතුළු සියලුම දෙනා නිවාස තුළ රැඳී සිට ඇති බවත් වාර්තා විය. එසේම වෙනත් ප්‍ර‍ෙද්ශවල සිට පැමිණි නෑදෑයන් සහ හිතවතුන්ද එදින මෙම නිවාසවල සිටි බවත් එහි සංචාරය කළ අපට දැනගන්නට හැකිවිය.

ඊට අමතරව මෙම ප්‍රදේශයේ පදිංචිව සිටි ජනතාව වෙනත් ප්‍රදේශවලට තම ඥාති හිතමිත්‍රාදීන්ගේ නිවාසවලට අවුරුදු සැමරීම සඳහා ගොස් සිටි බවත් වාර්තා වූ අතර එම නිසා පස් යට වැළලී ගිය ජනතාව කීදෙනෙකු දැයි හරියටම කීමට මෙතෙක් කිසිදු පුද්ගලයකුට හෝ ආයතනයකට නොහැකි වී ඇත.

14 වැනි සිකුරාදා සවස 3.00ට පමණ සිදුවූ මෙම කුණුකන්ද නායයෑමේ සිද්ධියෙන් කොලොන්නාව දහම්පුරවත්ත, 23 වත්ත සහ නාගහමුල්ල ප්‍රදේශයේ නිවාස 145ක් පමණ හානියට පත්ව ඇති අතර ඉන් නිවාස 60ක් පමණ සම්පූර්ණයෙන්ම පස්වලින් යටවී ඇතැයි ප්‍රදේශවාසීහු සහ නිලධාරිහු කියති.

මේ අතර එම ප්‍රදේශයේ ඇති තවත් නිවාස 130ක් පමණ ඉවත් කරන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිර්දේශ කර ඇත.

සිද්ධිය වූ සිකුරාදා සවස වහාම විපතට පත්වූවන් ගලවා ගැනීමටත් විපතට පත්වූවනට සහන සැලසීමටත් කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අංශ සහ පොලිසියටත් ආපදා කළමනාකරණ අංශවලටත් නියෝග කළ අතර ඒ අනුව එදින රාත්‍රී සිට එම අංශ වහා ක්‍රියාත්මකවී තම මෙහෙයුම් සිදුකර ඇත.

මේ අනුව යුද හමුදාවේ 500ක් ද, පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ 500ක් ද, ගුවන් හමුදාවේ 100ක් පමණ විපතට පත්වූවන් බේරාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටින අතර මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතාගේ අධීක්ෂණයෙන් කටයුතු මෙහෙයුම් කටයුතු සිදුකෙරේ.

යුද හමුදා ඉංජිනේරු බළකායේ භට පිරිස් බැකෝ සහ එක්ස්කැවේටර් යන්ත්‍ර යොදා ගනිමින් පස් හාරමින් අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතුවල නිරතව සිටිති. ඇතැම් ස්ථානවල අඩි 30 – 40 පස් හෑරීමට සිදුව ඇති බවත් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ කියා සිටියි.

නිවාස තිබූ ස්ථාන සහ නිවාසවල සිටි ජනතාව කොතෙක් දැයි යන්න හරිහැටි දැනගැනීමට සහ හඳුනා ගැනීමට ගැටලු ඇතැයිද හැකි පමණ ඒ පිළිබඳ ‍ෙතාරතුරු සපයන්නැයි ප්‍රදේශවාසීන්ගෙන් සහ ඥාති හිතමිත්‍රාදීන්ගෙන් මේජර් ජනරාල්වරයා ඉල්ලා සිටියි. අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු තවදුරටත් අඛණ්ඩව සිදුවන බවත් හෙතෙම සඳහන් කළේය.

මේ වනවිට පොලිසිය දිවා රාත්‍රී ප්‍රදේශයට ආරක්ෂාව සපයන අතර කැඩී බිඳී ගිය නිවාසවල සහ අතහැර ගිය නිවාසවල දේපළ සොරා ගැනීමට පැමිණි සැකකරුවන් 23 දෙනකු පමණ අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී ඇත. එම සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටද නියමිතය. එම ප්‍රදේශයට නිකරුණේ ‍පැමිණීමෙන් වළකින ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

Powered by Blogger.