මීතොටමුල්ලේ 10ක් මරුට - බරපතල තත්වයක් - කොළඹ කුණු දමන්න තැනක් නෑ.


කොලොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නාය යාම නිසා ඊයේ (14) පස්වරුවේ සිදු වූ අනතුරෙන් පුද්ගලයින් දස දෙනෙකු මේවනවිට මියගොස් ඇත.

කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක් කියා සිටියේ කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 4 දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

මිය ගිය අය අතර අවුරුදු 13ක පාසල් සිසුවකු සහ අවුරුදු 14 හා 15 වයස්වල සිසුවියන් දෙදෙනකු ද සිටින බව එම ප්‍රකාශිකාව පැවසුවාය.

තුවාල ලැබූ තවත් 11 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.

කඩා වැටුණු කොටසේ යටවී සිටි පුද්ගලයින් තුන් දෙනෙකු හමුදා භට පිරිස් විසින් බේරාගෙන තිබේ.

සුන්බුන් අතර සිටින පුද්ගලයින් සොයා සිදුකෙරෙන ආරක්ෂක ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකයි.

බේරා ගැනිමේ මෙහෙයුම් සහ සහන සේවා සදහා හමුදා භට පිරිස් 300ත් 400 ත් අතර පිරිසක් යොදවා තිබිණ.

කසළ කන්දට යටවී සිටින පිරිස් බේරාගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව, ගිනිනිවීම් සේවා දෙපාර්තමෙන්තුව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවේ කසළ කන්ද කඩා වැටීමෙන් අවට නිවාස බරපතළ හානි සිදු වී ඇති බවයි.

අනතුරට ලක්වූවන් පිළිබද තොරතුරු රැස් කිරීම සදහා මීතොටමුල්ල මිහිදු විද්‍යාලයේ තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත.

එම මධ්‍යස්ථානය වෙත ගොස් අනතුරට ලක්වූ තම ඥාතීන් හෝ අසල්වාසීන් පිළිබද තොරතුරු ලබාදෙන ලෙස හමුදා ප්‍රකාශකවරයා ඉල්ලීමක් කරයි.

මීතොටමුල්ල කසල කන්දේ කඩා වැටුණු කොටස මීටර් 800 ක් පමණ වන බවට ඇස්තමේන්තු කර ඇත.

මේ අතර සිද්ධියෙන් ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් කුණුකන්ද මත තිබූ බැකෝ යන්ත්‍රයකටද ගිනි තබා ඇත.

මීතොටමුල්ලට කසල බැහැර නොකරන ලෙසත් කුණු කන්ද ඉවත් කර ගන්නා ලෙසත් ඉල්ලමින් ප්‍රදේශයේ ජනතාව පසුගිය මාසයේ උද්ඝෝෂණයක නිරත විය.

කුණු කන්ද හේතුවෙන් සෞඛ්‍ය ගැටලු රාශියක් පැන නැගී ඇති බවට ඔවුහු මැසිවිලි නැගූහ.


කුණු කන්ද ඉවත්කරගන්නා මෙන් දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලා සිටි බව පවසන ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්එම් මරික්කාර් මහතා, ඒ සඳහා සැබෑ වුවමනාවකින් කටයුතු නොකළ බවට ආණ්ඩුවට චෝදනා කරයි.

මේ අතර මීතොටමුල්ල කුණු කන්ද නායා යාමත් සමගම කොළඹ නගරයේ එකතු වන කසල බැහැර කිරීමේ ස්ථානයක් නොමැති තත්වයක් මතුව ඇති බව වාර්තා වෙයි.

දිනපතා කොළඹ නගරයේ එකතු වන කුණු ටොන් දහසකට ආසන්න ප්‍රමාණයක් බැහැර කිරීමට කඩිනමින් වෙනත් ස්ථානයක් සොයා නොගතහොත් කොළඹ නගරවාසීන් දැඩි අපහසුතාවයකට පත්වනු ඇති බව කොළඹ නාගරික බළධාරීන්ගේ තක්සේරුවයි.

ඇතිව තිබෙන තත්වය මත මීතොටමුල්ල කුණු කන්දට නැවත් කුණු දැමීමක් සිදු කිරීමට හැකියාවක් කෙසේවත් නොලැබෙනු ඇති බවද ඔවුන් අදහස් කරයි.

මේ අතර කොළඹ නගරයේ එකතු වන කසල බැහැර කිරීම සඳහා විකල්ප ස්ථාන කිහිපයක් කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.


පිළියන්දල  කරදියාන, ජාඇල හා පුත්තලම යන ස්ථානයන් ඒ සඳහා මේවනවිට සලකා බලමින් සිටියි.

Powered by Blogger.