'ප්‍රබලයින්ගෙන් ප්‍රශ්න කළ නිසා දිල්රුක්ෂිට යන්න වුනා' - (VIDEO)


අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට එම ධුරයෙන් ඉවත්ව යාමට සිදු වූයේ ඇගේ රාජකාරියේ දුර්වලතාවයක් නිසා නොව දේශපාලන කාරණයක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ඉවත් කරන අවස්ථාව වනවිට ඇය විසින් ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙකුට හා රාජ්‍ය ඇමැතිවරයෙකුට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර තිබූ බවත් ඔවුන් පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේද ඇමතිවරු වී සිටි බවත් අනුර දිසානායක මහතා කියා සිටියේ ය. එමෙන්ම පැවති රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ බලතල ආරූඩකරගෙන කටයුතු කළ මන්ත්‍රී පුත්‍රයෙකුට එරෙහිවත් පරීක්ෂණ ආරම්භ කර තිබූ බවත් එහිදී අනුර දිසානායක මහතා පැවසීය.

හිටපු ජනාධිපති ආර්යාවට අදාළ පැමිණිල්ලක්ද විභාග කොට නඩු පැවරීමට ඒ වනවිට ආසන්නව තිබූ බව කී මන්ත්‍රීවරයා හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ඉවත්වීමෙන් පසු අල්ලස් කොමිසමෙන් පැමිණිලි විභාග කොට එක් නඩුවක් පමණක් පවරා ඇති බවද කීවේය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඉදිරියේ තිබූ පැමිණිලි 100ක් ඉල්ලා අස්කර ගෙන ඇති බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි භාරදීම අත්හිටුවා ඇති බවත් එහිදී අනුර දිසානායක මහතා පැවැසීය.

යුද්ධය මුවාවෙන් කළ දුෂණ අක්‍රමිකතා ඝාතන ගැන සෙවිය යුතු බවත් එ්වා රට හමුවේ අනාවරණය කළ යුතු බවත් ඒ මහතා පැවැසීය.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාවන් වැඩි කිරීමේ යෝජනාව පිළිබඳ විවාදයට එක් වෙමින් අනුර දිසානායක මහතා මේ බව පැවසූ අතර එහිදී ඔහු දැක්වූ සම්පූර්ණ අදහස් පහතින් පළ වේ.

Powered by Blogger.