'හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටුවන්නේ නෑමයි' -අගමැති


යුද අපරාධ සොයා බැලීමට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව ශ්‍රී ලංකා  අධිකරණ යාන්ත්‍රණය පිහිටුවීම මිස හයිබ්‍රිඩ් අධිකරණයක් කිසිසේත්ම පත් නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඒකාබද්ධ විපක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය.

මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ එක්සත් ජාතීන්ගේ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට තවත් වසරක කාලයක් ලබා දිය යුතු බවට වන නව යෝජනාවේ මූලික කෙටුම්පතද මේ වන විට සභාගත වී තිබෙන බව ජිනීවා හි තානාපති ආරංචි මාර්ග පවසයි.

යෝජනා ක්‍රියාත්මක කිරීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක් කල් ලැබෙනු ඇතැයි මීට පෙර සඳහන් විණි.නමුත් නව යෝජනා කෙටුම්පත මඟින් ලංකාවට කල් ලබා දිය යුතු කාලය වසරක් දක්වා අඩු වී ඇත.


ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් හුසේන් කුමරු විසින් සකස් කළ වාර්තාව හෙට (22)  ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.මෙවර සැසියේ දී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් එය  ලිඛිතව ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.


Share on Google Plus