විවාහ වුණායි කියලා ජනපි‍්‍රයත්වය අඩුවෙන්නෙ නැහැ.


පසුගියදා පැවැති ස්ලීම් නීල්සන් සම්මාන උළෙලේදී සුපුරුදු පරිදි 11 වැනි වතාවටත් ජනතාවගේ නළුවා ලෙස සම්මානය හිමි කර ගත්තේ ශ්‍රී ලාංකීය සිනමාවේ වත්මන් සුපිරි තරුව ලෙස නම් ලද රන්ජන් රාමනායකය.
මෙම ජනතාවගේ නළුවා සම්මානයට අමතරව ”තාරුණ්‍යයේ කැමැත්ත” සඳහා වූ ජනප‍්‍රිය සම්මානයද එහිදී හිමිවූයේ රන්ජන් හටය. මේ දක්වා එකොළොස් වතාවක් ජනතාවගේ නළුවා වෙමින්, සහ ඊට අමතරව පස් වතාවක් තාරුණ්‍යයේ තේරීම හෙවත් ”චොයිස් ඔෆ් යූත්” සම්මානයෙන් අඛණ්ඩව පුද ලද රන්ජන් ”ජනප‍්‍රියත්වය” ගැන සඳැල්ලට අදහස් ප‍්‍රකාශ කළ අවස්ථාවකි මේ.

රන්ජන් මේක අත්තටම හාස්කමක්ද? අඛණ්ඩව මේ ලබන ජනප‍්‍රිය සම්මානය?
2017-03-23-ent-42අනේ ඇත්තටම මම නම් එහෙම එය හාස්කමක් ලෙස දකින්නේ නැහැ. නමුත් ඔබ කියන විදියට එය හාස්කමක් නම්? මට ඒ හාස්කම ගෙනැත් දීමට සිනමාවට මාව අර ගත්ත අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් සහ තිර රචකයින් ප‍්‍රධානව මුල් වුණා. ඊට අමතරව චිත‍්‍රපටයක් නිර්මාණයට දායක වු සියලූ දෙනාගේ සිට පෝස්ටරය ඇල වු කෙනාගේ සිට තේ එක හදලා දුන්න කෙනා පවා ඊට අයත්. ඒ සියල්ලටත් අමතරව මට ප‍්‍රචාරය ලබා දුන් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මෙන්ම ඒ සියලූම ප‍්‍රචාරණ අංශ ඊට අයත්. අන්තිමට එයාලා ඔක්කොම එකතු වෙලා තමයි මාව ජනතාව අතරට ගෙන ගියේ. ගෙනිහිල්ලා මට මේ ඔබ කියන ඔය හාස්කම ගෙනැත් දුන්නේ.

කෙසේ වෙතත් ඔබ මෙය නිරන්තරයෙන් බලාපොරොත්තු වුණා යැයි කිව්වොත්?
ආදරය සහ ජනප‍්‍රියත්වය කියන දේ පෘථග්ජන සමාජයේ යථාර්ථයක්. ජනතාවට ප‍්‍රිය දේ කළාම ජනප‍්‍රිය වෙනවා. ජනතාවට අප‍්‍රිය වන දේ හදවතට එකඟව මම කරලා නැහැ. රන්ජන් කියනා මගේ නාමයෙහි තේරුම රස ගන්වන්නා කියන අරුත බව මට දැන ගන්න ලැබුණා. මුලින් මේ සම්මානය නම් කර තිබුණෙ බෙස්ට් එන්ටර්ටේනර් කියලයි. පසුව තමයි පීපල්ස් නැත්නම් මහජනතාවගේ ලෙස නම් වුණේ. ඉතින් ඔබ ඇසු ප‍්‍රශ්නයට පිළිතුරු ලෙස කිව්වොත්? ඔව්. මම ජනප‍්‍රියත්වයට සහ ජනතාවගේ ආදරය ලබන්න ආසයි. එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක්.

මේ විදියට අඛණ්ඩව ජනප‍්‍රියත්වය තියා ගන්න ඕනැ නිසා නේද විවාහ නොවුණේ?
අනේ නැහැ. එහෙම කළේ බැඳීමට වලට තියෙන අකමැත්ත නිසයි. ඒනිසා මම ප‍්‍රධානව කැප වු සිනමා කලාවට වගේම දේශපාලනයට සියයට සීයක්ම වාගේ කැප වෙන්න මට පුළුවන් වුණා. බොහෝ විට සමහර දේශපාලඥයින් සියයට හැත්තෑ පහක්ම මුල් තැන දෙන්නේ පවුලේ කටයුතු සඳහායි. සියයට 25 ක් විතර තමයි දේශපාලනයට. ඒත් මට සියයට සීයක්ම මම නියැළෙන කාර්යය වෙනුවෙන් කළ හැකි වුණා. එය ජනතාවට ස්පර්ශ වුණාම පෙරළා ඔවුන්ගෙන් ලැබෙන්නේ ආදරය සහ ජනප‍්‍රියත්වය වගේ දේවල්.

විශේෂයෙන්ම ඔබ විවාහ නොවුණේ ඔබට ආදරය කරන කාන්තාවන් අතර සැමදා සිහින තරුව වීමේ අපේක්ෂාව නිසා කිව්වොත්?
ඒක එහෙම කියන්න බැහැ. අපි විජය කුමාරතුංග මහතා වගේම ෂාරුක් ඛාන්, රජිනි ඛාන්ත් වගේ නළුවන් ගනිමු. ඒ විදියට විවාහ වී දරුවන් සිටින තවත් තරු සිටියා සහ සිටිනවා. නමුත් විවාහ වුණා යැයි කියා ඔවුනට ජනප‍්‍රියත්වයේ කිරුළ අහිමි වුණේ නැහැ.

ඇත්තම කියන්න මේ ජනප‍්‍රිය කිරුල නිසා කාන්තාවන් විශාල සංඛ්‍යාවකගෙන් විවාහ යෝජනා නිරන්තරයෙන් එනවා ඇති නේද?
ඉස්සර පාසලේ උසස් පෙළ කරද්දී, එතකොට වේදිකා නාට්‍ය වල රඟපාද්දී, ඒ වගේම සිනමාවට ආ මුල් කාලයේදී මම තරුණියන්ගේ ආදරය ඉල්ලා ගෙන ඔවුන්ගේ පස්සේ ගිය වාර එමටයි. සමහර තරුණියන් වෙත ආදරය ඉල්ලලා ලියුම් විසි කරලත් තියෙනවා. නමුත් එදා ආදරය සම්බන්ධයෙන් මට කෙහෙතගෙ අපලය තිබුණට පසුකාලයක ආදරය මගේ පස්සේ ගඟක් වගේ ගලා එන්න පටන් ගත්තා.

ඔබ ඔබගේ සිරුර කාය වර්ධනය කර ගෙන තබාගෙන සිටින්නෙත් ප‍්‍රතිරූපයට, නැත්නම් ජනප‍්‍රිය අංග සඳහා එයත් උපයෝගී වන නිසා කිව්වොත්?
මගේ උසේ තරමට බර තියා ගන්න මම විඳින දුක දන්නේ මම විතරයි. මම ආසයි ෆලූඩා වීදුරුවක් බොන්න. වටලප්පන්, පුඩිමක් වගේ දෙයක් කන්න. ඒ වගේම උත්සවයකට ගියාම හොඳට පැණි රස කෑම කාලා ඒවායේ රස බලන්න. සුදු බත් ටිකක් කන්න කඩචෝරු කන්න මාත් ආසයි. ඒත් අද මම නිරෝගීව සිටින්නේ ව්‍යායාම් කරලා, සෑහෙන්න වතුර බීලා, සටන් ක‍්‍රම ප‍්‍රගුණ කරලා ක‍්‍රමවත් පිළිවෙතකට ආහාර පාලනයකින් ගන්න නිසයි. ඒ විදියට සිරුර පවත්වගෙන යන්න නම් ඒ කැප කිරීම් කරන්නම වෙනවා. ඒක මම ආසාවෙන් කරන දෙයක්. ඒ නිසාම අද මට මේ වයසේදීත් පෙම්වතා චරිතය තමයි ලැබෙන්නේ. විජය මාමා 43 දීත් පෙම්වතා වුණා. ගාමිණී ෆොන්සේකා මහතාටත් ඒ අවස්ථාව හිමිවුණා. නමුත් මම ඒ වයස ඉක්මවා ගිහිල්ලා සිටියත්, මට පෙම්වතා චරිතය ලැබෙන්නේ මම මාව කායිකව හා මානසිකව ඇඳ බැඳ තබා ගත්ත නිසයි. හැබැයි එක දෙයක් විජය මාම අදටද ජීවත්ව සිටියේ නම් මට මේ ජනතා සම්මාන හෝ ජනප‍්‍රිය සම්මාන කිසිවක් ලැබෙන්නේ නැහැ. ඒ ඔක්කොම එහෙනම් එතුමාට තමයි.

(Saraviata)

Powered by Blogger.