ලසන්ත ඝාතනය ගැන විදෙස් මාධ්‍යට ගෝඨාගෙන් හෙළිදරව්වක්.


ප්‍රවීණ මාධ්‍යවේදී හා පුවත්පත් කතුවර ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ බවට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විදෙස් මාධ්‍යයන්ට අඟවා තිබේ.

ඔහු මේ ඇඟවීම කරන්නේ තම නීතිඥ සනත් විජේවර්ධන මඟින් ලිපියක් යවමිනි. ශ්‍රී ලංකාවේ ඝාතක කණ්ඩායම් මෙහෙයවූ බවටත් ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ බවටත් පළ කළ ප්‍රවෘත්ති වාර්තා ඉවත් කිරීමට බල කරමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජාත්‍යන්තර මාධ්‍ය පතාකයන් වන ඒ.එෆ්.පී. සහ අල් ජසීරා මාධ්‍ය ආයතන වෙත ලිපියක් යවමින් මේ ඇඟවීම කර තිබේ.

ඒ.එෆ්.පී. සහ අල් ජසීරා මාධ්‍ය ආයතන වෙත යැවූ ලිපියේ නීතිඥ විජේවර්ධන මහතා මෙසේද සඳහන් කර ඇත.

'ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ෆොන්සේකාට බරපතළ චෝදනා තිබුණා. එවකට විපක්‍ෂ නායකවරයා සහ තවත් බොහෝ දෙනකු මෙය තහවුරු කළා' ඔහු එම ලිපියේ තවදුරටත් සඳහන් කර ඇත්තේ හිටපු යුද හමුදාපතිවරයා වූ සරත් ෆොන්සේකා හඳුනාගත යුත්තේ ගෝඨාභය රාජපක්‍ෂගේ සොහොයුරා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් 2010 පැවැත්වූ ජනාධිපතිවරණයේදී පරාජයට පත්වූ තැනැත්තා ලෙස බවය. අනතුරුව ශ්‍රී ලංකාවේ මහාධිකරණය මඟින් ෆොන්සේකාව වරදකරුවකු කරන ලද අතර වැරැදි කිහිපයකට යුද අධිකරණය හමුවටද පමුණවන ලද බවය.

වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඔහු නිදහස් කිරීමට යුද හමුදාපතිවරයාගේ අනුමැතිය නොමැතිව හෝ අවසරය නොමැතිව කිසිදු හමුදා කණ්ඩායමක් ක්‍රියාත්මක කළ නොහැකි හෙයින් වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ෆොන්සේකාගේ සම්බන්ධය ගැන හැඟවීමත් ඇති හෙයින් ඔහු ඉන් නිදහස් කළ නොහැකි බවද ගෝඨාභය රාජපක්‍ෂ ඉහත මාධ්‍ය ආයතනයන්ට දන්වා තිබේ. වර්තමානයේදී ෆොන්සේකා ආණ්ඩුවේ ප්‍රාදේශීය සංවර්ධන ඇමැතිවරයකු ලෙස ජාතික ලැයිස්තුවෙන් පත්වී සිටින බවද එහි දක්වා ඇත.

Powered by Blogger.