Ads Top

Ray Ad

ගිවිසුම නිසා කැබිනට් සංශෝධනය ප්‍රශ්නයක්.


මීළඟ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් අතර අත්සන් තබා ඇති ගිවිසුම නිසා පක්ෂ දෙකේ ප්‍රබලයන් අතර අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට වරාය හා නාවික අමාත්‍යාංශය හෝ මහාමාර්ග අමාත්‍යාංශය ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබුණත් එම අමාත්‍යාංශ දෙකම පක්ෂ දෙක අත්සන් තැබූ ගිවිසුම අනුව ලැබී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටය.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ප්‍රබල කැබිනට් අමාත්‍යධුරයක් ලබාදීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිතවත් පාර්ශවය දැඩි උත්සහායක නිරත වී සිටින බව ද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීය. 

තවදුරටත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යධුරය දැරීමට තමාගේ අකැමැත්තක් නැති බව පසුගිය සතියේ දිනක පැවැති මාධ්‍ය හමුවක් අවසානයේදී ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවේය. 

මීළඟ අමාත්‍යාංශ මණ්ඩල සංශෝධනයේදී පරිසර අමාත්‍යාංශය යටතේ පවතින වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් නිපුණතා හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ධීවර සහ නාවික ඉංජිනේරු ආයතනයත් (සාගර විශ්ව විද්‍යාලය) ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතට පැවරෙනු ඇතැයි ද පසුගිය සතියේදී වාර්තා විය. 

මේ අතර ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා තමාට පැවැරී තිබූ විෂය සහ කාර්යය රැසක වගකීම විශේෂ ගැසට් පත්‍රයකින් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාට පැවැරීමට කටයුතු කර ඇතැයි ද ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය ඊයේ (27) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය 2015 වසරේ අගෝස්තු මාසයේදී අමාත්‍යාංශ 30 පක්ෂ දෙක අතර බෙදා ගනිමින් වසර දෙකක ජාතික ආණ්ඩුවකට මුල පිරීය. 

එම ගිවිසුම වසර පහක කාලයක් සඳහා දීර්ඝ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරු පසුගිය වසරේ ජූලි මාසයේදී පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළහ. 

(හර්ෂණ තුෂාර සිල්වා)

Powered by Blogger.