ජාතික වනෝද්‍යානවල මහා පරිමාණ ගැහිල්ලක් හෙළිවෙයි.


වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් ජාතික වනෝද්‍යානවල ප්‍රවේශ පත්‍ර අලෙවිය මඟින් කලක පටන්ම සිදුකර ගෙන ගොස් තිබූ රුපියල් කෝටි ගණනක දැවැන්ත මූල්‍ය වංචාවක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් ජාතික වනෝද්‍යානවල ප්‍රවේශ පත්‍ර අලෙවිය මඟින් කලක පටන්ම සිදුකර ගෙන ගොස් තිබූ රුපියල් කෝටි ගණනක දැවැන්ත මූල්‍ය වංචාවක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

ලද තොරතුරක් මත පසුගිය සතියේ උඩවලව ජාතික වනෝද්‍යානයෙහි ප්‍රවේශපත්‍ර අලෙවිය පිළිබඳ සිදු කරන ලද විමර්ශනයකදී මේ වංචනික ක්‍රියාව අනාවරණය කර ගැනීමට හැකි වූ බව ඇමැතිවරයා ඊයේ (26දා) පැවැසීය.

උඩවලව ජාතික වනෝද්‍යානයෙහි විමර්ශනය සිදු කරන ලද දින දෙකෙහි පමණක් ප්‍රවේශ පත්‍ර අලෙවිය මඟින් සිදුකර ඇති මූල්‍ය වංචාව රුපියල් එක් ලක්‍ෂ විසි දහසකි.

විදේශීය සංචාරකයකුගේ ප්‍රවේශ පත්‍රයක වටිනාකම සේවා ගාස්තුවද සමඟ රුපියල් තුන්දහසක් වන අතර දේශීය සංචාරකයකුගේ ප්‍රවේශ පත්‍රයක වටිනාකම රුපියල් හැටකි. විදේශීය සංචාරකයන් සඳහා නිකුත් කරන ප්‍රවේශපත්‍ර දේශීය සංචාරකයන් වෙනුවෙන් නිකුත් කරන ලද බවට පරිගණක ගත කිරීම මඟින් උඩවලව වනජීවී නිලධාරීන් වසර ගණනාවක සිටම මේ මූල්‍ය වංචාව සිදුකර ඇතැයි වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් සරත් පතිරත්න මහතා කියා සිටී.

මේ වංචනික ක්‍රියාවට සෘජුවම සම්බන්ධ බවට හෙළි වූ නිලධාරියකුගේ සේවය අත්හිටුවීමටත්, එයට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් නිලධාරියකුට ස්ථාන මාරුවක් ලබා දීමටත් පියවර ගත් බව පැවසූ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කරන ලෙස උපදෙස් ලබා දුන් බව පවසයි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ විෂය භාර අමාත්‍යවරයා තමන් මේ මූල්‍ය වංචාව පිළිබඳ විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන බව සඳහන් කෙළේය.

(මව්බිම)

Powered by Blogger.