ශ්‍රී ලාංකේය ජාතියට පදනම දැමූ නිදහසේ නිර්මාතෘවරයා.


(නිදහස්‌ ශ්‍රී ලංකාවේ පළමු අගමැති ඩී. එස්‌. සේනානායක මහතාගේ 65 වැනි ගුණ සමරුව අද (22 දා) ට යෙදී තිබේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.)

නිදහස්‌ ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ මහාමාන්‍ය ඩි. ඇස්‌ සේනානායක මැතිඳුන් ප්‍රථම වරට ව්‍යවස්‌ථාදායක සභාවේ සභිකයකු ලෙස තේරී පත්වුයේ 1924 දීය. එවකට එතුමා එතරම්ම දැන හැඳින සිටි චරිතයක්‌ නොවූ බැවින්, ඔහුව එවන් වූ තත්වයක්‌ සඳහා පොළඹවන ලද්දේ, එවකට ඉතා විශාල ජනප්‍රසාදයක්‌ දිනා තිබුණු, සමාජීය සහ දේශපාලනික වශයෙන් ප්‍රමුඛ චරිතයක්‌ ලෙස කැපී පෙනුණු එතුමාගේ වැඩිමහලු සොහොයුරකු වූ එµa. ආර්. සේනානායක මහතා විසිනි. ඩී. එස්‌ සේනානායක මහතා දේශපාලනයට ප්‍රවිෂ්ඨ වීම කාගේත් කුතුහලයට තුඩු දෙන්නක්‌ විය. ඒ මන්දයත් එවක බොහෝ දෙනාගේ අපේක්‌ෂාව වුයේ ඊට එµa. ආර්. සේනානායක මහතාගේ ප්‍රවිෂ්ඨ වීමයි. නමුත් එය එසේ සිදුවුයේ ඩී. එස්‌. සේනානායක මහතාගේ හැකියාවන් කොතරම්ද යන්න ඉතා හොදින් දැන සිටි එකම තැනැත්තා, එµa. ආර්. සේනානායක මහතා පමණක්‌ම වූ නිසා විය හැකිය.

ලංකාද්වීපය 1505 සිට 1948 දක්‌වාම විදේශීය ආධිපත්‍යට ලක්‌ විය. පළාත් කිහිපයක්‌ පමණක්‌ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යන ත්‍රිවිධ යටත් විජිතයන්ගේ පාලනයන්ට නතුව තිබුණද, 1815 න් පසු මුළු රටම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පාලනයට යටත් විය. මෙයින් රට මුදා ගැනීමට අපගේ ජාතික වීරවරයන් නොයෙක්‌ අවස්‌ථාවන්හිදී අරගල දියත් කළ නමුත් ඒවා සම්පුර්ණයෙන්ම අසාර්ථක විය. ඉතා අමානුෂික අන්දමින් මර්දනය කරනු ලැබූ නිදහස්‌ සටනේ අවසන් අදියරයට නැවත පණ පොවන ලද්දේ, 1915 වසරේදී සිරභාරයෙන් නිදහස ලැබූ එµa. ආර් සේනානායක මහතාය. 

අධිරාජ්‍යවාදී පාලනය විසින් අමද්‍යප ව්‍යාපාරයේ නියුතුව සිටි, එµa. ආර්. සේනානායක මහතාවත්, එතුමාගේ සොහොයුරු ඩී. ඇස්‌ සේනානායක මහතාත් ඇතුළු අනෙකුත් සියලුම සිංහල බෞද්ධ නායකයන් හට අභූත චෝදනා නගා සිරභාරයට ගන්නා ලදී. නමුත් ඔවුන්ට විරුද්ධව කිසිදු පිළිගත හැකි සාක්‌ෂියක්‌ ලබා ගැනීමට නොහැකි වූ නිසා, ඔවුන්ව නිදහස්‌ කිරීමට පාලකයන්ට සිදු විය. එදා ක්‍රියාත්මකව තිබු යුද නීතියට මුවාවෙන් අහිංසක ජීවිත බිලිගැනීම දිගින් දිගටම සිදු කළ නිසා, මේ අමන පාලනයෙන් රට නිදහස්‌ කර ගත යුතුය යන බව එµa. ආර්. සේනානායක මහතා තරයේ අධිෂ්ඨාන කර ගන්නා ලදී. ඒ අනුව ඔහු කලක්‌ තිස්‌සේ අකර්මණ්‍යව පැවති නිදහස්‌ සටනට නැවත මහා පුනර්ජීවයක්‌ ලබා දුන්නේය. 

අභිනවයෙන් බිහි වූ ලංකා ජාතික සංගමය මගින් සිදු කල බලපෑම්වල ප්‍රතිඵලයක්‌ ලෙස 1924 හි ව්‍යවස්‌ථාදායක සභාවට සීමිත මහජන නියෝජිතයන් පිරිසක්‌ පත් කිරීම සිදුවූ අතර, ඩී. එස්‌. සේනානායක මහතා එම ව්‍යාවස්‌ථාදායක සභාවේ සභිකයකු වීමට තේරී පත්විය. අවාසනාවකට ඉන් දෙවසරක්‌ ඉක්‌ම යාමටත් පෙර එµa. ආර්. සේනානායක මහතා 44 වැනි විය වැනි සාපේක්‌ෂ තරුණ අවධියකදී අකල් මරණයකට ගොදුරු විය. එතුමා ඩී. එස්‌ සේනානායක මහතා හට සෙවණැල්ලක්‌ සේ මඟපෙන්වන්නා වූ බැවින්, එතුමාගේ වියෝව ඩී. එස්‌ සේනානායක මහතා හට පිරිමසාලිය නොහැකි පාඩුවක්‌ වූවා සේම, නිදහස්‌ සටනටද විශාල පාඩුවක්‌ විය. ඔහුගේ වියෝව නිදහස්‌ සටනේ නිමාව වේදෝ යන්න ඇතැමෙක්‌ තුළ සැකයන් පහළ විය. නමුත් ඩී. ඇස්‌ සේනානායක මහතා තම සොහොයුරාගේ නිදහස්‌ සිහිනය යථාර්ථයක්‌ බවට පත් කිරීම උදෙසා, ක්‍රමානුකුලව පියවර ගන්නා ලදී. ඔහු ව්‍යවස්‌ථාදායක සභාවට ඇතුළු වී වසර 24 කට පසු, එනම් 1948 පෙබරවාරි 04 වැනි දින, 1815 දී ඉංග්‍රීසින් බිම හෙළුE ලංකා ධජය නැවත ඔසවා අපගේ නිදහස මුළු ලොවටම හඬගා ප්‍රචලිත කරන ලදී. 

ලොව පුරා බොහෝ ජාතීන් තම නිදහස අත්පත්කරගන්නා ලද්දේ අහිංසාවාදය හෝ විප්ලවවාදය යන මාර්ග දෙක මුල්කොටගෙනය. අහිංසාවාදයේ පියා ලෙස හඳුන්වන මහත්මා ගාන්ධිතුමා සහ මහා විප්ලවවාදියකු වූ ෙච්-ගුවේරා යන චරිත ද්විත්වය මෙම මාර්ග දෙක සංකේතවත් කරන්නෝ වෙති. ඩී. ඇස්‌ සේනානායක මහතා මෙම මාර්ග දෙකටම වඩා වෙනස්‌ මගක්‌ අනුගමනය කරමින්, අප සතු හැකියාවන් අධිරාජ්‍යවාදීන් හට පෙන්වා දී ඔවුන්ව අප මතයට අවනත කර ගැනීමට සමත් විය. මේ තුළින් තම අභිප්‍රාය මුදුන් පමුණුවා ගැනීමට එතුමාට වසර 24 ක්‌ ගතවූ නමුත්, ක්‍රමානුකුලව නිදහස කරා ගමන් ගනිමින්, එකදු ලේ බිඳුවක්‌වත් නොසොල්වා ජාතිය නිදහස්‌ කර ගැනීමට ඔහුට හැකි විය. මෙය සාමකාමී පර්වර්තනයක්‌ වූ බැවින්, ලංකාවට නිදහස ලැබුණේ ඉන්දියාවට නිදහස ලබාදෙන අවස්‌ථාවේ ලද පරිත්‍යාගයක්‌ ලෙස යෑයි සමහරුන් තුළ ඉතා වැරදි අවබෝධයක්‌ හට ගෙන තිබේ. 

ඉන්දියාව සහ ලංකාව තම තමන්ට ආවේණිකවූ ස්‌වාධීන නිදහස්‌ අරගල වෙනම මෙහෙයවූ රටවල් දෙකක්‌ විය. ඉන්දියානු නායකයන් සාමකාමී අරගල තුළින් නිදහස ලබා ගැනීමට උත්සාහ කළ අතර, ලාංකික නායකයන් ව්‍යවස්‌ථාදායකයේ නියෝජිතයන් ලෙස ජන්දයෙන් පත්ව, නිදහස ලබාගැනීම සඳහා බලගතු සංවාද මෙහෙයවන ලදී. තම රට පාලනය කිරීමේ හැකියාවන් අප සතු බව අප නායකයන් පෙන්වා දුන් නිසා, එවකට තිබු ව්‍යවස්‌ථාව වෙනස්‌ කොට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්‌ථාවක්‌ ලංකාවට ලබා දිය යුතු බව, ශ්‍රීමත් හියු ක්‌ලිµඩ් ආණ්‌ඩුකාරවරයා විසින් බ්‍රිතාන්‍ය රජයට දැනුවත් කරන ලදී. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස, අවශ්‍ය යෝජනා ලබාගැනීමට 1927 වසරේදී බ්‍රිතාන්‍ය රජය විසින්, ඩොනමෝර් කොමිසම පත් කළ අතර, එවැනි කොමිසමක්‌ ඉන්දියාවට ලබාදුන්නේ 1928 වසරේදීය. එම කොමිසම සයිමන් කොමිසම නම් විය. 

සයිමන් කොමිසම ඉන්දීය නායකයන් විසින් මුළුමනින්ම ප්‍රතික්‌ෂේප කරන ලදී. ඔවුන් විසින් පවසා සිටියේ සයිමන් කොමිසමට ඉන්දියාව වෙත ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමට කිසිදු අයිතියක්‌ නොමැති බවය. ඉන්දියන් නායකයන් නොකඩවා තම ස්‌වරාජ්‍ය මතයම පළකරමින්, දිගින් දිගටම වීදිවල සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාර ව්‍යාප්ත කළහ. ලාංකික නායකයන් එවන් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවුහ. ඔවුන් ඩොනමෝර් කොමිසමේ යෝජනා සියල්ල එකහෙළා නොපිළිගත් නමුත් එය මුළුමනින්ම ප්‍රතික්‌ෂේප නොකළහ. එම යෝජනා ව්‍යවස්‌ථාදායකයේ වාද විවාද වෙත යොමු කොට, අවශ්‍ය අයුරින් සංශෝධන ලබාගෙන, ස්‌වයං පාලනය දිනාගැනීමේ පියවරක්‌ ලෙස අනුමත කරන ලදී. එහි ප්‍රතිඵලයක්‌ ලෙස 1931 වසරේදී මුළු මහත් ආසියාවෙන්ම ප්‍රථම වරට සර්වජන ජන්ද අයිතිය ලබාගත් රට බවට ලංකාව පත්වූ අතර, එහිදී ස්‌ත්‍රීන් හටත් පුරුෂයන්ට මෙන්ම ජන්ද අයිතිය හිමි කර දෙන ලදී. මෙය එදා යුරෝපයේ පැවති දියුණු රටවල පවා නොතිබුණු විශේෂ ලක්‌ෂණයක්‌ විය. 

ලාංකීය ජනතා නියෝජිතයන් බලපොරොත්තු වූ වෙස්‌මිනිස්‌ටර් ක්‍රමය, ඩොනමෝර් ව්‍යාවස්‌ථාව මගින් නොලැබුණත්, එමගින් සර්ව ජන ජන්ද බලය ලබාගැනීමටත්, ජාතින් ඒකරාශී කිරීමේ අරමුණට ඉමහත් බාධාවක්‌ වූ, එවකට තිබු ජනවාර්ගික නියෝජන ක්‍රමය ඉවත් කිරීමටත් හැකි වීම ඔවුන්ගේ ඉමහත් සතුටට හේතු විය. නමුත් තවත් මුලිකාංගයක්‌ වූ විධායක කමිටු ක්‍රමය පිළිබඳ විවිධ මතිමතාන්තර පැවතුණි. මෙම ක්‍රමය පිළිබඳ තමා තුළ ඉතා දැඩි සැකයක්‌ තිබු නිසා ඩී. එස්‌. සේනානායක මහතා එය ඉතා දැඩිව විවේචනය කරන ලදී. එතෙක්‌ පැවැති කමිටු ක්‍රමය මගින් ඇති වූ අනවශ්‍ය ප්‍රමාදයන්, රටේ දියුණුවට රුකුලක්‌ නොව බාධාවක්‌ බව එතුමාගේ අදහස විය. කෙසේ නමුත් සංශෝධනය කළ විධායක කමිටු ක්‍රමය ඉදිරියේදී තවදුරටත් සංශෝධනය වන බවට තහවුරුව මත, එතුමා ඊට තම එකඟත්වය පළ කළේය. 

සංශෝධිත ඩොනමෝර් ව්‍යවස්‌ථාවට පවා දැඩි මතභේද තිබුණු නිසා, එය සම්මත වුයේ ඉතාමත්ම සුළු ජන්ද සංඛ්‍යාවකිනි. ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්, ඊ. ඩබ්ලිව්. පෙරේරා සහ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර යන නායකයන් ඊට විපක්‌ෂව ජන්දය භාවිත කළ අතර, ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, ඩී. ඇස්‌ සේනානායක සහ ඩබ්ලිව්. ඒ. ද සිල්වා යන නායකයන් ඊට පක්‌ෂව තම ජන්දය ලබා දෙන ලදී. මෙම ව්‍යවස්‌ථා යෝජනාවලට එම බහුතරය ලබා ගැනීමට හැකිවුයේ ඩි. එස්‌. සේනානායක මහතාගේ මැදිහත් වීම මත බව බොහෝදෙනාගේ පොදු පිළිගැනීම විය. එම යෝජනා පුර්ණ වශයෙන් අපේක්‌ෂිත යෝජනා නොවුණද, ඒවා මගින් ස්‌වයංපාලන ගමනේ අඩක්‌ ආවරණය වන නිසා, එම යෝජනා අත්හදා බැලීමට සුදුසු බව ඩි. එස්‌. සේනානායක මහතාගේ මතය විය.

විධායක බලතල තිබූ පමණින් ජනතාව හට සේවයක්‌ සිදු නොවන්නේ නම්, එම බලයෙන් කිසිදු ඵලක්‌ නොමැති බැව් වටහා ගත් එතුමා, තමා සතු විධායක කමිටුව ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙහෙයවමින්, රටේ ජනතාවට ඉතා අවශ්‍යව තිබූ ජලය ලබාදීමටත්, පුරාණ ලංකාවේ තිබූ සියලු වාරි මාර්ග ප්‍රතිසංස්‌කරණය කිරීමටත්, දැවැන්ත වාරි යෝජනා ක්‍රම බිහි කිරීමටත් කටයුතු කරන ලදී. එලෙසම වියලි කලාපය ලෙස හැඳින් වු පුරාණ ලංකාවේ ධාන්‍යාගාරය ලෙස විරුදාවලි ලත් රජරට ප්‍රදේශයේ, කැලෑබද පෙදෙස්‌ එළිපෙහෙළි කොට, ජනපද බිහිකරමින් ඉඩම් සම්පත් නොමැති නිර්ධන පංතියේ ජනයා රටේ වටිනා සම්පතක්‌ බවට පත්කිරීමටද කටයුතු සලස්‌වන ලදී.

1947 අගෝස්‌තු මස ලංකාවේ පැවැත්වු මහා මැතිවරණයේදී, මහජන මන්ත්‍රී මණ්‌ඩලය නියෝජනය කරන විශාලතම පක්‍ෂය එක්‌සත් ජාතික පක්‍ෂය විය. තවද ඩී. ඇස්‌. සේනානායක මහතා හට බහුතර මන්ත්‍රී මණ්‌ඩලයේ කැමැත්ත තිබු නිසා, ඔහු අවිවාදයෙන්ම අගමැතිවරයා බවට පත්විය. ලංකාවට නිදහස ලබා දීමේ යෝජනාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට, 1947 නොවැම්බර් 13 වැනි දින ඉදිරිපත් කරන ලදී. 1947 දෙසැම්බර් 10 වැනි දින ලංකා නිදහස්‌ පනත එහිදී සම්මත විය. 1948 පෙබරවාරි 03 වැනි දින ලංකාව යටත් විජිත භාවයෙන් සහමුලින්ම නිදහස්‌ රටක්‌ බවට පත්විය. අවුරුදු 400 ක විජාතීය ආධිපත්‍ය නිමා කරමින්, ඩී. ඇස්‌. සේනානායක මහතා ජාතියේ පියා වශයෙන් ඔහුට හිමි ස්‌ථානය ලබා ගන්නා ලදී.

ඉන්දියාව නිදහස කරා ගමන්ගත් මග, ලංකාව විසින් ආදර්ශයට නොගත් අතර එය අනුගමනයද නොකරන ලදී. අන්තිම මොහොත වනතුරු ඉන්දියාව තම රට පුරා සාමකාමී උද්ඝෝෂණ පවත්වන ලද්දේ ස්‌වරාජ්‍ය උදෙසා මිස, බ්‍රිතාන්‍ය රැකවරණය යටතේ ස්‌වයංපාලනයක්‌ ලබා ගැනීම උදෙසා නොවේ. මෙකල්හි බොහෝ ඉන්දීය නායකයින් හට සිරගත වීමට සිදු වු අතර, ඉන්දීය ජනතාව ස්‌වරාජ්‍ය ඉල්ලා වීදි බසිමින් අධිරාජ්‍යවාදී රජය පිටුවහල් කිරීමට අහිංසාවාදී උද්ඝෝෂණ දියත් කරන ලදී. ලංකාව මුල සිට ඉල්ලා සිටි බ්‍රිතාන්‍ය රැකවරණය මත ස්‌වයංපාලනය සඳහා පසුව ඉන්දියාවද යොමු වුයේ, පකිස්‌ථානය බිහිවීම නිසා විය හැකිය. පකිස්‌තානය බිහිවීම ඉන්දියාව දෙකඩ කළා පමණක්‌ නොව, ජාතිවාදය මුල්කරගත් හිංසාවාදය තුළින් මිලියන ගණනකගේ ජිවිතද පවා අහිමි විය. ඉන්දියාව ඉල්ලා සිටි ස්‌වරාජ්‍ය ආකෘතිය පසුපස ගමන් කළ එකම රට වූයේ බුරුමය පමණි. බුරුමයද බ්‍රිතාන්‍ය රැවරණයෙන් තොර ස්‌වාධීන රජයක්‌ බවට පත් වුවද, ඔවුන් බ්‍රිතාන්‍ය සමඟ ආරක්‍ෂක ගිවිසුමකට එළැඹෙන ලදී. ඩී. ඇස්‌. සේනානායක මහතා ඔහුගේ මූලික ඉල්ලීම වු, එනම් බ්‍රිතාන්‍ය රැකවරණය යටතේ ස්‌වයංපාලනය යන සංකල්පයෙන් කිසි විටෙක ඉවත් නොවීය. රටේ සියලුම ජන වර්ගයා ඒකරාශීකොට, එකා මෙන් අත්වැල් බැඳගෙන, එකදු ලේ බිදුවක්‌වත් නොහෙලා නිදහස කරා ගමන්කරවීමට ඔහුට හැකි විය.

-රුක්‌මන් සේනානායක

Powered by Blogger.