රවී - මංගල ඇමති හුවමාරුව බොරුවක්.


ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව පැවසෙන කැබිනට් සංශෝධනයේදී මුදල් අමාත්‍යධුරය රවී කරුණානායක මහතාගෙන් ඉවත් කර මංගල සමරවීර මහතාට පැවරීමේ සුදානමක් පවතින බවට පළවන වාර්තා සම්පුර්ණයෙන් අසත්‍යයක් බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

මුදල් අමාත්‍යවරයාට පසුගිය කාලය පුරා එල්ල වුණු චෝදනා පදනම් කර ගනිමින් දේශපාලන විරුද්ධවාදීන් එවැනි වෙනසක් කර ගැනීමට උත්සහ දරන බවයි වාර්තා වුණේ.පසුගිය වසර එකහමාරක පමණ කාලයක සිට රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යධුරයෙන් ඉවත් කර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාවද පොළඹවා ගැනීමට එම දේශපාලන විරුද්ධවාදීන් උත්සහ දරා ඇත.ඉදිරියේදී කැබිනට් සංශෝධනයක් සිදු වුවද මුදල් අමාත්‍යධුරය හෝ විදේශ කටයුතු පිලිබඳ අමාත්‍යධුරය හෝ වෙනසක් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ආණ්ඩුවේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයින් අවධාරණය කළේ.

මෙවැනි පුවත් හරහා එක්සත් ජාතික පක්ෂය තුළද අර්බුද නිර්මාණය කිරීම එකී දේශපාලන විරුද්ධවාදීන්ගේ අරමුණක් විය හැකි බවද දැනගන්නට තිබේ.මේ වන විටත් සුදුසු පුද්ගලයන් අදාළ අමාත්‍යධුර දරන අතර ආණ්ඩුවේ සියලු දෙනාගේ අරමුණ යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යාම මිස එය කඩාකප්පල් කර ජනතාවගේ බලාපොරොත්තු සුණුවිසුණු කිරීම නොවන බව ආණ්ඩු ප්‍රධානීන් පවසයි.

රවී කරුණානායක මහතාගේ හෝ මංගල සමරවීර මහතාගේ අමාත්‍යධුර වෙනස් කරන ලෙස පදනම් රහිතව කිසිවෙකුටත් ප්‍රකාශ කළ නොහැකි අතර එම වෙනස්කම නොකරන්නේ නම් ආණ්ඩුවේ පැවැත්මද අර්බුදයකට ය හැකි බවට පළ වෙමින් පවතිනපුවත් ද සම්පුර්ණයෙන් අසත්‍ය බව ආණ්ඩුවේ ප්‍රබලයන් ප්‍රකාශ කරයි.

Share on Google Plus