මුහුණ බලා දැන්වීම් පෙන්වන ලංකාවේ පළමු ‘ස්මාර්ට් බස් නැවතුම්පල’


ජාතික ජංගම දුරකථන සැපයුම්කරු මොබිටෙල් විසින් ලංකාවේ ප‍්‍රථම ස්මාර්ට් බස් නැවතුම්පල කොළඹ ටවුන්හෝල් ඉදිරිපිට විවෘත කොට ඇත. ලෝකයේ භාවිතා වන අන්තර් සම්බන්ධතා සහිත ‘ස්මාර්ට් නගර’ යන සංකල්පයේ තාක්ෂණය භාවිතා කොට මොබිටෙල්හි නවෝත්පාදන අංශය (Mobitel Innovation Centre) විසින් මෙම බස් නැවතුම්පල නිර්මාණය කර ඇත. ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක ඕනෑම උපකරණයක් භාවිතයෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වියහැකි Internet of Things සංකල්පය මූලික කොටගෙන කි‍්‍රයාත්මක වන මෙම ව්‍යාපෘතිය කොළඹ නගරය ස්මාර්ට් නගරයක් කිරීමේ අරමුණින් මොබිටෙල් විසින් තබන පළමු පියවරකි.

මෙම ස්මාර්ට් බස් නැවතුම්පල අධිවේගී අන්තර්ජාල පහසුකම ලබාදෙන 4G LTE තාක්ෂණයෙන් සහ මොබිටෙල් wi-fi සම්බන්ධතාවයකින් සමන්විතය. බස් නැවතුම්පලෙහි ඇති ස්මාර්ට් අලෙවි යන්ත‍්‍රයක් (vending machine) මඟින් මුදල් භාවිතයෙන් තොරව සුඑ පාන වර්ග ලබාගත හැකි වේ. එහි මුල් පියවරක් වශයෙන් ජලය අවශ්‍ය වූ විට බස් නැවතුම්පලෙහි සඳහන් කොට ඇති දුරකථන අංකයට ‘water’ යනුවෙන් කෙටි පණිවිඩයක් යවා ඊට ප‍්‍රතිචාර වශයෙන් ලැබෙන කෙටි පණිවිඩයෙහි ඇතුළත් කේත අංකය අලෙවි යන්ත‍්‍රයට ඇතුල් කිරීම මඟින් එම අවශ්‍යතාවය සම්පූර්ණ කරගත හැකි ක්‍රමයක් හඳුන්වා දී තිබේ. බස් නැවතුම්පලෙහි ඇති තවත් නවාංගයක් නම් එහි ඇති අඟල් 46 අන්තර්-ක‍්‍රියාකාරීත්ව විද්‍යුත් තිරයයි. එමඟින් සේවාදායකයාගේ මුහුණ විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඔහුගේ/ඇයගේ ස්තී‍්‍ර-පුරුෂ භාවය සහ වයස පිළිබඳ යම් නිගමනයකට එළඹෙන අතර ඒ මත පදනම්ව විවිධ දැන්වීම් ප‍්‍රදර්ශනය කරයි. ඊට අමතරව මෙම තිරය මත සේවාදායකයින්ට වැදගත් වන බස් මාර්ග සිතියම්, දුම්රිය මාර්ග සිතියම් සහ ආසන්නයේ ඇති ATM යන්ත‍්‍ර වැනි තොරතුරුද ලබා ගත හැක.

බස් නැවතුම්පලෙහි වහලය මත තබා ඇති සූර්ය ශක්තියෙන් කි‍්‍රයාත්මක වන සංවේදකයක් මඟින් අවට පරිසරයෙහි උෂ්ණත්වය, ජලවාෂ්ප ප‍්‍රමාණය, කාබන් ඩයොක්සයිඞ් මට්ටම, කාබන් මොනොක්සයිඞ් මට්ටම, ශබ්දය වැනි සෞඛ්‍යමත් පරිසරයක් පවත්වා ගැනීමට බලධාරීන්ට වැදගත් වන මාපකයන් පෙන්නුම් කෙරේ. ජංගම දුරකථන ආරෝපණය සඳහා පහසුකම්ද මෙහි සපයා ඇත.

ලෝක තාක්ෂණික ප‍්‍රවණතා වලට අනුගත වී එම අත්දැකීම සිය පාරිභොගිකයින්ට සැපයීමට උත්සහ ගන්නා තාක්ෂණයේ පෙරටුගාමියා මොබිටෙල් සහ විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය එක්වල මෙම ස්මාර්ට් බස් නැවතුම්පලෙහි ඊළඟ පියවර වශයෙන් කොළඹ සහ තවත් ප‍්‍රධාන නගර වල මෙවැනි බස් නැවතුම් වැඩි ප‍්‍රමාණයක් ජාතියට තම සේවා අවශ්‍යතාවයන් සඳහා හඳුන්වා දීමට අදහස් කරයි. ලංකාවේ ස්මාර්ට් නගර ඇති කිරීමේ දීර්ඝ කාලීන ව්‍යාපෘතියෙහි පළමු පියවර වශයෙන් මොබිටෙල් විසින් මෙම උත්සාහය ගෙන ඇත.

Powered by Blogger.