ලසන්ත ඝාතකයා කවුදැයි මම දන්නවා - ෆොන්සේකා.


පසුගිය සති දෙක තුනක පමණ කාලයක් තුළ වඩාත් කතා බහට ලක් වූ ඇමැතිවරයෙක් වූයේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතායි. ඔහුගේ ඉන්දීය සංචාරය, මෙන්ම වාසුදේව නානායක්කාර මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයන් රහස් පොලිසිය මඟින් ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීම ඇතුළු කරුණු කිහිපයක්ම මේ සඳහා බලපෑවේය. එසේම ඇමැති තනතුරක් දරමින් ෆීල්ඩ්මාර්ෂල් නිල ඇඳුමින් ජනාධිපතිතුමා සහභාගි වූ අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ වර්ණ ප්‍රදානයට සරත් ෆොන්සේකා මහතා සහභාගි වීම සම්බන්ධවද විවිධ පුද්ගලයන් අතර කතා බව පැතිර ගොස් තිබුණි. මේ සම්බන්ධව අද කතාබහට එක් වෙමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙසේ අදහස් දැක්වීය.

රජයේ කැබිනට් ඇමැතිවරයෙක් ලෙසින් කළ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් ඇතැමුන් විවිධ පුහු තර්ක ගෙන එන බව දැන ගන්නට තිබෙනවා. රජය නියෝජනය කරමින් විදේශ රටකට යන කැබිනට් ඇමැතිවරයකු විසින් රජයේ සංවර්ධන ක්‍රියාදාමයන් සම්බන්ධව විස්තර කිරීම අනිවාර්යෙන්ම කළ යුතුයි. ඒ බව නොදන්නා දේශපාලඥයන් එහෙමත් නැත්නම් විද්වතුන් යැයි කියා ගන්නා අය ගැනයි ප්‍රශ්නයක් තිබෙන්නේ.

විශේෂයෙන්ම ඉන්දීය සංචාරයේදී ඔවුන් ප්‍රශ්නයක් මතු කළා චීනය සමඟ අනවශ්‍ය අන්දමින් සබඳකම් තිබෙන බවට. මා එහිදී පැහැදිලිව පෙන්නුම් කර දුන්නා චීන රජයට හම්බන්තොට වරාය හා අවට ප්‍රදේශ බදු දීමට ගෙන ඇති තීරණයන් සම්බන්ධව. එමෙන්ම ඒ සබඳතා අනවශ්‍ය සබඳතා නොවන බවත් වාණිජ සබඳතා බවත් පෙන්නුම්කර දුන්නා.

ඒ කාර්යය නිසි පරිදි ඉටු කිරීම කැබිනට් ඇමැතිවරයකුගේ කාර්යයක් වනවා. එමෙන්ම ත්‍රිකුණාමලය සංවර්ධනය ගැනත් කතා බහ කළා. විශේෂයෙන්ම ත්‍රිකුණාමලයේ ඉන්දියානු කර්මාන්තපුරයක් පිහිටුවීම ගැනත් කතා කළා. මේ ආයෝජන හරහා තමයි ලංකාවේ සංවර්ධනය කළ යුත්තේ. අගමැතිතුමා විශේෂයෙන්ම ඒ ගැන මා සමඟ කතා කළා. මේ ආයෝජන, සංවර්ධනය ගැන නොදන්න. එසේත් නැත්නම් ඒ දියුණුවට අකමැති නැත්නම් ජනතාව පිට බදු පටවා ජනතාව අසීරුතාවට පත් කරමින් රජය අපහසුතාවන්ට පත් කරන්න ඕනකමක් තියෙන අය තමයි මේ ගැන අනවශ්‍ය බොරු විවේචන එල්ල කරන්නේ.

මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේත් කතා කළා. ඒ ගැන එදා නොතිබුණු විවේචනයක් එළියේදී කරනවානම් ඒ විවේචන එල්ල කරන දේශපාලනඥයන්ගේ තරම එයින්ම වැටහෙනවා. වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා ෆීල්ඩ් මාර්ෂල් කම හෝ ඇමැතිකම යන දෙකෙන් එකක් තෝරා ගත යුතුයි කියා ප්‍රකාශ කර තිබෙනවා. මේකට ප්‍රධාන හේතුව දේශපාලනඥයා කවුරුන්ද යන්න ගැනවත් හමුදාවේ නිලතල ගැනවත් අවබෝධයක් නැතිකමයි. වාසුදේව මොනවද දන්නේ දේශපාලනය ගැන.? පරණ යල් පැන ගිය සමාජයෙන් පවා දැන් ඉවත් කර ඇති බංකොලොත් වෙච්ච වාමාංශික දේශපාලනයේ කොටසක් විතරයි ඔහු දන්නේ.

අනුරාධපුරයෙන් පොලොන්නරුවෙන් එහාට නොගිය ඔහු කොහොමද හමුදාව ගැන කතා කරන්නේ. හමුදා නිලතල ගැන ඔහු දන්නේ මොනවාද? අඩුම ගාණෙ මිනීමරු ප්‍රභාකරන්ට විරුද්ධව එක වචනයක් කතා නොකරපු අය තමයි මේ දැන් මැරිලා ඉපදිලා වගේ කතා කරන්නේ. හමුදාව ගැන වගේම මෙරට ගැන හැඟීමකින් කතා කරන්න අපට ලොකු අයිතියක් තියෙනවා. අපි තමයි ලේ වැගිරුවේ. අපි බෝම්බ කෑලි ඇගේ තියා‍ගෙන යුද්ද කෙරුවේ. දහදිය හෙළුවේ.

ෆීල්ඩ් මාර්ෂල් නැත්නම් තරු පහේ ජනරාල් තනතුරු දැරූ අය දේශපාලනය කළ බව වාසුදේව දන්නෙ නැතිව ඇති. ඒකට පොතපත කියවන්න ඕන. අයිසන් හවර්, චාල්ස් ඩිගෝල් වගේ හමුදා නායකයො දේශපාලනය කරපු බව ඔහු දන්නෙ නැතිව ඇති. වාසුදේවගේ දැනුම ගැන අපට ඇත්තේ කනගාටුවක් විතරයි. ඒ සීමිත දැනුම ගැන කතා කරන්නවත් ඒ ගැන හිතලා වැඩ අඩ පණ කරගන්න එකවත් අපි කළ යුතු නැහැ. ඒ සීමිත දැනුම නිසා හමුදාවේ තනතුරුවලින් ඉවත්වීම හෝ දේශපාලනයෙන් ඉවත්වීම හෝ කළ යුතු වන්නේ නැහැ. ෆීල්ඩ් මාර්ෂල් තනතුරේ අභිමානය නැති කරගන්න අපි කටයුතු කළ යුතු නැහැ.

දියතලාවේ හමුදා නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාළියටත් ඒ වගේම අඹේපුස්ස සිංහ රෙජිමේන්තු යෂ්ටි ප්‍රදානයටත් මම සහභාගි වුණා. ඒ පූර්ණ ෆීල්ඩ් මාර්ෂල් නිල ඇඳුමින්. හමුදාවේ විශේෂිත උත්සවවලට නිල ඇඳුමින් ගමන් කිරීම ලෝක හමුදා සම්ප්‍රදායයක්. ඒ ගැනවත් මේ සීමිත දැනුම තියෙන දේශපාලකයන් දන්නෙ නැතිව ඇති. ඒ නිල ඇඳුම ඇඳගෙන දේශපාලනය කරන්නෙ නැහැ. අප දේශපාලනය කරන හැටි රටේ ජනතාවට පේනවානේ. හමුදාවේ ලක්ෂ දෙකකට අණ දුන්න හමුදාපති දේශපාලනය කරන විදියයි පහුගිය කාලේ ඒකාධිපති පාලනයක් ගෙන ගිය මහින්ද රාජපක්ෂ දේශපාලනය කරපු විදිහෙයි වෙනස බලන්න. හමුදා නායකයන් බලෙන් ඇදගෙන ගිහින් ඔවුන්ගේ අභිමානය අප විනාශ කර නැහැ. මේ රජය විසින් කරන්නෙ හමුදාවෙ අභිමානය නඟා සිටුවීමයි.

යුද හමුදාවේ හිටපු මේජර්වරයෙක් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිමින් ජනරාල්වරුන් නැත්නම් හමුදාවේ ඉහළ නිලධාරීන් විවේචනය කළා. මේ තත්ත්වය හමුවේ තේරුම් ගත යුත්තේ කුමක්ද? ඒ නිලධාරියා විනයක් නැති නිලධාරියෙක් බවයි. ඔහුගේ මානසිකත්වය එයින්ම තේරුම් ගන්න පුළුවන්. මේජර්වරයකු යැයි කියන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි ඔහු කටයුතු කර ඇත්තේ ඔහු හමුදාවේ සිටියදී ඉහළ නිලධාරියකු විවේචනය කළානම් සිදුවන්නේ කුමක්ද යන්න හොඳින්ම දන්නවා.

විනයගරුක බවක් නැති නිලධාරියකුට හමුදා නිලධාරියෙක් වන්න බැහැ. එපමණක් නොවේ. අද වාහන අවභාවිතය ඇතුළු වැරැදි රැසකට සම්බන්ධව ඇති කරුණා අම්මාන් වීරයකු ලෙස ඔහු මාධ්‍ය ඉදිරියේ හැඳින්වූවා. ඇත්තෙන්ම ඒ වගේ අයට ගැළපෙන්නේ කරුණා අම්මාන් වගේ අයම තමයි. ඒ තැනැත්තාගේ කතාවෙන්ම තේරෙනවා ඒ නිලධාරියාට ලැබී තිබූ දඬුවම සාධාරණයි කියලා.

හමුදා අධිකරණ අතීතයෙත් තිබුණා, අදත් තියෙනවා, හෙටත්. තියෙනවා. ඒක දේශපාලනයට සම්බන්ධ දෙයක් නෙමෙයි. ඒ වගේම දේශපාලන අතකොලු වෙච්ච, අනුන්ගේ සුළු දෙයින් පවා ලකුණු දාගන්න හදන මේ ඒකාබද්ධය කියල ‘මල බද්ධය‘ එක්ක එකතු වෙන්නෙත් ඒ වගේම අය තමයි. ඔය වගේම යුද අධිකරණයෙන් පවා ජ්‍යෙෂ්ඨත්වය පවා පහත දැමූ නිලධාරියෙක් දකුණු පළාතෙත් ඉන්නවා. ඒ වගේ දූෂිත චරිත අල්ලාගෙන රඟපෑම් කිරීම ඒකාබද්ධයේ ඡන්ද ව්‍යාපාරයක් වෙලා. විනය ගරුක හමුදා නිලධාරියෙක් කවදාවත් කාගෙවත් දේශපාලන අතකොලු වෙන්නේ නැහැ. ආබාධිත විශ්‍රාමික සෙබළුන් උසි ගන්වමින් ගියේ කවුද කියන එක අද රහසක් නෙමෙයිනේ. රට වෙනුවෙන් සටනට ගොසින් ආබාධයන්ට ලක්වූ ඒ රණවිරුවන් උසි ගන්වන්න ගම්මන්පිල ඇතුළු බංකොළොත් දේශපාලනඥයන්, බුද්ධාගමට පවා අපහාස වන අයුරින් හැසිරෙන හාමුදුරුවරු එක්කෙනෙක් දෙන්නෙක් නිසා තමයි මේ සියල්ල සිදු වුණේ.

ඒ වගේම හමුදාවේ සියලුම නිලධාරීන් වගේම සෙබළුන් දැන ගත යුතුයි හමුදාවේ විනය සම්බන්ධව. එය අංක එක ලෙසින් සිහි තබා ගත යුතුයි. ජනාධිපති කාර්යාලයයට විප්ලවවාදීන් ලෙස කඩා වදින්න ගියහොත් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස ඔවුන්ට විරුද්ධව කටයුතු සිදු වේවි. රටක විනයක් නීතියක් පාලනයක් තිබිය යුතුයි. එය ඉක්මවා ගිය විට ඇති වන තත්ත්වයක් තමයි අප එදා දුටුවෙත්. පටු දේශපාලන වාසි ලබා ගන්න අහිංසක ආබාධිත රණවිරුවන් යොදා ගත්තෙ කොයිතරම් නින්දිත අයුරින්ද කියන්න අද ලංකාවම දන්නවා. මේ රජය හමුදා විරුවන්ට උපරිම ආකරයෙන් සලකනවා. විරුසර සේවාව ලබා දුන්නා. හමුදා නායකයන්ට කෘෘරකම් කරේ නැහැ. මාධ්‍ය ‍වේදීන් අතුරුදන් කෙළේ නෑ. ඝාතනය කෙළෙත් නෑ. කවුද ලසන්ත වික්‍රමතුංග ඝාතනය ක‍ෙළ්. මම පැහැදිලිවම කියනවා ඒක කළේ මහින්ද රාජපක්ෂ කියලා. ඕනෑම තැනකදි මේ බව මම පැහැදිලිවම කියනවා. රහස් පොලිසියේත් මේ ගැන වාර්තා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂගේ මිග් ගනුදෙනුව ගැන ලසන්ත වික්‍රමතුංග 12 වැනිදා පුවත්පතේ පළ කරන්නයි සූදානමින් හිටියේ. 8 වැනිදා ඔහු ඝාතනය වුණා. ලසන්ත වික්‍රමතුංගට මහින්ද රාජපක්ෂ කියලා තියෙනවා ‘මම උඹව ඉවර කරනවා කියලා ‘‘ ඒක රහස් පොලිසියෙත් තියෙන බව මම දන්නවා.

පසුගිය දිනවල රහස් පොලිසියෙන් ඉල්ලීමක් කළා. මම කළ ප්‍රකාශයන් සම්බන්ධව ප්‍රකාශයක් ලබා දෙන්න කියලා. මම ගිහින් ප්‍රකාශයක් ලබා දුන්නා. මම කලින් කියා තිබුණා ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන පරීක්ෂණ නිසි පරිදි සිදු නොවන බව. ඒ කිව්වේ පැහැදිලි සාක්ෂි ඇතිව. මගේ ආරක්ෂාවට සිටි සෙබළුන් පිළිබඳ විස්තර ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයාගෙන් ලබාගත් අවසරයක් මත සොයන බවට පුවත්පත් කිහිපයක වාර්තා වෙලා තිබුණා. මම සියයට සියයක් නෙමෙයි සියයට දහසක් ස්ථිරවම දන්නවා ලසන්ත ඝාතනය කෙළේ මහින්ද ප්‍රමුඛ පිල කියලා. ඒක නිසයි මම ඒ බව පැහැදිලිවම කිව්වේ. මහින්ද ඒ ඝාතනය කළා පමණක් නෙමෙයි මට ඒ චෝදනාව එල්ල කළා. රහස් පොලිසියෙන් කළ ඉල්ලීම පරිදි මම රහස් පොලිසියට ගිහින් කට උත්තරයක් ලබා දුන්නා.

මේ රජයේ ගමන් මඟ ඉතා පැහැදිලියි. අවංකව කැපවීමෙන් යන දේශපාලන ගමන් මඟක් තියෙන්නේ. මේ රටේ ගමන් මඟ ජනතාව වෙනස් කළා. 2015 ජනවාරි මාසේ 8 වැනිදා. අද බඩගෝස්තරවාදීන් වගේම වාහන අවභාවිත කළ බයිසිකලෙන් ගිහින් මාලිගා හදල සුපිරි වාහන ගත්ත අය තමයි ඒකාබද්ධයේ වීරයන් වෙලා ඉන්නේ. ඒ අය තමයි නුගේගොඩ රැලියට ආවේ. එතැන වැඩිම වුණොත් 25000ක් ඉන්න ඇති. බඩගෝස්තරවාදියන් 2500කට 10 ගණනේ පිරිස හොයාගෙන ඉන්න කිව්වාම 25000 ක් හොයා ගන්න එක අමාරු නැහැ. මහින්ද රාජපක්ෂ හිතනවා නම් ලක්ෂ 62 ක ජනතාව පිහිටුවූ ආණ්ඩුව 25000 කගෙන් පෙරළන්න පුළුවන් කියලා ඒ දැනුම ගැන තමයි අපට හිතා ගන්න පුළුවන් වෙන්නේ.

අද රටේ ආරක්ෂාව අඩු කරලා කියලා ඇතැම් පුහු දේශපාලනඥයන් පවසනවා. කලින් කිව්වා වගේම යුදබිම ගැන කිසිම දැනුමක් නැති අය තමයි මේ ගැන කියන්නේ. යුද්දෙ කාලෙ හමුදා කඳවුරුවල නෙමේ උතුරු නැඟෙනහිර අඟලක් අඟලක් ගාණේ, පාලම්, බොක්කු ගස් ගල් ළග පවා අපි සෙබළුන් යෙදෙව්වා. යුද්දෙ නිම වුණායින් පස්සේ අපි ඒ සෙබළුන් කඳවුරුවල ස්ථාන ගත කළා. ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් උතුරට අවශ්‍ය නැහැ. ඒ හමුදා පිරිස් දකුණේ අවශ්‍ය ප්‍රදේශවලට වගේම පුහුණුවීම් කළ හැකි ප්‍රදේශවලටත් දකුණේ සෙසු කඳවුරුවලත් අනු ගත කළා, යුද්දෙ කළේ අපි. අපියි යුදබිම ගැන දන්නේ. කොළඹ ඉඳලා කෑගහන අය නෙමෙයි. යුද්දෙන් පස්සෙ වැඩ කළ යුතු සැලැස්ම මම හදල දුන්නා. නමුත් ඒ කිසිවක් කෙළේ නෑ. යුද්දෙ දිනල දුන්න හමුදාපති ගැන පවා සැක කළා. කිසිම බලයක් නැති බොරු උසස්වීමක් ලබා දුන්නා. එයින් ම තමයි රාජපක්ෂ පාලනය බිඳවැටුණේ. මේ සුන්දර ලංකාවේ සුදුසුකම් නැති දැනුමක් නැති අය රජ කරපු කාලයක රට විනාශ කරල පවුල් පාලනයක් ගෙන ගිය කාලයක ඉපදීම පවා අප සැවොම කළ පාපයක්.

Share on Google Plus