සමයං ඝාතන සිද්ධියට දේශපාලකයකු ගැනත් සැකයක්?


පාතාල නායක ‘සමයං’ ඇතුළු රැදවියන් පස් දෙනෙකු හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මහ මග වෙඩි තබා මරා දැමීමේ සිද්ධියට දේශපාලඥයකු ද සම්බන්ධ බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පල කරයි.

පසුගිය මැතිවරණ සමයේදීද ‘සමයං’ එක්තරා දේශපාලඥයෙකු වෙනුවෙන් ප්‍රසිද්ධියේ ක්‍රියාකාරකම්වල යෙදී ඇති අතර සමයංගේ ෆේස්බුක් ගිණුමෙන්ද ඒ බව තහවුරු වෙයි.

කෙසේවුවද පොලිසිය පවසන්නේ, කළුතර මල්වත්ත ප්‍රදේශයේදි බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා හත් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය පාතාල කල්ලි සාමාජියකන් දෙපිරිසක් අතර කලක සිට පැවති ආරවුලක ප්‍රතිඵලයක් ලෙස සිදුවූවක් බවට දැනට සිදු කර ඇති විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි.

‘‘අංගොඩ ලොක්කා‘‘ නමින් හැඳින්වෙන පාතාල නායකයා විසින් මෙම ඝාතන සිදු කරන්නට ඇති බවට පොලිස් සැක කරයි.

මෙම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය තවදුරටත් විමර්ශන මෙහෙයවයි.

පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් 05ක් පත් කර ඇති බවයි. 

ඊයේ (27) සිදුවු මෙම වෙඩි තැබිමෙන් මිය ගිය එම් පී අරුණ දමිත් උදයංග පතිරණ හෙවත් සමයං නැමැත්තා ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් පස්දෙනාගේත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගේත්  පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ රාත්‍රීයේ නාගොඩ රෝහලේදී සිදුකෙරිණ.

වෙඩි තැබීම සදහා පැමිණි පිරිස් අතහැර දමා ගිය කැබ් රථය පොලීසිය විසින් සොයාගෙන ඇත.

මේ අතර, කළුතර මල්වත්ත බන්ධනාගාරය ආසන්නයේ දී සිරකරුවන් පිරිසක් රැගෙන ධාවනය වූ බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව නිවේදනයක් නිකුත්කරමින් බන්ධනාගාර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩීඑම් ස්වාමිනාදන් මහතා පවසන්නේ, කළුතර බන්ධනාගාරයේ සිට සිරකරුවන් පිරිස ප්‍රවාහනය කිරීමේදී පොලිස් ආරක්ෂාව ලබා දී තිබුණේ නම් බන්ධනාගාර රථයට එල්ල වූ ප්‍රහාරය වළක්වාගත හැකිව තිබූ බවයි.

"සාමාන්‍යයෙන් මෙවැනි බරපතල චෝදනා ලත් පාතාල සාමාජිකයන් රැගෙන යාමේදී විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාගැනීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් සිදු කරන අතර පොලිස් නිලධාරීන්ගේ හිඟකම නිසාවෙන් ආරක්ෂාව ලබාදිය නොහැකි බව පොලිසිය විසින් ඊයේ දිනයේදී දැනුම් දී ඇත,"යනුවෙන් අමාත්‍යවරයා නිකුත්කළ නිවේදනයක සඳහන්වේ. 

කෙසේ වෙතත් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු බන්ධනාගාර අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා සඳහන් කළේ පරිපාලනයේ පවතින දුර්වලතා හේතුවෙන් මෙවැනි සිද්ධීන් සිදු වන බවයි.

SLM

Share on Google Plus