රන්ජන් සිදු කර ඇත්තේ අනුමත කළ නොහැකි දෙයක් - ජනාධිපති.


දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා විසින් බැණවැදීමේ සිද්ධිය නොවිය යුතු එසේම අනුමත කළ නොහැකි සිද්ධියක් ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තම සංගමයට ලබාදුන් සාකච්ඡාවේදී සඳහන් කළ බවත්, නියෝජ්‍ය ඇමැතිවරයාගේ හැසිරීම වැරැදි එකක් බවත්, ඒ පිළිබඳ තමා එම නිලධාරිනියට හා තම සංගමයට කනගාටුව පළ කරන බවත් දන්වා සිටි බැව් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට විරුද්ධ වූ රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කර ඇතැයිද එම පරීක්ෂණ කඩිනම් කරන ලෙසත්, නිලධාරිනිය වරදකරු වේ නම් දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට අදහස් කරන බවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නිකුත් කළ එම නිවේදනයෙහි දැක්වෙයි.

තමා එවන් කිසිදු අයථා ක්‍රියාවක නියැළී නැති බැවින්, පරීක්ෂණ කටයුතු කඩිනමින් නිමකරන ලෙස එම නිලධාරිනියද ඉල්ලා ඇතැයි එම නිවේදනයෙහි සඳහන් වේ.
තම සංගමය කිසිදු හේතුවක් මත දූෂිත නිලධාරීන් වෙනුවෙන් පෙනී නොසිටින බව පවසන එම සංගමය, මෙම නිලධාරිනිය වත්මන් තනතුරේ අවුරුදු 5ක් පිරුණු 2015 වසරේදීත් ඉන් පසුවත් වාර්ෂික ස්ථාන මාරු ඉල්ලා ඇතත් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය විසින් ඇයට ස්ථාන මාරු ලබාදී නොමැති බව පෙන්වා දෙයි.

දැන් 2017 වසරේත්, ස්ථාන මාරුවක් සඳහා අභියාචනාවක්ද අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇතත්, මෙතෙක් එය ඉටුවී නොමැති බවත්, ස්ථාන මාරුව ක්‍රියාත්මක නොවීම ඇයගේ පාලනයෙන් බැහැර වූ කරුණක් බවත් එම සංගමයේ ලේකම් සුනිල් ගලගම මහතාගේ අස්සනින් නිකුත් කර ඇති එම නිවේදනයෙහි සඳහන් වෙයි.
ස්වදේශ කටයුතු ඇමැතිවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම කනගාටුව පළ කර අගමැතිවරයාද දැනුවත් කළ බවත්, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැතිවරයාද තම සංගමයට හා නිලධාරිනියට සිදුවූ අපහසුතාව පිළිබඳ කනගාටුව පළ කළ බවද එම නිවේදනයෙහි දැක්වෙයි.

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය ඇයට මෙම සිද්ධිය මඟින් සිදුව ඇති අපහාසය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් ඊට පූර්ණ සහයෝගය ලබාදීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සූදානම්ව සිටින බව දැනුම් දීමට කැමැති බවද එම නිවේදනයෙහි සඳහන් කර ඇත.

Powered by Blogger.