ඉරණවිල ඇමෙරිකන් හඬ භූමියේ නව සංචාරක කලාපයක්.


ඉරණවිල ඇමෙරිකන් හඬ අක්කර 500ක භූමියේ නව සංචාරක කලාපය ආරම්භ කිරීමත් සමඟම වයඹ පළාතේ සිදුකෙරෙන ශීඝ්‍ර සංවර්ධන ක්‍රියාවලිය හේතුවෙන් වයඹ තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයට විසඳුම් ලැබෙනු ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

වත්මන් ආණ්ඩුව පසුගිය කාලයේ මෙන් සංවර්ධනය එක් ප්‍රදේශයකට හෝ එක් ජන කොටසකට පමණක් සීමාකර නොමැති බවත් හම්බන්තොට, කොළඹ, මහනුවර, බදුල්ල හා ත්‍රිකුණාමලය මෙන්ම උතුරු නැඟෙනහිර පළාත්ද එකතු කරගෙන සමස්ත ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ අත්කරදීමට ශීඝ්‍ර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත්තේ පසුගිය කාලයේ ලබාගෙන ඇති විදේශ ණය සඳහා වාරික හා පොලී බිලියන දහස් ගණනින් ගෙවන අතරතුර බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

රුපියල් බිලියන 137ක ආයෝජනයකින් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකිරීම් ආරම්භ කරමින් ඉකුත් 01 වැනිදා අලව්ව, කුඩගම්මන පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

වැඩිදුරටත් උත්සව සභාව ඇමතූ වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

"ජාත්‍යන්තර මට්ටමේ අධිවේගී මාර්ගයක් දේශීය සමාගම් හතරක් මඟින් ඉදිකරන ප්‍රථම අවස්ථාව මෙයයි. මෙතෙක් කල් අපේ රටේ අධිවේගී මාර්ග ඉදිකළේ විදේශීය සමාගම්. අපේ රටේ සමාගම් ක්‍රියා කළේ එම විදේශික සමාගම්වල උප කොන්ත්‍රාත්කරුවන් ලෙසයි. මේ නිසා අපට විදේශ රටවලින් විශාල ණය ලබාගැනීමට සිදුවූවා පමණක් නොව එම මුදල් ඇදී ගියේ විදේශ රටවලටයි. එම ණය හා පොලී දීර්ඝ කාලයක් තිස්සේ ගෙවීමට අපට සිදුව තිබෙනවා. එහෙත් මධ්‍යම අධිවේගි මාර්ගය අපේ මුදල් යොදා ඉදිකිරීම නිසා පිටරටවලට ඇදී ගිය විශාල මුදලක් මේ රටේ රඳවා ගැනීමට හැකියාව ලැබෙනවා. එපමණක් නොව ඉදිරියට මෙම දේශීය සමාගම්වලට විදේශීය රටවල අධිවේගී මාර්ග ඉදිකිරීමේ අවස්ථාවද හිමිවන අතර අපේ ඉන්ජිනේරුවන් ඇතුළු විවිධ වෘත්තිකයන්ට රැකියා අවස්ථාද හිමිවීමෙන් අපේ රටට විදේශ විනිමය උපයා ගැනීමටද හැකියාව ලැබෙනවා.

1978දී ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මහවැලි ව්‍යාපාරය හරහා රටේ ශීඝ්‍ර සංවර්ධයක් ඇති කළ ආකාරයට මේ රටේ දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයක් ආරම්භ කිරීමට අපේ ආණ්ඩුව මුලපුරා තිබෙනවා. අපට එසේ කරන්නට නොහැකි නම් මේ රටේ තරුණ තරුණියන්ට රැකියා ලබාදීමට අපට හැකියාව ලැබෙන්නේ නැහැ. මට පෙර කතා කළ අකිල විරාජ් සහ දයාසිරි ඇමැතිවරුන් ඒ ගැන සඳහන් කළා. අපි මෙම ශීඝ්‍ර සංවර්ධනයට තෝරාගත්තේ නිරිත දිග කවළුව. හම්බන්තොටින් පටන් අරන් ගාල්ල, මාතර, කොළඹ මූල්‍ය නගරය, ඊළඟට මහනුවර, හලාවත, රත්නපුරය කර්මාන්ත කලාප හා සංචාරක කලාප ලෙස සංවර්ධනය කරනවා. නිරිත දිග කවුළුවට වරායන් 2ක් හා ගුවන්තොටුපොළවල් 2ක් අයත් වෙනවා. ඒ නිසා මෙම සංවර්ධන කලාපවල නිෂ්පාදන පහසුවෙන් අපනයනය කරන්නත්, සංචාරකයන්ට පහසුවෙන් එම ප්‍රදේශ කරා යන්නත් හැකියාව ලැබෙනවා. චීනය, මැලේසියාව, තායිලන්තයත් එහෙම ප්‍රදේශ කිහිපයක් තෝරාගෙන ඒවායේ ආයෝජන කලාප ඇති කළා. සිංගප්පූරුව මුළු දූපතම ආයෝජන කලාපයක් කළා. චීනයේ එක ප්‍රදේශයක අක්කර 10,000ක් ආයෝජනයට වෙන් කළා. ඒ ආකාරයට මෙම මධ්‍යම අධිවේගී මාර්ගය මඟින් කොළඹ සිට ගලගෙදර දක්වා විශාල දියුණුවක් ඇති වෙනවා. නගරවල දියුණුවත් සමඟ කර්මාන්ත කලාපයන් සංචාරක කර්මාන්තයන් දියුණු වෙනවා. එවිට කටුනායක සිට කුරුණෑගලටත් මහනුවරටත් යන්න ගත වන්නේ සුළු කාලයක්.

වයඹ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව අපේ පක්‍ෂ දෙකේම සිටින වයඹ මැති ඇමැතිවරු ගෙන්වලා කඩිනමින් සාකච්ඡා කරන්නත්, ඒ අයගේ අදහස් හා යෝජනා ලබාගන්නත් මා බලාපොරොත්තු වෙනවා. ඒ ආකාරයට මහනුවර නගරය පල්ලකැලේ දක්වා දියුණු කරන ආකාරය පිළිබඳව මහනුවර දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරු සමඟ සාකච්ඡා කිරීමට කටයුතු යොදා තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන්නේ ඇස්තමේන්තු මුදලට වඩා සියයට 22ක් අඩුවෙන්. ඒ ඉතිරි වන මුදලින් අපට නව මාර්ග කිහිපයක් හදන්න පුළුවන්. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමඟ එක්වී ඊළඟ මැතිවරණය වෙනතුරු මේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනවා. අපේ පක්‍ෂ දෙක අතරේ කඹ ඇදිලි තියෙන්න පුළුවන්. නමුත් අප එක්ව ඉදිරියට යා යුතුයි. නිදහස ලබා ගන්නා විට සිංගප්පූරුවට ඉදිරියෙන් සිටි අප අද සිටින්නේ කොහේද? පක්‍ෂ දේශපාලනය ගැන කල්පනා කළා මිස අපි රට හා ජනතාව ගැන සිතුවේ නැහැ. තවදුරටත් අපට ඉස්සරහට යන්න බැරි නිසයි ප්‍රධාන පක්‍ෂ දෙක එකතුවී මේ ගමන යන්නේ. ප්‍රශ්න බාධක අභියෝග තිබෙන්න පුළුවන්. ඒත් අපි එක්ව මේ ගමන යමු. මම දන්නවා ශමල් සෙනරත් හා ශාන්ත බණ්ඩාර අතර කඹ ඇදිලි තිබෙනවා. කමක් නැහැ. ඔයාලා එක්වෙලා ඉස්සරහට යන්න. වැඩ කරන්න. වයඹ හදන්න. සංවර්ධනය කරන්න. ඒවායේ ප්‍රතිලාභ ඔයාලට ගන්න පුළුවන්. අපට පරණ කතාවලින් වැඩක් නැහැ. මේ වගේ පක්‍ෂ දෙකක් එකතුවීමේ අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගමු. මේ අප දෙපාර්ශ්වයටම ලද අවසන් අවස්ථාව. අපි පක්‍ෂ දෙක එකතු වුණා වගේ ලෝකයත් එකතු කරගෙන ඉදිරියට යමු. මෙම වැදගත් කර්තව්‍ය සඳහා කැපවී කටයුතු කරන ලක්‍ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඇතුළු සියලු දෙනාට අපේ ප්‍රශංසාව හිමිවිය යුතුයි.

අමාත්‍ය රවි කරුණානායක එහිදී අදහස් දක්වමින් මෙසේ කීය.

ණය උගුලක හිරවී තිබියදී අපට භාරදුන් රටෙහි කැපී පෙනෙන වෙනසක් කළේ ජනතාවට සහන, වැටුප් වැඩිවීම්, සෞඛ්‍ය හා අධ්‍යාපනය ඇතුළු ක්‍ෂේත්‍ර සඳහා විශාල මුදලක් වියදම් කරන අතරතුරේ බව කී අමාත්‍යවරයා මේ වසරේ අපේ ආදායම පුනරාවර්තන වියදම් සඳහා ගළපා ගැනීමට හැකිවීම රජය ලද ජයග්‍රහණයක් බව ප්‍රකාශ කළේය.

අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා අදහස් දක්වමින් මෙම ආණ්ඩුව බලයට පත්වන විට මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා එක බිම් අඟලක් හෝ මැන තිබුණේ නැති බවත් පසුගිය වසර එකහමාර තුළ ඉඩම් කැබලි 22,000ක මිනුම් කටයුතු නිමකොට පවරා ගැනීම් හා වන්දි ලබාදීමට පියවර ගත් බවත් පැවැසුවේය.

මෙරට ප්‍රථම අධිවේග මාර්ගය ලෙස ඉදිකිරීමට යෝජනා වී තිබුණේ කොළඹ- මහනුවර අධිවේගී මාර්ගය බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2001 වසරේදී ඒ සඳහා මැලේසියාවෙන් ආයෝජකයකු පවා සොයාගත් නමුත් ආණ්ඩුව වෙනස්වීමත් සමඟ එම කටයුතු ඇනහිටි බවත් හෙතෙම සඳහන් කළේය.

එදා මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කළා නම් වත්මන් වියදම් ඇස්තමේන්තුවෙන් සියයට 10ක මුදලකින් නිම කිරීමට තිබූ බවත් කෙසේ වුවත් 2019 වන විට මෙහි ඉදිකිරීම් නිමාවනු ඇතැයිද අමාත්‍යවරයා පැවැසුවේය.


Share on Google Plus