ගෝටා මුස්ලිම් විරෝධී ද?


2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරවීම ගැන චෝදනා එල්ල වූවන් අතර ගෝඨාභය රාජපක්ෂ ඉදිරියෙන් ම සිටියෙකි. බොදුබල සේනාව සමඟ එක්ව මුස්ලිම් විරෝධී පිළිවෙතක් ගෙන යමින් මහින්ද රාජපක්ෂට මුස්ලිම් ඡන්ද අහිමිකරවීම මෙම චෝදනාවට හේතුව විය. එසේ වුවත්අප කළ විමර්ශනයන්ට අනුව නම් ගෝඨාභයගේ එවන් මුස්ලිම් විරෝධයක් පෙනෙන්නට නැත. ගෝඨාභය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්ව සිටියදී දුක්විඳින මුස්ලිම් කෝටිපති ව්‍යාපාරිකයන් වෙනුවෙන් පිරූ දානපාරමිතාව පහත පරිදි වේ.

01. කොළඹ නගරයේ මිල අධිකතම ඉඩම් අතරින් ගාලු මුවදොර පිටිය ඉදිරියෙන් අක්කර දෙකක භූමි ප්‍රමාණයක් 'ෂැංග්‍රිලා හෝටලය' ඉදිකිරීමට ලබාදීම. ෂැංග්‍රිලා ජාත්‍යන්තර හෝටල් සමූහයෙහි දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන්නේ සජාඩ් මවුජුන් නම් මුස්ලිම් ව්‍යාපාරිකයෙකි.

මේ සජාඩ් මවුජූන් ගැනද යමක් කිව යුතුය. 2015 ජනවාරි 08 වනදා වන තුරුම මොහු 'සජාඩ් මවුජූන් රාජපක්ෂ' වී සිටි අතර ඉන් අනතුරුව මේ වන විට ඔහු 'සජාඩ් මවුජූන් සමරවීර' බවට පත් වී සිටී. එනම් රාජපක්ෂ පාලන සමයේදී මංගල සමරවීර මහතාගේ දුරකථන ඇමතුමකටවත් පිළිතුරු නොදුන් සජාඩ් 2015 ජනවාරි 09 වනදා එළිවන විට සිටියේ මංගල සමරවීරගේ බොල්ගොඩ නිවසේය. මේ වන විට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අග්‍රපුරෝහිත මෙන් ක්‍රියාකරන සජාඩ්, ඇමතිවරයාට විදේශ සංචාරයක් යෙදුණු විට ඇමතිටත් පෙර අදාල රටට ගොස් ඇමතිවරයා එන තුරු මඟ බලාසිටින බවද ප්‍රසිද්ධ වී ඇත.

02. 'ටාටා ලයිෆ් ස්ටයිල්ස්' සමාගම වෙනුවෙන් කොම්පඤ්ඤ වීදියෙන් අක්කර 08ක භූමි ප්‍රමාණයක් ලබා දීම. මෙම ඉඩම ලබා දී ඇත්තේ "පීඩිත" කෝටිපති මුස්ලිම් ව්‍යාපාරිකයකු වන සම්ප්‍රාස් නමැත්තෙකුට ය.

03. 'පර්ල් ග්‍රෑන්ඩ් ඇන්ඩ් පර්ල් සිටි' හෝටල් වෙනුවෙන් බම්බලපිටිය හන්දිය සමීපයෙන් වටිනා ඉඩම් කට්ටි ලබා දීම. ෆාරිස් නමැති මුස්ලිම් ව්‍යාපාරිකයකුට මෙම හෝටල් අයත් වන අතර දැනට තරු 5 සංචාරක හෝටලයක් එම ඉඩමක ඉදිවෙමින් පවතී.

එසේම මෙම හෝටල් තුන එකිනෙක සම්බන්ධ කරවීම සඳහා අහස් පාලම් (Sky Bridge) තුනක් ද ඉදිකිරීමට අවසර ලබා දී තිබේ. (ලංකාවේ සාමාන්‍යෙන් එවන් ගුවන් පාලම් ඉදිකිරීමට අවසර නැත.)

04. කොළඹ 03 කොල්ලුපිටියේ ගාලු පාරට මුහුණලා පර්චස් 30ට වැඩි ඉඩම් කට්ටි 03ක් මල්ටිලැක් සමාගමේ මිස්වර් නම් ව්‍යාපාරිකයාට ලබා දීම. මෙහි මැන්ඩරින් නම් හෝටලයක් ඉදිකෙරෙමින් පවතී.

තවත් උදාහරණ දිය හැකි නමුත් ඉන් සිදුවනු ඇත්තේ හුදෙක් ලැයිස්තුව දිගු වීම පමණකි. මුස්ලිම් විරෝධය ආභරණයක් කරගත් සිංහල ස්වෝත්තමවාදී බලු කපුටු රැළ ගෝඨාභය ගැන කුමක් සිතා සිටියද ඇත්තම "ගෝඨාභයගේ මුස්ලිම් විරෝධය" සටහන් වන්නේ ඉහත සඳහන් ආකාරයෙනි. ගෝටා ඥානසාරලා සමඟ එළිපිට නැටුවාට හැංගි හැංගී වෙස් බැඳ ඇත්තේ සජාඩ්ලා, සම්ප්‍රාස්ලා, ෆාරිස්ලා, මිස්වර්ලා එක්කය. අපට ඇති ප්‍රශ්නය නම් මෙතරම් සල්ලි කඳන් වූ කෝටිපති ව්‍යාපාරිකයින්ට ලබා දුන් ඉඩම් වලට අදාලව සත පහක්වත් නාගරික සංවර්ධන අධිකාරියට ලැබී නොතිබීමය. ඒ අනුව රජයට ලැබිය යුතු ගෝටා පුරා ඇත්තේ 'දාන' නොව 'ගන්න' පාරමිතාවය.

-LNW

Share on Google Plus