රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ ඩබල් ගේම්.


මාලබේ සයිටම් ආයතනය වෛද්‍ය උපාධිය ලබාදීම සඳහා අනුමැතිය හිමිවීමත් සමග ප්‍රධාන කණ්ඩායම් දෙකක් දැඩි විරෝධය දක්වමින් සිටී. එක් කණ්ඩායමක් වෛද්‍යවරුන් නියෝජනය කරන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයයි. අනෙක් කණ්ඩායම් වෛද්‍ය සිසුන් ප්‍රධාන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයයි.

මෙම කණ්ඩායම් දෙක අතරින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පසුගිය කාලය පුරාම විවිධ හේතු ඉදිරිපත් කරමින් වැඩවර්ජන සිදුකළ අතර ඒ බොහෝ ක්‍රියාමාර්ග පිලිබඳව සාමාන්‍ය සමාජය යොමුකළේ සැකමුසු බැල්මකි. එම සංගමය කටයුතු කරන්නේ ඔවුන් සමාජයේ වරප්‍රසාදිත, විශේෂ කොට සැලකිය යුතු වෘත්තියක නිතරව සිටින කණ්ඩායමක් ලෙසයි. උදාහරණයක් ලෙස එම සංගමය ඉදිරිපත් කළ වෛද්‍යවරුන්ගේ දරුවන්ට පහසුකම් සහිත පාසල් ලබාදිය යුතු බවට දැඩි සටනක නිරත විය.

මුලින් සයිටම් ආයතනයට වෛද්‍ය උපාධි ලබාදීම සඳහා නීත්‍යනුකූල හිමිකම් ලබාදීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දැඩි විරෝධයක් එල්ල නොකළ අතර අධිකරණය මගින්, සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය පිළිගත යුතු බවට තීන්දුවක් ලබාදීමත් සමග එයට දැඩි විරෝධයක් එල්ල කිරීමේ රහස එළියට පැමිණෙමින් තිබේ.

අද රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ඉහළ නිළධාරීන් ඒකාබද්ධ විපක්ෂය හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව අනාවරණය වේ. එහිදී වෛද්‍යවරුන් ඉල්ලා ඇත්තේ අධිකරණ තීන්දුවට එරෙහිව ගෙනයන සටන දේශපාලනික සහයෝගය ලබාදෙන ලෙසයි.

එවිට ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයන් පවසා ඇත්තේ ඉදිරි කටයුතුවලදී ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය දෙන්නේ නම් සයිටම් විරෝධයට සහාය ලබාදිය හැකි බවයි. මෙයට පිළිතුරු ලෙස රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසා ඇත්තේ තමන් විරෝධතාවයේ නිරතව සිටින්නේ ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය ලබාදීමට බවයි. තවදුරටත් පවසා ඇත්තේ පසුගිය ආණ්ඩුව පැවති සමයේ සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය සඳහා විරෝධය නොදැක්වූ බවයි. එම ගැටලුවේදී එදා තමන් රජයට සහයෝගය ලබාදුන් බවත් දැන් සයිටම් ආයතනයට දැඩි විරෝධයක් එල්ල කරන බවත්ය.

ඒ අනුව ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂය පවත්වන මාධ්‍ය හමුවලදී සහ රැස්වීම්වලදී සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධියට හා ලබාදුන් නඩු තීන්දුවට එරෙහිව කරුණු දැක්වීමට නියමිත අතර එය ප්‍රධාන මාර්තෘකාවක් බවට පත්කර ගැනීමට දෙපාර්ශ්වය එකඟ වී තිබේ.

මේ අතර යහපාලන රජයේ ප්‍රධානියෙකු මෙන්ම ඒකාබද්ධ විපක්ෂයට දැඩි ප්‍රහාර එල්ල කරන සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය සාකච්ඡා කර තිබේ. ඒ අනුව සයිටම් විරෝධය භාවිතා කරමින් රාජිත සේනාරත්න මහතාට එරෙහිව මතවාදීමය වශයෙන් පහරදීමට දෙපාර්ශ්වය එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පසුගියදා මාධ්‍ය හමුවකදී පැවසූ පරිදි වෛද්‍ය වැඩවර්ජනයක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රය බිඳවට්ටමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අපහසුතාවයට පත්කිරීමට සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තීරණය කර ඇති අතර ඒකාබද්ධ විපක්ෂය මේ සඳහා සියලු සහයෝගය ලබාදෙන බවට එකඟ වී තිබේ.

Powered by Blogger.