අද තරගයෙන් චන්දිමාල් ඉවතට? - Info Sri Lanka News | Sinhala

අද තරගයෙන් චන්දිමාල් ඉවතට?


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 05කින් යුත් එක්දින තරගාවලියේ තීරණාත්මක සිවුවැනි එක්දින තරගය අද (07දා) කේප්ටවුන්හි නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. තරග 03ක් ජයගෙන දකුණු අප්‍රිකානුවන් ජයග්‍රාහී මානසිකත්වයක පසුවන අතර, ශ්‍රී ලංකාවට 'වයිට්වොෂ්' (පූර්ණ තරගාවලි පරාජයක්) වීමේ අවමානයෙන් ගැලවීමට ලැබෙන පළමු අවස්ථාව ලෙසද අද තරගය හැඳින්විය හැකිය.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන්ගේ දැඩි අසාර්ථකත්වයන් පෙන්නුම් කරන අතර, පළමු තරග ත්‍රිත්වයේ පරාජයට පිතිකරුවන් ලකුණු අතරට නොපැමිණීම දැඩි ලෙස බලපෑවේය. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට අවම වශයෙන් ලකුණු 200 සීමාව හෝ පසුකිරීමට සමත් පිතිකරණ සංයුතියක් නොමැති වීම බලවත් අඩුපාඩුවක් ලෙස දිස්විය.

විශේෂයෙන් දිනේෂ් චන්දිමාල්ගේ දැඩි අසාර්ථකත්වය මෙම තරගාවලියේ පරාජයන්ට දැඩි ලෙස බලපෑ බව කිව යුතුය. දිනේෂ් චන්දිමාල් සියලු අංශ (ටෙස්ට්, එක්දින හා විස්සයි20) යටතේ මෙම තරගාවලියේදී දැඩි ලෙස අසාර්ථක වී ඇති අතර, අවසන් ඉනිම 12 තුළදී ඔහුට රැස්කර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ එක් අර්ධ ශතකයක් පමණි.

දිනේෂ් චන්දිමාල් පසුගිය වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ  පිතිකරුවාය. එහිදී ඔහු තරග 17කදී ලකුණු 697ක් වාර්තා කර තිබිණි. එහි සාමාන්‍ය 53.61කි. එහෙත් මෙම තරගාවලියේදී චන්දිමාල්ගෙන් ඉටුවිය යුතු යුතුකම් කොටස මැනවින් ඉටුවූ බවක් පෙනෙන්නට නොමැත. එනිසාම බොහෝ දුරට අද තරගයේදී චන්දිමාල්ට විවේකයක් ලබා දීමට කටයුතු කරනු ඇත.

මේ අතර අද තරගයේදී බොහෝදුරට නවක ක්‍රීඩක සඳුන් වීරක්කොඩිට අවස්ථාව ලැබෙනු ඇතැයිද වාර්තා වේ. එමෙන්ම දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වනවිට තරගාවලිය ජයගෙන ඇති හෙයින් ඔවුන්ද යම් වෙනස්කම් කිහිපයක් අද තරගයේදී සිදුකරනු ඇතැයි අනාවරණය වේ.

අද (07දා) තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.00ට ආරම්භ වීමට නියමිතය.


Share on Google Plus