ඇමරිකානු ලොබි සමාගමකට මහජන මුදල් මිලියන ගණන් නාස්ති කරලා?


ඇමරිකා එක්සත් ජනපදය සමග 'ආර්ථික සබඳතා ඉහළ නංවා ගැනීම' සඳහා සංවර්ධන ක්‍රමෝපාය සහ අන්තර්ජාතික වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් වොෂින්ටනයේ 'ලොබි සමාගමක්' සමග සිදුකළ ගනුදෙනුවක් මේ වන විට අත්හැර දමා තිබේ. 

මෙසේ මේ වැඬේ අත්හැර දමා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන්ගේ මුදල්, ඇමරිකානු ඩොලර් මිලියන 150,000කට වඩා වැඩි ප්‍රමාණයක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් මිලියන 22.5 ක මුදලක් මේ සමාගමට ගෙවීමෙන් පසුව ය. මෙම ඇමරිකානු සමාගම වන ST&R (Sandler, Travis & Rosenburg) ඔවුන්ට ගෙවන ලද මුදලට සරිලන සේවයක් ලංකාව වෙනුවෙන් ලබාදී තිබේද යන්න ගැන නම් තවම දැනගන්නට ලැබී නැත. 

මේ වනවිට දැනගන්නට ලැබෙන්නේ ඇමරිකාවේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය පැවැත්වෙමින් තිබෙන කාලය අතරතුර මෙවැනි සමාගමක සේවය කඩිමුඩියේ ලබාගැනීමට හේතුව, ශ්‍රී ලංකාව ට්‍රාන්ස් පැසිෆික් සහයෝගිතාවයට (TPP) ඇතුළත් විය හැකිදැයි නිශ්චිත වශයෙන් දැනගැනීමට ය. මෙය, තීරුබදු අඩුකිරීම මගින් 'ආර්ථික සහයෝගිතාවය වැඩිදියුණු කරගෙන-ආර්ථික වර්ධනය වැඩිකර ගැනීම සඳහා' 2015 වසරේදී ඇමරිකා එක්සත් ජනපදය, ඔස්ටේ්‍රලියාව, ජපානය, මැලේසියාව, නවසීලන්තය, කැනඩාව, මෙක්සිකෝව සහ සෙසු රටවල් විසින් එකඟතාවයකට එළඹුණු දැවැන්ත වෙළඳ ගිවිසුමකි. 

කෙසේ නමුත් මැතිවරණ ව්‍යාපාරය පැවති කාලයේ මෙන්ම මැතිවරණය ජයගැනීමෙන් පසුව පවා ජනාධිපති ලෙස තේරී පත්වූ ඩොනල්ඞ් ට්‍රම්ප් නැවත නැවතත් ප්‍රතිඥා දුන්නේ ට්‍රාන්ස් පැසිෆික් සහයෝගිතාවය විනාශ කර දමන බවට ය. ඇතැම් පුවත්පත්වල වාර්තා වූ අන්දමට නොපවතින 'සාම ක්‍රියාදාමයක්' ප්‍රවර්ධනය කිරීම ද මෙම සමාගමට පැවරූ එක් කාර්යයකි. එවකට මෙම ගිවිසුමේ සම්පූර්ණ වටිනාකම ඇමරිකානු ඩොලර් 630,000 ක් විය. වාර්තාවලින්  හෙළි වූ අන්දමට විදේශ කටයුතු අමාත්‍යාංශය පවා මෙම ගනුදෙනුව ගැන දැනුවත් ව සිටියේ නැත. තවද මෙකී ඇමරිකානු සමාගම තෝරාගෙන තිබුණේ ද නිසි-තරගකාරී ටෙන්ඩර් කැඳවීමකින් තොරව ය. 

ඇමති සමරවික්‍රම මෙකී ක්‍රියාව සාධාරණීකරණය කළේ මේ සම්බන්ධයෙන් පළවූ පුවත්පත් වාර්තා පදනම් විරහිත සහ අසත්‍ය බව පවසමිනි. තවද එම ගිවිසුම නීතිපතිවරයා සහ කැබිනට් අමාත්‍යවරුන් විසින් අනුමත කළ බවත්, එම මුදල් වෙන්කර ගත්තේ ජාතික අයවැයෙන් බවත් පැවසුවේය. 

මෙයට ප්‍රතිචාර වශයෙන් එවිට පුවත්පත් විමසා සිටියේ තරගකාරී මිල කැඳවුම් ක්‍රමයෙන් තොරව එම සමාගම තෝරාගත්තේ මන්ද කියා ය. තවද ඇමරිකාවේ ජනාධිපතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක වන සමයේදී එසේ කළේ ඇයි ද කියා ය. එසේම ඇමරිකාවේ ලොබි සමාගම්වල සේවය ලබාගත් පෙර පැවති ආණ්ඩුව විසින් සිදුකරන ලද මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් තවමත් මූල්‍ය විමර්ශන සිදුවෙමින් පවතින බව ද එම පුවත්පත් පෙන්වා දුන්නේය. 

ඇමරිකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන කාලසීමාවේදී මෙවැනි ගිවිසුමකට එළඹීමේ තිබෙන අනුවණකම, සිය නම හෙළි කිරීමට අකමැති ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙක් විසින් පෙන්වා දුන්නේය. ''ඡන්දය අවසන් වන තෙක් සිටියා නම් නව ඇමරිකානු පරිපාලනයට ලොබිකළ යුතු ආකාරය විමසා බලන්නට තිබුණා. එසේ වුණා නම් නාස්ති කළ මහජන මුදල් ඉතිරිකර ගන්නට තිබුණා. උපදෙස් ලබාගැනීමකින් තොරව වැඩකරන අප්‍රවේශම්කාරී අය මහජන මුදල් නාස්ති කරන්නේ ඔය විදිහට තමයි.'' යැයි එම නිලධාරියා කියා සිටියේය.

- සන්ඩේ ටයිම්ස් ඇසුරිණි-

Share on Google Plus