පෙරටුගාමී දෙවැනි සමුළුව හෙට.


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙවන ජාතික මහා සමුළුව හෙට (01 දා )පෙ.ව. 10.00 සිට කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී  පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව එම පක්ෂය පවසයි.‘අධිරාජ්‍යවාදී නව ලිබරල් වැඩපිළිවෙළට එරෙහිව, සමාජවාදය උදෙසා, පන්තියට පක්ෂයක්’ යන්න මෙවර පෙසප සමුළුවේ තේමාව වේ. සමුළුවේ පෙරවරු සැසිය පක්ෂ සාමාජික සාමාජිකාවන් සඳහා වන අතර, විවෘත සැසිය ප.ව.2.00ට ආරම්භ වේ.

එහි දී නව වැඩපිළිවෙළක් සඳහා යෝජනා මාලාවක් සම්මත කර ගැනීමට නියමිත අතර නව මධ්‍යම කාරක සභාවක් පත්කර ගැනීමට ද නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියා සිටියි. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය, වමේ හඬ සංවිධානය, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය, විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රය, ප්‍රැක්සිස් සාමූහිකය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යන ලංකාවේ වාමාංශික පක්ෂ සහ කණ්ඩායම්වලට මේ සඳහා ආරාධනා කර තිබෙන අතර ජර්මන් මාක්ස් ලෙනින්වාදී පක්ෂය, කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුව, පස්වන ජාත්‍යන්තරයක් සඳහා වූ ජාත්‍යන්තර ලීගය, ඉන්දියානු මාක්ස් ලෙනින්වාදී පක්ෂය, ඉතාලියේ කෝබාස් පක්ෂය ඇතුළු විදෙස් පක්ෂ ගණනාවක නියෝජිතයන් ද ලංකාවේ කියුබානු තානාපතිනිය ද සමුළුවට සුබපැතුම් එක් කිරීමට නියමිත බව පෙසප නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. සම්මේලනය අවසානයේ සංස්කෘතික උත්සවයක් ද පැවැත්වීමට නියමිතය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය, සිය පළමු සම්මේලනය පැවැත්වූයේ2012 වර්ෂයේදීය. එම සමුළුව පැවැත්වෙන කාලය තුළ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයන් වන ප්‍රේම්කුමාර් ගුණරත්නම් මහතා සහ දිමුතු ආටිගල මහත්මියි එවකට ආණ්ඩුවේ මිලිටරි බළඇණියක් විසින් පැහැරගෙන යන ලද අතර පසුව මුදාහැර තිබිණි.

Share on Google Plus