නුගේගොඩ රැළියට එන්න හිටපු අයට එපා කීවා.


එළඹෙන 27 වන දින පැවැත්වීමට නියමිත නුගේගොඩ රැළියට සහභාගිවීමට සිටි දැනට ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන්ට එදිනට සහභාගි නොවන ලෙස උපදෙස් ලබාදුන් බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මේවන විට විමල් වීරවංශ මහතා සිරගත කොට ඇති බවත්, මාස 3ක් යනතුරු ඔහුට ඇප ලබා නොදෙන බවට එක්තරා ඇමතිවරයෙකු ප්‍රකාශ තිබුණු බවත්, ඒ නිසාම මෙම තීන්දු ලබාදෙන්නේ අධිකරණය විසින්ද, එසේත් නැතිනම් මැති ඇමතිවරුන් විසින්ද යන්න පැහැදිලි වන බවත් ඔහු සඳහන් කළේය.

මේ අයුරින්ම 27 වන දින නුගේගොඩ රැළියට සහභාගිවන මැති ඇමතිවරුන්ගේ දරුවන්ටද සිරගෙවල්වල ලගින්නට සිදුවන බවට එක්තරා මහ ඇමතිවරයෙකු ඊයේ දිනයේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බවත්, දේශපාලනඥයින් දුක් විඳීම ප්‍රශ්නයක් නොවුණත්, ඔවුන්ගේ දරුවන් නිරපරාදේ දුක්විඳිය යුතු නැති බැවින් මෙම රැළියට එක්වීමට සිටි අයට එක්නොවන ලෙස උපදෙස් දුන් බව රාජපක්ෂ මහතා කියා සිටියේ අද (24) විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

ආණ්ඩු බලය ලබාගැනීම සඳහා සිදුකරන අරගලය අඛණ්ඩව ඉදිරියට ගලායන බවත්, මේ අයුරින් ආණ්ඩුව සමග සිටිමින්ම තම වැඩපිළිවෙළ හා එක්ව කටයුතු කිරීම වඩාත් වැදගත් බවත් මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.


Share on Google Plus