තව මාස දෙකයි - මහින්ද අනුප්‍රාප්තිකයා නම් කරයි.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම පවුලේ  මීළඟ දේශපාලන අනුප්‍රාප්තිකයා පත් කිරීම සඳහා සූදානමකින් පසුවන බව දැන ගැනීමට තිබේ. ඒ වෙනුවෙන් පසුගිය දා සිය පවුලේ සාමාජිකයන් කැඳවා තමන් වෙනුවෙන් දේශපාලන අනුප්‍රාප්තිකයකු ක්‍රියාකාරී දේශපාලනයෙහි නිරත වනු ඇති බව සඳහන් කර ඇත.

මෙහි දී මහින්ද රාජපක්ෂ මහතා පවුලේ සාමාජිකයන් හමුවේ මෙම අනුප්‍රාප්තිකයා කවුරුන්ද යන වග නිශ්චිතව සඳහන් කර නැත. එහෙත් ඉදිරි දේශපාලන නායකත්වය සඳහා තමා සමඟ දීර්ඝ කාලයක් කටයුතු කළ තමාට ඉතා සමීප විශ්වාසවන්ත කෙනකු පත් කරන බව පවසා ඇත.

එහෙත් මේ වන විට පවතින තත්ත්වය අනුව මෙම අනුප්‍රාප්තිකයා ලෙස රාජපක්ෂ පවුලෙන් පිට අයකු පත් කිරීමට තමාට සිදු වනු ඇති බව අවධාරණය කර ඇත. ඊට හේතුව වශයෙන් පවසා ඇත්තේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතර වන ගැටුම්කාරිත්වය නිසා පවුලේ අයකු නායකත්වයට පත් කිරීමෙන් පවුලේ බෙදී විසිරී යාම සිදු වනු ඇති බව තමාට සහතික නිසා යැයි ද මෙහි දී පවසා ඇත. එමෙන්ම මෙම නව අනුප්‍රාප්තිකයා පත් කිරීම මහින්ද රාජපක්ෂ මහතා තවත් දෙමසකට කල් දමා ඇත. මෙම පවුලේ සාකච්ඡාව සඳහා බැසිල් රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වී නැත. ඔවුන් දෙදෙනාම විදේශගත වී සිටී.

කෙසේ නමුත් බැසිල් රාජපක්ෂ මහතා හෝ ගෝඨාභය  රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රියතාවයකින් කතා කර නැත. මෙහි දී බැසිල් රාජපක්ෂ වෙනම ගමනක් යන බවත් ඔහුට ඒකාබද්ධ විපක්ෂය සමඟ සමඟියෙන් කටයුතු කළ නොහැකි බවත් පවසා ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගේ උගුලේ පැටලී සිටීම ගැන කනගාටුවට පත් වන බවත් ඔහු පවසා ඇත. චමල් රාජපක්ෂ මහතා ද මේ වන විට වයසින් වැඩිමහලු වීම සහ රාජපක්ෂ පවුලේ පොල් වතු බලා ගැනීමේ කාර්යය ඔහුට පවරා තිබීම නිසා ක්‍රියාකාරීව දේශපාලනයේ යෙදීමට හැකියාවක් නැති බව ද පෙන්වා දී තිබේ. නාමල් රාජපක්ෂට තව කල් තිබෙන බවත් ඔහු තව දුරටත් දේශපාලනය ඉගෙනගත යුතු නිසාත් ඔහු ද මීට නුසුදුසු බව මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත. කෙසේ නමුත් රාජපක්ෂ පවුලේ අනෙක් දේශපාලන සාමාජිකයා ශෂීන්ද්‍ර රාජපක්ෂ වන නමුත් ඔහු සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැත. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කරළියට ඒම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් තිදෙනා කැමැත්තකින් පසු නොවන බව මීට පෙර වාර්තා වී තිබිණි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා බුරුමයේ අවුන්සායි සුකී තම විශ්වාසවන්ත රියැදුරාව රටේ නායකත්වයට පත් කරමින් කටයුතු කරන්නා සේ මහින්ද රාජපක්ෂ මහතා ජී. එල්. පීරිස් මහතාව ඉදිරියට දමාගෙන කටයුතු කිරීමට තීන්දු කොට ඇති බවය. මේ වන විටත් පිහිටුවා තිබෙන පොදු ජන පෙරමුණේ සභාපතිවරයා වන්නේ ද ජී. එල්. පීරිස් මහතාය.

ඩී. මංජුල කුමාර

Share on Google Plus