මහින්ද - ගෝඨා ගැටුමක්.


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව හෝ චමල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂගේ දේශපාලන අනුප්‍රාප්තිකයා ලෙස  ගෙන ඒම සඳහා ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් කුමාර වෙල්ගම මහතා මහින්ද රාජපක්ෂ මහතාට කළ යෝජනාව ඒ මහතා දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ.

කුමාර වෙල්ගම මහතා පසුගිය සති කිහිපයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සමඟ කළ සාකච්ඡාවලින් පසුව මෙම යෝජනාව කර තිබේ. එහි දී තවදුරටත් මහින්ද රාජපක්ෂ මහතාව නායකත්වයේ තබාගෙන මෙම දේශපාලන ගමන යා නොහැකි බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ චමල් රාජපක්ෂ මහතා නායකත්වයෙහි තබාගෙන කටයුතු කළ යුතු බවත් පෙන්වා දී තිබේ. එහෙත් ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග පවසන්නේ එම අවස්ථාවේ දී වෙල්ගම මහතාගේ යෝජනාව හමුවේ  ඔහුට තදින් බැණ වැදී  ඔහුව එළවාගෙන ඇති බවය. මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ මිනිස්සු ඉල්ලන්නෙ තමාව මිස බැසිල්වත් ගෝඨාවත් චමල්වත් නොවන බවය. ඒකාබද්දේ ඉන්නා පිස්සන්ට මේවා නොතේරෙන බවත් ඔහු පවසා ඇත.

කෙසේ නමුත් මෙම හමුවෙන් පසුව විදුර වික්‍රමනායක මහතා ද මහින්ද රාජපක්ෂ මහතාව හමුවී මෙම යෝජනාවම කර තිබේ. ඔහුට ද මහින්ද රාජපක්ෂ මහතා බැණ වැදී ඇති අතර තවත් මෙවැනි යෝජනා තමන් වෙත ගෙන නොඑන ලෙස පවසා ඇත. ගෝඨාභයට මේවා නොතේරෙන බවත් ඔහු ඇතැම් අයගේ ලණු කා දැන් ජනාධිපතිවරයාගේ උගුලේ පැටලී ඇති බවත් පෙන්වා දී තිබේ.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා වෙනම දේශපාලන පක්ෂයක් නිර්මාණය කර ගැනීමට දරන උත්සාහය සම්බන්ධයෙන් වික්‍රමනායක මහතා පෙන්වා දී ඇත්තේ එවිට එජාපයට2020 දී පහසුවෙන් ජයගත හැකි බවය. ඊට පිළිතුරු දී ඇති රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ඒ තමන්ගේ ප්‍රශ්නයක් නොවන බවය. මේ සම්බන්ධයෙන් පසුගිය දා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සාකච්ඡා කර ඇති අතර මහින්ද රාජපක්ෂ මහතාගේ වුවමනාව අනුව 2020 දීත් පරාජය වීම හා ශ්‍රීලනිපය දෙකඩ කිරීමට තමන්ට ද හවුල් වීමට සිදු වන බවත් මේ නිසා මේ සම්බන්ධයෙන් තමන් ද දැඩි තීන්දුවකට යා යුතු බවත් සාකච්ඡා කොට ඇත.

Share on Google Plus