පළාත් සභා ඡන්ද ලබන වසරේ එකවර.


පළාත් සභා සියල්ලෙහිම මැතිවරණය එක් නිශ්චිත දිනක ලබන වසරේ දී පැවැත්වීම සඳහා ආණ්ඩුව තීරණයක් ගැනීමට නියමිත බව දැන ගැනීමට තිබේ.    අවසන් වරට පැවැති පළාත් සභා මැතිවරණ 2012 (නැගෙනහිර,උතුරුමැද, සබරගමුව), 2013 (උතුර, වයඹ, මධ්‍යම), 2014 (ඌව, දකුණ බස්නාහිර) වසරවල දී කඩින් කඩ පැවැත්විණි.

ඒ අනුව නැඟෙනහිර, උතුරුමැද හා සබරගමු පළාත් සභාවන් හි කාලය මේ වසරේ දී අවසන් වීමට නියමිත අතර ඒ අනුව මෙම වසරේ දී එම මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. එහෙත් පළාත් පාලන මැතිවරණයන් සඳහා හා පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමට යෝජිතව ඇතත් පළාත් සභා සම්බන්ධයෙන් මෙතෙක් එවැනි සාකච්ඡාවක් ගෙන නොමැත. ඒ අනුව පළාත් සභා වෙනුවෙන් ද සමානුපාතික ක්‍රමය වෙනුවට කොට්ඨාස හා අනුපාත ක්‍රමයේ මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම මෙන්ම එම මැතිවරණ සියල්ල එකම දිනක පැවැත්වීමට මේ වන විට යෝජනා වී ඇත.

එමෙන්ම පාර්ලිමේන්තු කාල සීමාවේ අතරමැදි කාලයක දී පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීමෙන් බලයේ සිටින පක්ෂය හා විපක්ෂය සම්බන්ධයෙන් ජනප්‍රියත්වය මැන ගැනීමේ හැකියාවක් ද ලැබෙන බවත් එමඟින් ජනතාව කෙරේ වැඩි අවධානයක් සහිතව දේශපාලන කටයුතු කිරීමේ අවස්ථාවක් සියලු පක්ෂවලට ලැබීම යහපත් බවත් මෙම යෝජනාව සම්බන්ධයෙන් අප කළ විමසීමේ දී එජනිස මහ ලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා පෙන්වා දුන්නේය.

පසුගිය කාලයෙහි පළාත් සභා මැතිවරණ වෙන වෙනම පැවැත්වීමට බලයේ සිටි ආණ්ඩු කටයුතු කළේ ආණ්ඩුවේ මුළු ශක්තිය යොදා ඒවා ජයග්‍රහණය කිරීමට හැකියාව තිබුණු බැවිනි. එම හේතුව නිසා අතිවිශාල ධනයක් වැය වීම හා ප්‍රචණ්ඩත්වය වැඩි වීම ද දක්නට ලැබිණි.

මේ අතර ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසන්නේ මේ වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ද ලබන වසර තෙක් කල් දැමෙනු ඇති බවය.

(සුභාෂ් ජයවර්ධන | Sathhanda)

Share on Google Plus