ලොවෙන් අඩක ධනය අට දෙනෙක් අතේ. - Info Sri Lanka News | Sinhala

ලොවෙන් අඩක ධනය අට දෙනෙක් අතේ.


මීට පෙර දැන සිටියාට වඩා ලොව ඇති නැති පරතරය වඩාත් ඉහළ ගොස් ඇති බව බ්‍රිතාන්‍ය ක්‍රියාධරයෝ පෙන්වා දෙති.

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය පවසන පරිදි ලොව ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය, කෝටි තුන්දහස් පනසීයක්වන ලොව ජනගහනයෙන් අඩක් වූ වඩාත් දුගී ජනතාව සතු ධනයට සමාන අගයක් ගනු ලබයි.

ලොව ධනවත්ම ප්‍රකෝටිපතියන් අට දෙනා අතර මයික්‍රොසොෆ්ට් ආයතනයේ නිර්මාතෘ බිල් ගේට්ස් සහ ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ද සිටිති.

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනයේ ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යක්ෂක මැතිව් ස්පෙන්සර් කියා සිටියේ වත්මන් ලෝක ආර්ථිකය තුළ ගැට‍ළු පවතින බවය.

එම ගැට‍ළුවට වහා විසඳුම් ලබා දිය යුතු බව අවධාරණය කළ ඔහු "පවතින ආර්ථික ක්‍රමවේදයෙන් වාසි ලැබෙන්නේ ලෝක ජනගහනයෙන් සියයට එකකට විතරයි. සියයට අනූ නවයක පිරිසකට වාසි ලැබෙනවාට වඩා ඒක සකස්වෙලා තියෙන්නේ අර සියයට එකක පිරිසට වාසි ලැබෙන විදියට. ලෝකයේ ප්‍රකෝටිපතියන් අට දෙනෙක් සතු වත්කම ලොවින් අඩක්වන සෙසු ජනතාව සතු වත්කමට සමාන වෙන්නේ ඒ නිසයි," යනුවෙන් පැවසීය.

ෆෝබ්ස් සඟරාව සහ දෙදාහ වසරේ සිට ලොව ධනය බෙදී ගොස් ඇති ආකාරය දැක්වෙන දත්ත වාර්තා මත පදනම්ව ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය සිය වාර්තාව සකසා තිබේ.

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනයේ මැතිව් ස්පෙන්සර් විසින් ඇති නැති පරතරය ඉහළ යෑම හඳුන්වනු ලැබුවේ ලොව බෙදීමකට මුල් විය හැකි දේශපාලන ගැට‍ළුවක් ලෙසය.

"ඉහළ යමින් තිබෙන ඇති නැති පරතරය සහ අපේ දේශපාලන ක්‍රමවේදය තුළ පවතින බෙදීම් අතර සම්බන්ධයක් ඇති බවට පැහැදිලි සාක්ෂි තිබෙනව කියල මම හිතනවා. රටක සාර්ථකත්වයට සහ සමාජයට තමන්ගේ දායකත්වය ඉතා අඩුවෙන් ලැබෙන බවක් මිනිසුන්ට හැඟෙනවා. පවතින දේශපාලන තත්වය පිළිබඳ මිනිස්සු නොසතුටින් පසු වෙනවා," ඔහු කියා සිටියේය.

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය විසින් ලොව ඉහළ යමින් පවතින ඇති නැති පරතරය හා සම්බන්ධ නවතම දත්ත එළි දක්වනු ලැබුවේ ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට නියමිත ලෝක ආර්ථික සමුළුව ආරම්භ වීමට දින කීපයක් තිබියදී.

(BBC)

Share on Google Plus