රන් පවුම් 48 ක් හා රුපියල් ලක්ෂ 6 ක් මංකොල්ල කෑම රණවිරුකමක්ද?


පසුගිය යුධ සමයේ කොළඹ ජීවත් වූ ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයෙකු පැහැර ගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතුව තිබූ රත්තරන් පවුම් 48 ක් සහ මුදල් රුපියල් ලක්ෂ 6 ක් මංකොල්ල කා ඔහු අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජේෂ්ඨ නිලධාරියෙකුට මේ වන විට චෝදනා එල්ල වී තිබේ.

අදාළ නාවික හමුදා නිලධාරියා මේවන තෙක් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇත. මීළඟ නඩු දිනට ප්‍රථමව අදාළ නාවික හමුදා නිලධාරියා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් නොකරන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයට පැමිණ එසේ නොකිරීමට හේතුව කුමක්දැයි මහේස්ත්‍රාත්වරයා  ඉදිරියේ කරුණු දැක්වීමක් කළ යුතු බවට නියෝගයක්ද දී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ආදළ නාවික හමුදා නිලධාරියාට ලබන බදාදා එනම් පෙබරවාරි මස 01 වෙනිදා රහස් පොලිසිය වෙත පැමිණෙන මෙන් දන්වා යවා ඇත.

වත්මන් නාවික හමුදාපති රවී විජේගුණවර්ධන සහ එවක හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ රජයේ ඉහළම තැන්වලට බලපෑම් කරමින් සිටින්නේ මෙසේ කිරීම තුලින් රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය බිඳ වැටෙන බව පවසමිනි.

අප වෙත වාර්තා වන පරිදි හිටපු නාවික හමුදාපතිවරුන් මෙසේ රණවිරු ලේබලයට මුවා වන්නේ තමන්ගේ අණ පිලිපැද කරන ලද මංකොල්ල කෑම් හා අතුරුදන් කිරීම් එළිවීම තුලින් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම වලක්වා ගැනීමේ අරමුණිනි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට එරෙහිව දැනට සිදු කෙරෙමින් පවතින පැහැර ගෙන යාම, අතුරුදන් කිරීම් සහ මංකොල්ලකෑම් පිළිබඳ විමර්ශණ වලදී අදාළ චූදිත නිලධාරින් පැහැදිලිවම පවසා ඇත්තේ තමන් එවැනි දෙයක් සිදු කලේ තමන්ට ඉහළ නිලධාරීන්ගෙන් ලැබුණු අණ නිසාවෙන් බවයි.

මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න ......

Share on Google Plus