ඉතිහාසයේ වැඩිම ණය වාරිකය ගෙවීම 2019 දී.


ශ්‍රී ලංකාවේ සමස්ත ණය බරතාවය 2005 සිට 2014 වසර දක්වා වු කාලය තුළ 233% න් වැඩි වි රුපියල් බිලියන 7,391 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

2005 වසර වන  විට රුපියල් බිලියන 2,222 ක්ව පැවති ශ්‍රී ලංකාවේ සමස්ත ණය බරතාවය වසර 5 කින් එනම් 2010 වන විට දෙගුණයකට වඩා වැඩි වි රුපියල් බිලියන 4,590 ලෙස සටහන් විය. මෙයට අමතරව රුපියල් බිලියන 2,000 කට අධික මුදලක් රාජ්‍ය ව්‍යවසායයන් කිහිපයක් සඳහා ද පසුගිය රජය විසින් වෙනමම ලබාගෙන තිබෙන බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඉහත මෙම අධික ණය බරතාවය හේතුවෙන් ශ්‍රී ලංකාව විදේශිය රටවලට ගෙවිය යුතු ණය (ණය වාරික හා පොළිය) වසරින් වසර වැඩි වෙමින් පවතියි. 2016 වසරේදී  එසේ විදේශ රටවලට (ඇ.ඩො.මි.1,828) රුපියල් බිලියන 269ක් ගෙවන ලද නමුදු 2019 වසර වන විට එම ණය ප්‍රමාණය දෙගුණයකට ආසන්න මුදලක් දක්වා වැඩි වනු ඇත. ඒ අනුව 2019 වසරේ දී පමණක් පසුගිය රජය විසින් ගනු ලැබු ණය වෙනුවෙන් ණය වාරික සහ පොළී වශයෙන්  (ඇ.ඩො.මි.4000ක) රුපියල් බිලියන 586ක් ගෙවීමට සිදුවනු ඇත. මෙය නිදහස් ශ්‍රී ලංකාවේ එක් වසරක් තුළ ගෙවිය යුතු වැඩිම ණය ආපසු ගෙවීම් ලෙස සැලකේ.

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා  විසින් ප්‍රකාශ කරන පරිදි ශ්‍රී ලංකාව මේ වන විට මහා ණය උගුලක  සිරවී සිටියි. එයට ප්‍රධාන හේතුව වනුයේ පසුගිය රජය විසින් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ලබාගත් විශාල විදේශ ණය කන්දරාවයි. එම යටිතල පහසුකම් හරහා රජයට කිසිදු ප්‍රතිලාභයක් අත්වූයේ නැත. එමෙන්ම 2010 වසරේ සිට රාජ්‍ය ආදායම හා අපනයන ආදායම වසරින් වසර පෙර නොවු විරූ පරිදි පහත වැටුණි.

සංවර්ධිත රටවල් වරාය හා ගුවන්තොටුපල ඇතුළු මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා තම රටේ මුදල් යොදා ගනු ලබයි.   එහෙත් සංවර්ධනය වන්නා වු රටවල් තම ආර්ථික අවශ්‍යතා මත යටිතල පහසුකම් සඳහා බොහෝ අවස්ථාවන් හි විදේශ රටවලින් ආයෝජන ලබා ගනුයේ එය ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමටය. එසේ නැතහොත් ගොඩනගා, පවත්වාගෙන ගොස් පසුව අයිතිය පවරනු ලබන BOO/BOT  ක්‍රමය යටතේ සිදුකිරීමෙන් එවන් සංවර්ධන කටයුතු සඳහා කුඩා රටවලට කිසිදු වියදමක් දැරීමට සිදුවන්නේ නැත.  

ශ්‍රී ලංකාවේ ද අතීතයේදී විදුලි සංදේශ ක්ෂේත්‍රයට අදාළ සංවර්ධන කටයුතු සිදු කරනු ලැබූවේ එසේ ගොඩනගා පවත්වාගෙන ගොස් පසුව අයිතිය පැවරීමේ පදනම මතයි. ලෝක ආර්ථිකය තුළ පොදුවේ ක්‍රියාත්මක කරන මෙම ඒකාබද්ධ ආයෝජන ක්‍රමය යටතේ තම ආයෝජනයේ ප්‍රතිලාභය සොයා ගැනීමෙන් පසුව අදාළ ව්‍යාපෘතිය එය අයත් රටට පැවරීම තුළින් සියළු පාර්ශවයන්ට ණය බරින් තොරව ප්‍රතිලාභ අත්වේ.

එහෙත් අවාසනාවකට මෙන් පසුගිය රජය විසින් හම්බන්තොට ජාත්‍යාන්තර වරාය, අධිවේගි මාර්ග හා මත්තල ජාත්‍යාන්තර ගුවන්තොටුපල යන මහා පරිමාණ ව්‍යාපෘති  සඳහා මුලින් ඉදිරිපත් කරන ලද අනපේක්ෂිත යෝජනා (Unsolicited proposals) මඟින් ආයෝජකයන් විසින් මෙය ඉදිකර, පවත්වාගෙන ගොස් පසුව පැවරීමට නියමිතව තිබිණි. එහෙත් පසුගිය රජය මේ ව්‍යාපෘති සඳහා මුලින් කරන ලද යෝජනා ප්‍රතිශෝධනය කරමින් ණය ලබාගෙන මේවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම හේතුවෙන් අද වන විට වරාය හා ගුවන්තොටුපල ව්‍යාපෘති දෙක විශාල වශයෙන් පාඩු ලබන අතර ඒ සඳහා ලබාගත් ණය හේතුවෙන් ලංකාවේ විදේශ ණය බරතාවය උසුලන්නට බැරිතරම් වැඩි වී ඇත.


හම්බන්තොට වරාය සඳහා පසුගිය රජය විසින් ඇ.ඩො.මි. 1,303ක් ලබාගෙන ඇති අතර එහි ප්‍රථම අදියර සඳහා වු රුපියල් මිලියන 340 සදහා 6%ක පොලියක් හා 6%ක රක්ෂණ වාරිකයක් ද ගෙවිය යුතු වේ.

හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපල ඇතුළු අධිවේගි මාර්ග සඳහාද ලබාගත් ණය ගෙවීමේ කාලය ඇරඹුවේ 2014 වසරෙන් පසුවය. මෙයට අමතරව පසුගිය රජය විසින් 2010 වසර සිට 2014 දක්වා ජාත්‍යාන්තර ස්වෛරිත්ව බැදුම්කර ණය වශයෙන් ඇ. ඩො. බි. 4.5ක් ලබාගෙන ඇත. එය කල් පිරීම 2019 වසරේ සිට ඇරඹේ. ඒ සඳහා වන මුදල් 2019 වසරේ සිට 2022 දක්වා කාලය තුළ වසරක් පාසා ඩොලර් බිලියන එකක් බැගින් එක්වර ගෙවිය යුතු වේ.

පසුගිය රජය විසින් විශාල වශයෙන් ණය ලබාගෙන ඉදිකරන ලද යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවලින් රටේ ආර්ථිකයට හෝ ජනතාවට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන තත්ත්වයකදී වුව ද පාඩු ලබන එම ව්‍යාපෘති සඳහා ලබාගත් ණය 2014 සිට ගෙවීමට  සිදුව ඇත. ඒ අනුව 2020 වසර දක්වා ලංකාව විදේශ රටවලට පහත පරිදි ණය ගෙවීමට සිදුවනු ඇත.

2012 වසරේදී ගෙවි මුදල             රු.බි.    219

2013 වසරේදී ගෙවි මුදල             රු.බි.    164
2014 වසරේදී ගෙවි මුදල             රු.බි.    189
2015 වසරේදී ගෙවි මුදල             රු.බි.    276
2016වසරේදී ගෙවි මුදල              රු.බි.    269

2017 වසරේදී ගෙවිය යුතු මුදල      රු.බි.    355
2018 වසරේදී ගෙවිය යුතු මුදල      රු.බි.    377
2019 වසරේදී ගෙවිය යුතු මුදල      රු.බි.    586
2020 වසරේදී ගෙවිය යුතු මුදල      රු.බි.    509

මෙම ආපසු ගෙවීම් අදාළ වනුයේ විවිධ ව්‍යාපෘති හා ජාත්‍යාන්තර ස්වෛරිත්ව බැදුම්කර මගින් ලබාගත් ණය සඳහා පමණි. මෙයට අමතරව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලින් ලබාගත් ණය හා විදේශිකයින් විසින් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැදුම්කරවලට අදාලව ණය ආපසු ගෙවීම් වෙනමම ගෙවිය යුතු වේ.

මෙම ණය ලබාගෙන කරන ලද ආයෝජන තුළින් රටට කිසිදු ආදායමක් ලබා ගැනීමේ ක්‍රම වේදයක් පසුගිය රජය විසින් දියත් කර නොතිබු හෙයින් එම ණය, ආයෝජන ලෙස පරිවර්තනය කොට මෙරටේ ජනතාව මත ණයබර නොපටවා ඒවා වර්තමාන රජය විසින් රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාර ලෙස ආරම්භ කිරීමට  කටයුතු සලසා ඇත.

රටට කිසිදු ප්‍රතිලාභයක් අත් නොවන එම ව්‍යාපෘති රටට ආදායම් ගෙන දෙන ජනතාවට රැකියා අවස්ථා ඇති කරන ජනතාව ණය බරින් මුදවා ගන්නා ව්‍යාපෘති ලෙස පරිවර්තනය කිරීමට මෙම රජය කටයුතු කර ඇති අවස්ථාවේ ‘විදේශයන්ට අපේ සම්පත් විකුණන්න යනවා’ යැයි ජනතාව නොමඟ යවමින් මෙය කඩාකප්පල් කරවීමට පිරිසක් කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනතාව බුද්ධිමත්ව සිතා කටයුතු කළ යුතු කාලය එළඹ තිබේ. එසේ නොමැති වුවහොත් 2019 වන විට දෙගුණයක් බවට පත් වන  විදේශ ණය, ගෙවීම සඳහා අවශ්‍ය මුදල් රටට ලබා ගන්නා ක්‍රමවේදය හෙළිකරන්න යැයි ජනතාව විපක්ෂයෙන් ඉල්ලා සිටිය යුතුයි.

රටට නව ආයෝජන ගෙන එමින් නව රැකියා අවස්ථා ඇති කර තරුණ තරුණියන්ට රැකියා ලබා දීම හා ඒ හරහා ජනතාව ණය බරතාවයෙන් මිදීමට රජය ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට රජය කිසිසේත් අවස්ථාවාදීන්ට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය.

Share on Google Plus