මහින්ද ලසන්තට කතා කරයි? : Video - Info Sri Lanka News | Sinhala

මහින්ද ලසන්තට කතා කරයි? : Video


සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතර දුරකතන සංවාදයක් බව කියන හඬපටයක් වෙබ් අඩවි සහ සමාජය මාධ්‍යවල ප්‍රචාරය වෙයි.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කැරුණේ 2009 ජනවාරි අට වැනි දා ය. ඔහුගේ මරණයෙන් අවුරුදු 8කට පමණ පසු මෙවැනි හඬපටයක් නිකුත්වූයේ කෙසේදැයි බොහෝ දෙනකු ප්‍රශ්න කරති.

 තමා මීට සතියකට පෙර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ගිය බව මහින්ද රාජපක්ෂ  කියන බව මෙම හඬපටයේ දැක්වෙයි. රාජපක්ෂ මහතා ඔක්ෆර්ඩ් ගියේ 2008 මැයි මාසයේ දී ය. ඔහු දේශනය කළේ 2008 මැයි 14 වැනි දා හෝ ඊට ආසන්න දිකදී ය. මෙම හඬපටය සත්‍ය නම් එය 2008 වසරේ මැයි මාසයේ කතාබහක් බව සමහරු කියති. බොරතෙල් බැරලයක මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම ගැන ද එම හඬපටයේ ඇති අතර 2008 වසරේ මැයි, ජුනි, ජූලි සහ අගෝස්තු මාසවල ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගියේය. මීළඟට ඇත්තේ උතුරු මැද පළාත් සභා මැතිවරණය දැයි ලසන්ත වික්‍රමතුංග මහතා විමසන අතර උතුරු මැද පළාත් සභා මැතිවරණය පැවැතියේ 2008 අගෝස්තු මාසයේ දී ය.

එම සංවාදය පටිගත කළේ කවුදැයි හරියට නොදන්නා නමුත් මෙය පටිගත කළ පුද්ගලයා එය සංස්කරණය කර ඇති බව පෙනේ. ඇතැම් නම් කියැවෙන ස්ථානවලදී වෙනත් ශබ්ද ඇසීම ඊට හේතුවයි.

ජංගම දුරකතන ඇතුළු සියලුම දුරකතන පණිවිඩවලට හොරෙන් සවන්දීමේ හා පටිගත කිරීමේ උපකරණ විදේශයන්ගෙන් ගෙන්වා තිබුණු බවට ඡන්ද සමයේ  පැවැති ආණ්ඩුවට චෝදනා එල්ල විය.

එසේම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ජංගම දුරකතනය ටැප් කරන ලෙස   හිටපු බුද්ධි අංශ ප්‍රධානියා නියෝග කළ බව දැක්වෙන ලිපියක් ද පසුගිය කාලයේ මාධ්‍යයට නිකුත් කැරුණු අතර එහි සත්‍ය අසත්‍යතාවයද මේ වන තෙක් හෙළිදරව් වී නැත.

දෙදෙනාගේ කතා බහේදී රජයේ දූෂණ ගැන සඳහන් වෙයි. හඬ පටයේ නම අපහැදිලි පුද්ගලයකු ගැන කතා බහ යන අතර එම සංවාදයට වසරකට පමණ පෙර ලියූ ලිපියක් ගැන ද සඳහන් වෙයි. එම හඬපටය අනුව ලසන්ත වික්‍රමතුංග කියනුයේ  ෆොන්සේකා මහතා වැරදි ප්‍රචාරයක් ගෙන යන බවට සහ ඊට අසු නොවන ලෙස නම අපහැදැලි පුද්ගලයා පණිවිඩ එවා තිබූ බවයි. එමාට තොරතුරු දුන්නේ යුද හමුදාවෙන් නොවන බව වික්‍රමතුංග මහතා කියයි. මේ කතා කරන්නේ මිග් ගනුදෙනුව ගැන බව ඇතැම් වෙබ් අඩවි වාර්තා කරයි. මිග් ගනුදෙනුව ගැන සන්ඩේ ලීඩර් පුවත්පත 2007 අගෝස්තු මාසයේ ලිපියක් පළ කර තිබිණි. ලසන්ත වික්‍රමතුංග මහතා වසරකට පෙර පළ කළායැයි එම හඬ පටයේ සඳහන් ලිපිය 2007 අගෝස්තුවේ පළ කැරුණු මිග් ගනුදෙනුව ගැන පුවත විය හැකි යැයි සමහරු කියති.

ලසන්ත ඝාතනයෙන් අවුරුදු හතකට පසු මෙම සංවාදය මාධ්‍යයට නිකුත් කිරීමෙන් බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු දීමට ඝාතන පරීක්ෂකයනටත් මහින්ද රාජපක්ෂ මහතාටත් සිදුවෙතියි විශ්ලේෂකයෝ කියති.
මේ ගැන කළ විමසීමකදී හිටපු ජනපතිවරයාගේ මාධ්‍ය නිලධාරී රොහාන් වැලිවිට මහතා කීවේ මෙම හඬපටය සත්‍ය එකක්දැයි සොයා බැලිය යුතු බවයි.

‘අද තාක්ෂණය දියුනුයි. හඬපටය සකස් කළ එකක් විය හැකියි. එසේ නැතිනම් පැයක පමණ දීර්ඝ වේලාවක සාකච්ඡාවකින් කපා සංස්කරණය කළ එකක් විය හැකියි. මෙය කවුරුන් විසින් පටිගත කළාද, සංස්කරණය කළාද කියා බැලිය යුතුයි.  ‘ යැයි ද වැලිවිට මහතා කීවේය.

(හඬපටය ශ්‍රීලංකා මිරර්)

Share on Google Plus