‘තනි යූඑන්පී ආණ්ඩුවක් හදනු’ පසුපෙළ සටනට.


සම්මුතික ආණ්ඩුව පවත්වාගෙන යාමට ශ්‍රීලනිපයෙන් අවශ්‍ය සහයෝගය නොලැබේ නම් ආණ්ඩුවෙන් ඉවත් වී තනි එජාප ආණ්ඩුවක් පිහිටුවීම හෝ විපක්ෂයට යෑම සිදු විය යුතු බවට එජාපයේ පසුපෙළ මන්ත්‍රීන් ගණනාවකින් එජාප නායකත්වයට බලපෑම් එල්ල වෙමින් පවතී.

ආණ්ඩුවට එකතු වී, ආණ්ඩුවේ වරප්‍රසාද භුක්ති විඳිමින් ආණ්ඩුව විවේචනය කරන  ශ්‍රීලනිපයේ මැති ඇමැතිවරුන් කිහිප දෙනකුගේ ක්‍රියා කලාපය මත පසුපෙළ මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ තවදුරටත් මෙලෙස ආණ්ඩුවක් කළ නොහැකි බවය.  එමෙන්ම මෙම හවුල් ආණ්ඩුව නිසා අසාධාරණයට ලක්ව ඇත්තේ ද එජාප සාමාජිකයා බවත් ඔවුන් පෙන්වා දෙයි. පක්ෂයේ සක්‍රිය සාමාජිකත්වය කලකිරීමෙන් පසුවන බවත් තමන් විසින් පත් කරගත් ආණ්ඩුවක් තිබියදීත් ඔවුන්ව කිසිදු සැලකිල්ලකට ලක් කර නැති බවට ද මෙම මන්ත්‍රීවරු චෝදනා කරති. මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේ එජාප ලේකම් කබීර් හෂීම් මහතාට දැනුම් දීම සිදු කළත් හවුල් ආණ්ඩුව පවත්වාගෙන යාම විය යුතු නිසා තමන්ට කිසිවක් කළ නොකැකි බව පැවසූ බව එජාප පසුපෙළ මන්ත්‍රීවරු පවසති.

කෙසේ නමුත් මෙම ගැටලුව සම්බන්ධයෙන් මේ වන විට අගමැතිවරයාගේ අවධානය යොමුව පවතී. පසුගිය දා පසුපෙළ මන්ත්‍රීවරුන් සමඟ පැවැති සාකච්ඡාවක දී අගමැතිවරයා පවසා ඇත්තේ නව ව්‍යවස්ථාව සම්මත කර ගන්නා තෙක් හෝ ඉවසීමෙන් වැඩ කිරීමට සිදුව තිබෙන බවය.

කෙසේ නමුත් ශ්‍රීලනිපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ද එජාපය සමඟ ආණ්ඩුවක් කරගෙන යාමෙන් තමන්ට කිසිදු වාසියක් අත් නොවන බවත් තනියම ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ ගත යුතු බවත්  ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටින බව ද වාර්තා වේ. මහින්ද රාජපක්ෂගේ එකඟතාව පිළිගත නොහැකි නම් චමල් රාජපක්ෂ මහතාව අගමැති ධුරයට පත් කර ගෝඨාභය රාජපක්ෂ මහතාට රජයේ උසස් තනතුරක් දී නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සිදු කළ හැකි බවත් මෙම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.

මේ සම්බන්ධයෙන් එජාපයේ මන්ත්‍රී මුජිබර් රහුමන් මහතාගෙන් කළ විමසීමක දී පැවසූවේ ජනතාව ලබා දුන් ජනවරම අනුව මෙම සම්මුතික ආණ්ඩුව පවත්වාගෙන යා යුතු බවත් එසේ කළ නොහැකි නම් ඉන් ඉවත්ව යායුතු බවත්ය.

රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පසුගිය දා පවසා තිබුණේ මේ ආණ්ඩුව එජාපයේ ඇතැමෙක් පාණ්ඩුවක් කරගනිද්දී මම බය නැතිව මේක ආණ්ඩුවක් නෙවෙයි පාණ්ඩුවක් කියලා කියන නිසා කලබලයට පත්ව සිටින එජාපයේ ඇතැම් අය තමන්ට ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි පවසන බව පවසයි. එලෙස කලබලයට පත්ව සිටින්නේ බැඳුම්කර සිද්ධියට සම්බන්ධ හොරු බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ශ්‍රීලනිපයෙ හි පිරිසක් ආණ්ඩුවට එක් වුණේ සම්මුතිවාදී ආණ්ඩුවක් ඇති කිරීමට මිස එජාපයේ අය කියන කියන දේ කිරීමට නොවන බව පවසන අමාත්‍යවරයා අවධාරණය කරන්නේ ආණ්ඩුවේ වැරැදි ඇත්නම් ඒවා නිවැරැදි කරගෙන ඉදිරියට යා යුතු බවයි. කෙසේ වෙතත් ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය ඉන් ඉවත් වන්නෙත් එජාපයේ වුවමනාවට නොව ශ්‍රීලනිපය තීරණය කළ දවසට බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

එහෙත් දේශපාලන විචාරකයන් පෙන්වා  දෙන්නේ එජාපයෙත් ශ්‍රීලනිපයෙත් මැති ඇමැතිවරුන් තනිවම ආණ්ඩු පිහිටුවීම ගැන කතා කළත් ඒ කිසිවකුට එසේ හැකියාවක් නොමැති බවය. තම පාක්ෂිකයන් පිනවීම පිණිස හැර එම ප්‍රකාශවලින් සම්මුතික ආණ්ඩුවේ පැවැත්මට හානියක් සිදු නොවන බව ඔවුන් පෙන්වා දෙයි. වත්මන් පාර්ලිමේන්තු සංයුතිය අනුව එජාපයට මන්ත්‍රී ධුර 106 ක් හිමිව තිබුණත් එතැනින් එජාපයේ මන්ත්‍රීවරුන් සිටින්නේ 82 කි. අනෙක් පිරිස වෙනත් පක්ෂ නියෝජනය කරමින් එජාපයෙන් තරග කළ පිරිසය. එසේම එජනිස ලෙස සිටින කණ්ඩායම 96 ක් වුව ද එතැන ශ්‍රීලනිප මන්ත්‍රීන් ඇත්තේ ද 82 කි. මේ අනුව තනිව ආණ්ඩුවක් පිහිටුවීමට කිසිදු පක්ෂයකට හැකියාවක් නොමැත. මේ අනුව 2020 පාර්ලිමේන්තුව විසුරුවන තෙක් මෙම සම්මුතික ආණ්ඩුවේ පැවැත්ම ස්ථිර බව දේශපාලන විචාරකයන්ගේ මතය යි.

ඩී. මංජුල කුමාර

Share on Google Plus