දීගය අවසන් - එජාපය ආණ්ඩුවක් හදන්න සූදානම්? - Info Sri Lanka News | Sinhala

දීගය අවසන් - එජාපය ආණ්ඩුවක් හදන්න සූදානම්?


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අප්‍රමාණ කෙනෙහෙළිකම්වලට ලක් වුණු එහි මහලේකම් ලෙස ක්‍රියා කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කැර ගැනීම සඳහා වැඩිම දායකත්වයක් ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂය බවත් එසේ තිබිය දී සියලුම වරප්‍රසාද භුක්ති විඳිමින් ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතළොස්සක් ඇමැතිවරුන් ආණ්ඩුවත් අගමැතිතුමා සහ එක්සත් ජාතික පක්ෂයත් විවේචනය කරමින් සිදු කරනු ලබන මාධ්‍ය සංදර්ශන වහාම නතර කරන ලෙස එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රීවරු පිරිසක් තරයේ අවධාරණය කරයි.

පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහමන්, ජේ.සී. අලවතු‍වල, හෙක්ටර් අප්පුහාමි, තුෂාර ඉඳුනිල් මහත්වරු මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (9) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

තවදුරටත් ඔවුන් මෙසේද පැවසිය.

ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් ඇමැතිවරු මේවාට සම්බන්ධ නෑ.

ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් අතළොස්සක පිරිසක් සිදු කරනු ලබන ප්‍රකාශ තරයේම හෙළා දකිනවා. මෙවැනි පහත් පෙළේ පිළිකුල් සහගත ක්‍රියාවන් සිදු කිරීම නතර නොකළහොත් එවැනි දෑ ප්‍රකාශ කරන උදවියගේ පැටිකිරිය ජනතාව හමුවේ හෙළිදරව් කිරීමට පසුබට වන්නේ නෑ.

එවන් නිර්ලජ්ජිත ප්‍රකාශ සිදු කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ඒකාබද්ධ විපක්ෂයේ කොන්ත්‍රාත්තු ඉටුකිරීමට බව පැවසූ එම මන්ත්‍රිවරු ආණ්ඩුවේ රැඳී සිටිමින් ජනාධිපතිතුමා රවටමින් සිදු කරන මෙම දෙබිඩි පිළිවෙත වහාම නතර කළ යුතු බවත් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළහ. 


Share on Google Plus