ආණ්ඩුකාර තටු කපන්න TNA ඉල්ලීමක්.


සියළුම පළාත් ආණ්ඩුකාරවරුන්ගේ දැනට පවතින බලතල අඩු කරන ලෙස දෙමළ ජාතික සන්ධානය සහ උතුරු පළාත් සභාව රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.

උතුරු පළාත් සභාව සඳහා ඉඩම් බලතල අවශ්‍යය බවට උතුරු පළාත් මහ ඇමති සී. වී. විග්නේශ්වරන් මහතා කළ ප්‍රකාශය පිළිබඳව විමසීමේදී උතුරු පළාත් සභාවේ සභාපති සී. වී. කේ. සිවඥානම් මහතා මේ බව ප්‍රකාශ කළේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම සඳහා මහජන අදහස් කැඳවූ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියටද මෙසේ ආණ්ඩුකාරවරුන්ගේ බලතල අඩුකිරීමට ඉල්ලීම කළ නමුත් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයාව පත් කිරීම පිළිබඳව දෙමළ සන්ධානයේ හෝ උතුරු පළාත් සභාවේ විරෝධයක් නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ අතර මේ පිළිබඳව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුකාරයා යන වචනයෙහි පවා අසීමිත බලයක් අඩංගුවන බවය. එසේම ආණ්ඩුකාරවරයා යනු විධායක ජනාධිපතිවරයාගේ නියෝජිතයකු වශයෙන් විශාල බලයක් අභ්‍යාස කරන්නෙකු හෙයින් ඔහුගේ අවසරයෙන් තොරව පළාත් සභාවල සෙසු නියෝජිතයින්ට කිසිවක් කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇති නිසා මෙම ඉල්ලීම කිරීමට සිදු වූ බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Share on Google Plus