මහින්දගේ ප්‍රතිවාදියා සෙවීම.


මහින්ද රාජපක්ෂ දැන් කටයුතු කරමින් සිටින්නේ ශ්‍රීලනිප නායකත්වයේ බලය ඇල්ලීම හෝ පක්ෂය දෙකඩ කර ශ්‍රීලනිපය විනාශ කිරීම යන කටයුතු දෙකෙන් එකක් ජය ගැනීමේ අරමුණෙන් බව මේ වන විට පැහැදිලිය.

විවිධ වේශයෙන් පෙරමුණු කිහිපයකින් ක්‍රියාත්මක වන මේ දේශපාලන මෙහෙයුමේ අවසානය 2020 දී යළි මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමේ බල ව්‍යාපෘතිය විය හැකි බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. මහින්දගේ අපේක්ෂ්ව කුමක් වුවත් රාජපක්ෂවරුන්ගෙන්තොරව ශ්‍රීලනිපය ගොඩනඟන්නේ කෙසේද යන්න අද ශ්‍රීලනිප සාමාජිකයන්ට ඇති ගැටලුවය.

ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින කණ්ඩායමේ බහුතර ශ්‍රීලනිප කොටස්වල අවශ්‍යතාව පක්ෂය දෙකඩ නොකර 2020 දී දේශපාලන ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමය. මහින්ද අතහැර ගෝඨාභය රාජපක්ෂව පක්ෂය තුළට ගෙන මේ උත්සාහය එන්නේ ඒ අනුවය. එක්සත් ජාතික පක්ෂයේ කැමැත්ත විය හැකි ශ්‍රීලනිපය දෙකඩ කිරීම බැසිල් රාජපක්ෂ වෙතින් සිදු කිරීම ශ්‍රීලනිප බහුතරයේ විරෝධයට හේතුවී ඇතත් මහින්ද රාජපක්ෂ ජය ගත යුතු අරමුණට එය වඩා ළඟය. නෙළුම් පොහොට්ටුවට ශ්‍රීලනිපය කඩා වෙන් කිරීම සිදු කළ හැකි නමුත් ජයග්‍රහණය කළ නොහැකිය. ඒ අනුව මේ මොහොතේ මහින්ද රාජපක්ෂ සේවය කරන්නෙ කාටද යන්න ගැන සිහි බුද්ධියක් ඇති ශ්‍රීලනිප පාක්ෂිකයාට තේරුම් ගැනීම අපහසු නොවේ. ඒ අනුව 2020 ඔහුගේ දේශපාලන අපේක්ෂාව විය නොහැකිය. මන්ද එහි දී ඔහුට දේශපාලන ප්‍රතිවාදියකු හමු වීමට නියමිත නැති බැවිනි. ඒ බව මහින්ද රාජපක්ෂ නොදන්නවා නොවේ. ඒ නිසාම 2020 තමන්ගේ දේශපාලන ප්‍රතිවාදියා කවුරුද යන ගැටලුවට මහින්දට පිළිතුරු දිය නොහැකිය.  

මෛත්‍රී විරෝධය සහ සිය පුත්‍රයන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම ඔහුට මේ මොහොතේ වැදගත් දේශපාලන ප්‍රශ්න විය හැකිය. මෛත්‍රීගේ නායකත්වය ද අහිමි කර පරාජය වී දුර්වල වූ ශ්‍රීලනිපය තුළ හෝ තම පුත්‍රයාව ස්ථාන ගත කිරීම පවුලේ දේශපාලන උරුමය රැක ගැනීම වෙනුවෙන් අවශ්‍යය.  

කෙසේ නමුත් මේවා සරල කාරණා නොවේ.  වර්තමානයේ දී දේශපාලනයේ දී ඉත්තන් මෙහෙය වීම ලෙහෙසි කරුණක් නොවේ. ඒ හා බැඳී ඇති අනෙක් බලවේග කළමනාකරණය කර ගැනීමට දක්වන සමත් භාවය දේශපාලන තීන්දු තීරණ කෙරෙහි ඍජුව බලපායි. විශේෂයෙන්ම ව්‍යාපාරික ලෝකය වත්මනෙහි දේශපාලනය කෙරෙහි වඩාත්ම බලපෑම් සහගත වන බලවේගය වී තිබේ. එය ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයටම සාධාරණ වී ඇත. ව්‍යාපාරිකයන් දේශපාලන අධිකාරියේ බලය අත්පත් කර ගැනීමේ අත්දැකීම් කිහිපයක් ඉතිහාසයේ තිබුණ ද පසුගිය දා පැවැති අමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵලය විසින් ව්‍යාපාරිකයන් අතට දේශපාලනය යෑම සම්බන්ධයෙන් ප්‍රබල කතිකාවක් ගොඩනැංවීමට සමත්ව තිබේ. පසුගිය සතියේ දී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා නම් කරනු ලැබීම සමඟ තවදුරටත් මෙය බරපතළ සංවාදයකට ලක්ව ඇත.  

අමෙරිකානු රාජ්‍ය ලේකම් ධුරය යනු එම රටෙහි බලවත්ම නිලධාරී පට්ටම වේ. එපමණක් නොවේ සමස්ත ලෝකයටම අමෙරිකානු රාජ්‍යය සහගනුදෙනු කරන්නට සිදු වන්නේ ද මේ නිලධාරියා සමඟය. එමෙන්ම අමෙරිකාවේ දේශපාලන ආර්ථික සහ විදේශ ගනුදෙනු සම්බන්ධයෙන්  තීරණාත්මක වන මෙම වගකිව යුතු තනතුර දැරීමේ සුදුසුකම ගැන අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. කෙසේ නමුත් අවසානයේ නාමයෝජනා ගණනාවකින් පසුව අමෙරිකාවේ ලොකුම ඛනිජ තෙල් වෙළෙන්ඳා වන එක්සත් මොබයිල් සමාගමේ ප්‍රධානියා වන රෙක්ස් ටිලර්සන්ව ඒ සඳහා නම් කරනු ලැබීය.

අවුරුදු හතළිහකට ආසන්න කාලයක් අමෙරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයකු පසුගිය දාමෙම ලියුම්කරු සමඟ පවසා සිටියේ බහුතරයක්  අමෙරිකානුවන්ට අනුව අමෙරිකානුවන් සිය ඉතිහාසයේ ගත් විශිෂ්ඨතම තීන්දුව පසුගිය ජනාධිපතිවරණයේ දී ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් කර ගැනීමය යන්නය. ඔහු පවසන්නේ ඊට ප්‍රධාන හේතුව ට්‍රම්ප් දේශපාලකයකු නොවීමය.   

දේශපාලකයන්, දේශපාලනපවුල්, රාජ්‍ය බලය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ දී බොහෝ නරක අත්දැකීම් ඇත්තේ ප්‍රජාතාන්ත්‍රික භාවිතාව අතින්, නොදියුණුය කියන ශ්‍රීලංකාව හෝ ඊටත් වඩා පහළ මට්ටමේ තිබෙන රාජ්‍යවල පුරවැසියන්ටය. මේ රටවල දේශපාලකයා සදාකාලිකව දූෂිතයෙකි. දූෂණ විරෝධී සටන් පාඨ කරපින්නාගෙන බලයට පැමිණියත් ඒ සැණින් උත්සාහ ගන්නේ ව්‍යාපාර කරන්නටය. ජාවාරම් කරන්නටය. හොරකම් කරන්නටය. ලැබුණු අවස්ථාවෙන් තමන්ගෙත් තමන්ගේ පසු පරම්පරාවලටත් සරිලන පරිදි මිල මුදල් දේපල රැස්කිරීම ඇරැඹේ. මේ ඉල්ලම අත්හැරීමට කිසිවකු නොකැමැති වන අතර බලය රඳවා ගැනීම සඳහා දිගින් දිගටම කරනරැවැටිලිකාරකමේ සිට මිනී මැරීම දක්වා ක්‍රියාන්විත සිදු වෙයි. එපමණක්ම නොවේ, තමන්ගේ පවුලේ සාමාජිකයන් ද ඒ මාවතේම බලවත් කරවයි. ආණ්ඩුවේ ඇමැතිකම පවුලේ උරුමයක් බවට පත් කර ගනී, ඒ ආණ්ඩුවෙන් බැරි නම් මේ ආණ්ඩුවෙන් හරි එය රැක ගැනීම සිදු වෙයි. දේශපාලන ප්‍රතිපත්ති හෝ පුද්ගලික ප්‍රතිපත්ති, දේශපාලන සදාචාරය මෙහි දී කිසිසේත්ම වැදගත් වන්නේ නැත. මේ කාලයෙහි දේශපාලනයට පිවිසීම පරම්පරා ගණනාවක් ගොඩයන ව්‍යාපාරික අවස්ථාවක් වීම ගැන තව තවත් දේ පැවසිය යුතු නොවේ. ඒ අප දන්නා සත්‍යයයි.

එහෙත් පුරවැසියා සිටින්නේ මේ දේශපාලනයෙන් හෙම්බත්වය. අමෙරිකාවේ දී සිදු වූයේ එය ය. අමෙරිකානුවාට දේශපාලකයා, එපා වී තිබිණි. දේශපාලකයා බලය ලබා ගන්නේ මුදල් උපයා ගැනීමට බව අමෙරිකානුවාගේ ද අත්දැකීම වී තිබේ. දේශපාලකයකු නොවන ඩොනල්ඞ් ට්‍රම්ප්ට රට බාර දෙන්නේ දේශපාලකයන්ගේ තීන්දු තීරණ නිසා අමෙරිකාව පසුගිය කාලය මුළුල්ලේ ඇද වැටුණු අවමාන තත්ත්වයෙන් ගොඩ ඒමට නම් සාර්ථක කළමනාකරුවකුට තමන්ගේ රට බාර දිය යුතු බව අමෙරිකානුවන් ගත් තීන්දුව අනුවය. ට්‍රම්ප්ට දේශපාලනයෙන් හම්බ කර ගැනීමට තරම් දෙයක් නැති බව අමෙරිකානුවෝ විශ්වාස කරති. ට්‍රම්ප්ට තිබෙන්නේ අමෙරිකාව හදන්න පමණය; අමෙරිකාව ලොව බලවත් රාජ්‍යය කිරීමය, අමෙරිකානු ජීවිත සුඛිත මුදිත  කරන්නටය.

දැවැන්ත ව්‍යාපාරිකයකු වූ ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ව්‍යාපාර කළමනාකරණය ඔහුට ආවේණික භාවිතාවෙන්ද යුතුය. ඔහු එහි දී නිර්මාණශීලීය.  එමෙන්ම සාර්ථකය. ඒ සියල්ලටම ඔහුගේ ජාතිකවාදී නැඹුරුව අමෙරිකානුවාට වඩා වැදගත් වී තිබිණි. රාජ්‍ය පාලනයෙහි දී ට්‍රම්ප්ගේ භූමිකාව කෙතරම් දුරට සාර්ථවේදැයි අනාවැකි කිව නොහැකි නමුත් ඔහු රාජ්‍ය ලේකම්වරයා තෝරා ගැනීමේ දී ඒ වෙනුවෙන් කිසිදු රාජ්‍ය තාන්ත්‍රික සුදුසුකම අත්දැකීමක් නැති නමුත් තවත් ශූර ව්‍යාපාරියකු වූ රෙක්ස් ව පත් කර ගැනීමේ අමෙරිකාව ව්‍යාපාරික සමාගමක් නඩත්තු කෙරෙන ආකාරයෙන් විශාල වෙනස්කම්වලට භාජනය වීමේ සම්භාවිතාව වැඩි බව පෙන්වා තිබේ.

කෙසේ නමුත් මෙරට විදේශ ඇමැති මංගල සමරවීරට ගනුදෙනු බේරා ගන්නට සිදු වන්නේ ඔහු සමගිනි. කිසිදා වාණිජ ව්‍යාපාරයක නොයෙදුණු පූර්ණකාලීන දේශපාලකයකු වන මංගලට මේ රාජතාන්ත්‍රික දේශපාලන අත්දැකීම නැති  සමාගම් විධායක නිලධාරියා සමඟ දේශපාලන ගනුදෙනු බේරා ගැනීමට සිදු වීම වෙනස් අත් දැකීමක් විය හැකි නමුත් ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලකයන්ට පුරුදු ව්‍යාපාරික ගනුදෙනු කිරීමය. මන්ද පසුගිය දශකය දෙක තුළ දී මෙරට මහජන නියෝජිතයන් වැඩිම ප්‍රමාණයක් දේශපාලනයෙන් ව්‍යාපාරිකයන් බවට පත් වූවන්ය. ව්‍යාපාරිකයන් දේශපාලනයට පිවිසීම ඔවුන්ගේ ව්‍යාපාර ගොඩනැගීමට රුකුලක් වීම සුලබ අත්දැකීමකි. එමෙන්ම දැවැන්ත ව්‍යාපාරිකයන්ගේ උවමනා එපාකම් වෙනුවෙන් දේශපාලන තීන්දු තීරණ ගන්නා දේශපාලකයන්ගෙන් ද මේ රටේ අඩුවක් නැත.

මේ ව්‍යාපාරික දේශපාලන සබඳතාව ගැන කතා කළේ මේ රටේ අනාගතය කෙරෙහි ව්‍යාපාරිකයාගේ බලපෑම උග්‍ර වීමට නියමිත බැවිනි. රාජපක්ෂවරුන්ගේ අනාගතය ද ඉදිරියේ දී විසඳෙනු ඇත්තේ එසේය. මන්ද දේශපාලකයාගේ තීන්දුවට වඩා ව්‍යාපාරිකයාගේ තීන්දුව රටේ දේශපාලනය වෙනස් කිරීමට සමත් වන යුගයට මේ වන විටත් පය තබා ඇති බැවිනි.

මෙරට අත්දැකීම අනුව නම් අමෙරිකානුවන් කර ගත්තේ ඓතිහාසික මෝඩකමක් බව ඔවුන්ට ඉදිරියේ දී තේරුම් ගැනීමට සිදු වනු ඇතැයි කල්පනා කළ හැකිය. අමෙරිකානුවා විඳින්නට නියමිත කටුක අත්දැකීම් ගොන්න අප දශක කිහිපයක සිට විඳ ඇත. මේ රටේ වාසනාවකට තවම ව්‍යාපාරිකයකු රටේ නායකත්වයට පත් වූයේ නැත. දේශපාලන අත්දැකීම් නැත්තෙකු රටේ නායකත්වයට පත් වූයේ නැත. නමුත් 2020 වසර යනු ඒ අත්දැකීම් ද මෙරට ජනයාට ලබා දීමේ වසර විය හැකිය. මන්ද රටේ නායකත්වය ඉදිරියේ දී තීරණය කරන්නේ ව්‍යාපාරිකයන් වන බැවිනි. පසුගිය රාජපක්ෂ සමයේ බලවත්ව සිටි හා ඇතැම් ජාවාරම්කාර කටයුතුවලට හවුල් වූ ව්‍යාපාරිකයන් ගොන්නමත් වර්තමානයේදීත් බලවත්ව ඇත. තවත් බලවත් ව්‍යාපාරිකයන් ද බිහි වෙමින් තිබේ. ඔවුන් ද ඍජුවම දේශපාලන මැදිහත්වීම් සිදු කරමින් ද තිබේ.

කලින් කී ලෙස 2020 දී මහින්දගේ ප්‍රතිවාදියා කවුදැයි තීරණය කිරීමේ උභතෝකෝටිකය ද මේ අනුව වන්නේය. මහින්දගේ දේශපාලන පරිච්ඡේදය අවසන් වූයේ 2010 දීය. එතැන් පටන් ඔහු ව්‍යාපාරික අවශ්‍යතාවයේ ගොදුරකි. ඒ අනුව මහින්දගේ දේශපාලන ප්‍රශ්න කෙළවර වන්නේ ව්‍යාපාරික ලෝකයේ කැමැත්තට වීම අහම්බයක් වන්නේ නැත.
එමෙන්ම මෙය ද සඳහන් කළ යුතුව තිබේ. මෛත්‍රීලාගේ රනිල්ලාගේ පමණක් නොව අනුරලාගේ දේශපාලන පරිච්ඡේදයට තවදුරටත් දේශපාලන දිගුවක් තිබෙන නමුත් ව්‍යාපාරික දේශපාලනය තුළ ඔවුන් අතරමං නොවීම  අභියෝගාත්මක වනු ඇත.

-    සුජය
Sathhandha.lk

Share on Google Plus