ඇමති කාලෙ දිනේෂ් දඩ මුදල් ගිලලා?


මේ වනවිට හමුදා කුමන්ත්‍රණ පිළිබඳව හීන දකිමින් සිටින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, පසුගිය රජය සමයේ නාගරික සංවර්ධන අමාත්‍යධූරය දැරූ අවධියේ රුපියල් ලක්ෂ 636 ක (මිලියන 63.6 ක්) මුදලක් ගිලදැමූ ආකාරය මේ වනවිට හෙලිදරව් වෙමින් පවතී.

කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි ශිවකුමාර් නැමැත්තෙකු වැල්ලවත්ත 37 වන පටුමගේ 'වැන්කුවර් අපාර්ට්මන්ට්ස්' නමින් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට 2005-2007 වකවානුවේ, නාගරික සංවර්ධන අධිකාරිය වෙත ඉල්ලුම් පත්‍රයක් යොමුකර තිබේ. එකී ඉල්ලුම් පත්‍රය සලකා බැලූ නාගරික සංවර්ධන අධිකාරිය මහල් නිවාසය තට්ටු හතකින් සමන්විත වන පරිදි ඉදිකිරීමට අවසර ලබාදී තිබේ. 

නමුත් ශිවකුමාර් නැමැත්තා නාගරික සංවර්ධන අධිකාරිය භාර අමාත්‍යවරයා වූ දිනේෂ් ගුණවර්ධනගේ හිතවත්කම මත වැන්කුවර් අපාර්ට්මන්ස් ගොඩනැගිල්ල මහල් හතකට සීමා වියයුතුය යන කොන්දේසිය උල්ලංඝනය කරමින් මහල් නවයකින් සමන්විත වන සේ ඉදිකර ඇත.

මෙම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ නිවාස ඒකක හැටකට ආසන්න සංඛ්‍යාවක් ශිවකුමාර් විසින් ඉදිකර ඇති අතර එම එක් නිවාස ඒකකයක් එකළ අලෙවි කොට ඇත්තේ රුපියල් මිලියන 16 කට අධික මුදලකටය. දිනේෂ් ගුණවර්ධන මහතාගේ අනුග්‍රහය මත මෙකී අනවසර ඉදිකිරීම සඳහාද සහාධිපත්‍ය දේපල සහතික, නාගරික සංවර්ධන අධිකාරියෙන් නිකුත් කොට තිබේ.

2010 වසරේ ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට නාගරික සංවර්ධන අධිකාරිය පත්වූ පසු මේ පිළිබඳව නැවතත් විමර්ශනයක් සිදුකර තිබේ. එ් සඳහා විශේෂ හේතුව වී ඇත්තේ මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා අරමුදල් සපයා ඇත්තේ කොටි සංවිධානය විසින් බවට හෙලිදරව් වීමයි. එම හෙලිදරව්වත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිවකුමාර් නැමැත්තාව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කොට ඇත.

මෙකී ප්‍රශ්න කිරීම්වලදී ශිවකුමාර් රහස් පොලීසියට පවසා ඇත්තේ නීතිවිරෝධීව ඉදිකරන ලද මහල් දෙක සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් මිලියන 63.6 ක දඩ මුදලක් නියම කිරීමෙන් අනතුරුව තමන් එය දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා ලවා මිලියන 20 කට අඩු කරගෙන දඩය ගෙවාදැමූ බවයි.

පසුව රහස් පොලීසිය ගිණුම් පරීක්ෂා කිරිමේදී අදාල දඩ මුදල නාගරික සංවර්ධන අධිකාරියේ ගිණුම්වල දක්නට ලැබී නොමැත. ඒ වෙනුවට රහස් පොලීසියට සොයාගත හැකි වී ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ සොයුරියකගේ (දිනේෂ් ගුණවර්ධන මහතාගේ සමීපතම මිතුරියකගේ) නමට ඇති ගිණුමකට අදාල මුදල් බැරවී ඇති බවයි. (අදාල තැනැත්තියගේ නම සහ ගිණුම් විස්තර අප සතුව ඇතත් නීතිමය හේතු මත එය පලකිරීමෙන් වැලකී සිටින්නෙමු)

මේ පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අවස්ථාවන් කිහිපයකදීම රහස් පොලීසිය විසින් දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දී ඇතත් ඔහු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පිහිටෙන් රහස් පොලීසිය වෙත යාම මගහැර තිබේ.

මේ අතරතුර නැවතත් සිවකුමාර් විසින් තවත් මිලියන 20 ක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත ගෙවා සිද්ධිය සමථයකට පත්කරගෙන ඇත. පසුව හිටපු ජනාධිපතිවරයා තම සොයුරු ගෝඨාභයගෙන් ඉල්ලා ඇත්තේ සිද්ධිය පිටතට ආරංචි නොවන ලෙස ලිපිගොනුව වසා දමන ලෙසයි.

මෙම සිද්ධියට පෙර රාජපක්ෂ ආණ්ඩුවට සාධනීය විවේචන එල්ල කරමින් සිටි දිනේෂ් ගුණවර්ධන මහතා ඒ සියල්ල අතහැර දමා තමා බේරාගත් නායකයා වෙනුවෙන් ඕනෑම දහදුරා වැඩක් කිරීමට ඉදිරිපත් වී ඇත. අද දිනේෂ් ගුණවර්ධන නගන හඬ අප තේරුම් ගතයුත්තේ ඒ ආකාරයටය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ සියලු දෙනාගේම ෆයිල් තමා සතුව පවතින බව මහින්ද රාජපක්ෂ මහතා පැවසූ අතර මෙය ඔහු සතුව තිබෙනවා යැයි කියන ෆයිල් සමූහයෙන් එකක් පමණි.

-Lanka News Web

Share on Google Plus

0 comments:

Post a Comment