බාන් කී මූන් දකුණු කොරියාවේ ජනාධිපති ධුරයට?


දස වසරක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට නායකත්වය ලබාදුන් දකුණු කොරියාවේ බාන් කී මූන්ට, එම ධුරයෙන් සමුගන්නට තව තිබෙන්නේ සති කිහිපයක් පමණි. නැවත දකුණු කොරියාව බලා යන ඔහු ඉන්පසු දකුණු කොරියාවට දේශපාලන නායකත්වයක් ලබාදෙන්නට බලාපොරොත්තු වනවාද ? 

බාන් කී මූන් මහතා අල් ජසීරා පුවත්සේවය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී හෙළිකළේ 2017 ජනවාරි 1 වැනිදා ධුරයෙන් ඉවත් වීමෙන් පසු සිය රට බලා ගොස්, හිටපු ජගත් සංවිධාන මහලේකම්වරයා වශයනේ රටට සේවයක් කරන්නේ කෙසේදැයි ප්‍රජා නායකයන් සහ මිතුරන් සමග සාකච්ඡා පවත්වන බවය. බාන්කී මූන් මෙසේ පවසන්නේ සති ගණනක නොනවතින උද්ඝෝෂණවලින් අනතුරුව දකුනු කොරියානු ජනපතිනී පාක් යූන් හයට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනැවිත් ඇයව ධුරයෙන් ඉවත් කිරීමේ සැලසුමක් පවතින වාතාවරණයක් තුළදීය. 

හයිටි රාජ්‍ය්‍යට කොළරා වසංගතය බෝකිරීම, දකුණු සුඩානයේ ජනතාව ආරක්ෂා කරන්නට අසමත් වීම, මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාමසාධක භටයන් කුඩා දරුවන් ව ලිංගික අපහරණයට ලක් කර ඇති බව හෙළිවීම යනාදී චෝදනා රැසක් බාන් කී මූන් විසින් නායකත්වය ලබාදුන් කාලය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයට එල්ල වන අතර මේ සියල්ලටම වඩා බරපතළ චෝදනාව වන්නේ, සය වසරක් තිස්සේ ඇදෙමින් යන සිරියානු යුද්ධය අවසන් කිරීමට තබා එය පාලනය කිරීමටතවත් ජගත් සංවිධානය අසමත් වීමයි. 

මේ සම්බන්ධයෙන් අල් ජසීරා පුවත්සේවය සිදුකළ කරුණු විමසීමකදී බාන් කී මූන් කියා සිටියේ යුක්තිය අද නැතිනම් හෙට ඉටුවනු ඇති බවයි. නමුත් සිරියානු අර්බුදයට යුධමය නොවන විසඳුමක් යන ස්ථාවරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය එදා පටන්ම කටයුතු කළ නමුත් එය හුදෙක්ම මන්තරයක් මෙන් මතුරන පාඨයක් බවට පමණක් පත් ව ඇත. උදාහරණයක් වශයෙන් නැගෙනහිර අලෙප්පෝව සලකන්නේ නම් එහි පැයක් පැයක් පාසා ශක්තිමත් වෙමින් සිටින්නේ හිස්බුල්ලා සංවිධානයේ, ඉරානයේ සහ රුසියාවේ හමුදා සහාය ලබාන බෂර් අල් අසාද්ගේ හමුදාවයි. . සිරියානු යුද්ධය සම්බන්ධයෙන් අන්තර්ජාතික ප්‍රජාව දැරූ සාමූහික උත්සාහය අසාර්ථක වීම හේතුවෙන් ගත වූ පස් වසර තුළ සිරියානු ජනතාව පත්ව සිටින තත්වය තමන්ගේ හදවතට වේදනාකාරී බව ද බාන් කී මූන් අල් ජසීරා පුවත්සේවය අමතා කියා සිටියේය. ලක්ෂ තුනත් හතරත් අතර ප්‍රමාණයක් සිරියානු යුද්ධයේදී මේ දක්වා මියගොස් සිටින අතර, ලක්ෂ හතළිස් අටක් දෙනා සරණාගත භාවයට පත් ව සිටියි

කියුබාව සමග පවත්වන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා. ඉරාන න්‍යෂ්ටික ගනුදෙනුව සහ දේශගුණික විපර්යාසය පිළිබඳ පැරිස් සම්මුතිය ආදී තත්වයන්ට තේරී පත්වී සිටින ඇමරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් කෙසේ ප්‍රතිචාර දක්වයිදැයි ඇසූ විට ඔහු කියා සිටියේ තමන් මේ ගැටලු පිළිබඳ දැනටමත් ඩොනල්ඞ් ට්‍රම්ප් ව දැනුවත් කර තිබෙන බවයි. කෙසේ නමුත් ඒ පිළිබඳ වැඩි විස්තර සැපයීමෙන් ඔහු වැළකී සිටියේය. 

- අල් ජසීරා ඇසුරෙන්.

Share on Google Plus