ඩොනල්ඩ් ට්‍රම්ප් කොයිබට ද?


ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය විවිධාකාර ලෙසින් විග්‍රහ කරනු දක්නට ලැබේ. සමහරු එය අමෙරිකන් ප්‍රභූ දේශපාලනයේ බිඳවැටීමක් සේ සලකති. තව සමහරු ලෝක දේශපාලනයේ පවත්නා නූතනවාදී ප්‍රවණතාව මේ මඟින් තහවුරු වන්නේ යැයි තර්ක කරති. තවත් සමහරු මේ ජයග්‍රහණය අමෙරිකන් දේශපාලනයේ විප්ලවයක් ලෙස ද අර්ථ දක්වති. කුමක් වුව මේ සංසිද්ධියත් සමඟ ජනමත සමීක්ෂණවල ද, දේශපාලන අනාවැකිවල ද ව්‍යාජ ස්වරූපය පෙන්නුම් කරන්නේ යැයි කිව හැකි ය. එලෙස ම දේශපාලන වෙනසක් සඳහා ජනතාව කැමැත්තෙන් සිටින බව ද මේ සිද්ධියෙන් තහවුරු වෙයි. බොහෝ බලවේග පැවැතියේ හිලරිට පක්ෂපාත ලෙස ය. එහෙත් අවසන් ජයග්‍රහණය හිමිවූ‍යේ ට්‍රම්ප්ට ය.

නව දේශපාලන සන්දර්භය තුළ අප විමසා බැලිය යුත්තේ ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය, ආසියාවට, දකුණු ආසියාවට හා ශ්‍රී ලංකාවට බලපාන ආකාරය ගැන ය. අමෙරිකන් ව්‍යවස්ථාවට අනුව එරට ජනාධිපතිවරයාට විශාල බලතල ප්‍රමාණයක් හිමිවන්නේ වුව අමෙරිකන් සම්ප්‍රදාය හා ප්‍රතිපත්ති තනි පුද්ගලයකු මත තීරණය වන්නේ නැත. අමෙරිකාව රාජ්‍ය - තන්ත්‍රයක් විසින් මෙහෙයවනු ලැබේ යැයි කීම වඩා නිවැරැදි ය. අ‍මෙරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ‍‍තේරී පත්වුව ඔවුන්ගේ සම්ප්‍රදායේ බරපතළ වෙනසක් ඔහුට ඇති කළ හැකි යැයි විශ්වාස කළ නො හැකි ය. එහෙත් ජනාධිපතිවරණයට පෙර සේම ජනාධිපතිවරණයෙන් පසුවද ඔහු නිකුත් කළ ප්‍රකාශ දෙස චිචාරාත්මක ව බැලීම වටී.

ජනාධිපතිවරණයට පෙර ඔහු කළ ප්‍රකාශවලින් පෙනී යන්නේ දැඩි මතධාරියකුගේ ගති ලක්ෂණ ය. සරණාගතයන් සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශ, රටේ නීතිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශ, අමෙරිකන් සමාගම් හා රැකී රක්ෂා සම්බන්ධයෙන් කළ ප්‍රකාශ ද ආන්දෝලනාත්මක විය. අමෙරිකන් ආධිපත්‍යය උදෙසා ඇතැම් වෙළෙඳ ගිවිසුම් අහෝසි කළ යුතු බවද ඔහු කියා සිටියේ ය. සාර්ථක ව්‍යාපාරිකයකුද වන ට්‍රම්ප්ට ලෝක වෙළෙඳාම ගැන පුළුල් අවබෝධයක් ඇතැ’යි සිතන්නට පුළුවන. ඒ හැරෙන්නට ඔහු ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධරයෙකි. එබඳු තැනැත්තෙකු අමෙරිකන් ව්‍යාපාර ගැන විශේෂයෙන් සලකා බැලීම අමුතු කාරණයක් ද නො වේ.

ජයග්‍රහණයෙන් පසු ට්‍රම්ප් කළ ප්‍රකාශ ලෝක දේශපාලනයට අතිශයින් ම වැදගත් යැයි සිතන්නට පුළුවන. ඔහුගේ මතය වූයේ රුසියාව, චීනය, හා උතුරු කොරියාව සම්බන්ධයෙන් ද මිත්‍රශීලී හැඟීමකින් කටයුතු කිරීම තමන්ගේ ක්‍රමය බව ය . රුසියානු නායක පුටින් මීට වහා ප්‍රතිචාර දක්වමින් “අපි එකට වැඩ කරමු” යැයි කියා ඇත. මේ තත්ත්වය අමෙරිකන් දේශපාලනයට සේම අමෙරිකන් ආර්ථිකයට ද හිතකර සේ බලපානු ඇත. අපට අවශ්‍ය වන්නේ යුද්ධ නැති, අරගල නැති, ත්‍රස්තවාදය ද නැති සාමකාමී ලෝකයකි. ඊට අවශ්‍ය පසුබිම අමෙරිකාවට නිර්මාණය කළ හැකි ය.

ට්‍රම්ප්ගේ ආගමනය ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේද යන්න විග්‍රහ කර බැලීම තවත් වැදගත් කාරණයකි. මූලික වශයෙන් ගත් කල ශ්‍රී ලංකාව සමඟ විශේෂ අරෝවක් අ‍මෙරිකාවට නැත. ශ්‍රී ලංකාවේ සිදුවන ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ අමෙරිකන් රාජ්‍ය තන්ත්‍රය පිළිගනු ලබන ඒවා ලෙස සැලැකිය හැකි ය. මේ හැරෙන්නට ලෝක ලිබරල් ප්‍රජාතන්ත්‍රීය සංසදයේ ක්‍රියාධරයන් ලෙස ට්‍රම්ප් මහතා සේම රනිල් මහතාද කටයුතු කරති. ඉන් කියැවෙන්නේ දේශපාලන ප්‍රතිපත්ති හා වැඩසටහන් අතින් රටවල් දෙක අතර යම් සාම්‍යයක් පවතින බව ය. ට්‍රප්ගේ ජයග්‍රහණයත් සමඟ අමෙරිකන් - ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් පුළුල් වනු ඇතැ’යි සිතන්නට පුළුවන. එහි වැඩි වාසිය ලැබෙන්නේ අපට ය.

ලෝක දේශපාලනයට හා සංවර්ධනයට අදාළ ජගත් සංවිධාන මෙන් ම මූල්‍ය සංවිධාන ද අනියමින් මෙහෙයවනු ලබන්නේ අමෙරිකාව බව කවුරුත් දනිති. අමෙරිකාව සමඟ තරගයට යා හැකි රටවල් ඇත්තේ එකක් - දෙකක් පමණි. ඒ රුසියාව හා චීනය වැනි රටවල් ය. මේ රටවල් සමඟ සමගියෙන් කටයුතු කිරීම ට්‍රම්ප්ගේ උත්සාහය බව පෙනී යයි. එය ශ්‍රී ලංකාව වැනි රටවලට ද යහපත් ය.

චීනය හා රුසියාව සමඟ ද සමීප සබඳතා ශ්‍රී ලංකාවට තිබේ. අමෙරිකානු මිත්‍රත්වය මත අපගේ ආයෝජන ක්ෂේත්‍රය, අන්තර් ජාතික වෙළෙඳාම, ආධාර හා ණය ලැබීම් පුළුල් වන්නට පුළුවන. දේශපාලනයේ ස්ථාවරත්වයට සේම ආර්ථික වෘද්ධියට ද එය ඍජු ලෙසින් බලපාන්නට පුළුවන.

ට්‍රම්ප් සිය ජයග්‍රහණයෙන් පසු සිදු කළ තවත් වැදගත් ප්‍රකාශ දෙකක් තිබේ. ඉන් පළමුවැන්න එක්සත් අමෙරිකාවක් වෙනුවෙන් කරන ලද්දකි. දැන් තරගය අවසන් බව ද, දේශපාලන භේද අවශ්‍ය නැති බවද, සියලු දෙනා අමෙරිකාව වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ද ඔහු කියා සිටියේ ය. ජනාධිපතිවරණයට පෙර සිටි ට්‍රම්ට වඩා ජනාධිපති ට්‍රම්ප් බුද්ධිමත් බව මෙයින් පෙනී යයි. ඔහුගේ දෙවන වැදගත් ප්‍රකාශය වන්නේ නෙටෝ සංවිධානය සමඟ පවත්නා සබඳතා ගැන නැවත සලකා බලන බවය. නෙටෝ සංවිධානය හා අමෙරිකාව ලෝක අර්බුද කිහිපයක් ඇති කළ බව ද, ර ටවල් කිහිපයක් ආක්‍රමණය කළ බව ද ලෝකයට රහසක් නොවේ. මෙබඳු ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ අමෙරිකාවේ නව ජනාධිපතිවරයා යුද මානසිකත්වයකින් කටයුතු නො කරන බව ය.

හිලරි ජයග්‍රහණය කළේ නම්; එය ශ්‍රී ලංකාවට අහිතකර ලෙස බලපානු ඇතැ’යි මතයක් ද පවතී. එය පහසුවෙන් ඉවත දැමිය නො හැකි දේශපාලනික අදහසකි. හිලරිගේ ප්‍රභූ පන්තියේ සාම්ප්‍රදායික දේශපාලනය, ආධිපත්‍යය පැතිරවීමේ කැමැත්ත ආදිය දෙස බලන විට එය වටහාගත හැකි ය. ඇය වෙතින් ප්‍රකාශ වන කාන්තා ආධිපත්‍යය වුව ශ්‍රී ලංකාව වැනි රටවලට අහිතකර ලෙස බලපාන්නට පුළුවන. හිලරි තමිල්නාඩුවට බෙහෙවින් ඇලුම් කළා ය. ඊට හේතුව තමිල්නාඩුවේ නායිකා ජයලිලිතා ජෙයරාම් ය. මේ සම්බන්ධය දේශපාලනික වශයෙන් අපේ රටේ සාමයට හා සංහිඳියාවට අහිතකර ලෙස බලපාන්නට ඉඩ තිබිණි. එහෙත් දැන් හිලරිට කළ හැකි දෙයක් නැත.

අමෙරිකන් ජනාධිපතිවරණය දෙස ආපසු හැරී බැලීමේදී ‍දේශපාලන පාඩම් ගණනාවක් ද උගත හැකි ය. එක පාඩමක් වන්නේ දේශපාලන භාවිතය යි. හිලරි සිය පරාජය භාරගත් අතර ට්‍රම්ප්ට සුබ පැතුවාය. ට්‍රම්ප් හිලරි‍ගේ රාජ්‍ය සේවය ඇගයීමට ලක් කරමින් කියා සිටියේ ඇය ‍අමෙරිකාවට බලවත් සේවයක් ඉටු කළ කාන්තාවක බව ය . මෙබඳු දියුණු දේශපාලනයක් අපේ රටවල් තුළ නැත. ඒ රටේ ජනතාවද හිලරි සමඟ නැගිටිමු යැයි අලුත් දේශපාලන ව්‍යාපාර පටන් ගන්නේ නැත. තව පාඩමක් වන්නේ පාවෙන ඡන්ද කෙරෙහි දැක්විය යුතු අවධානය මේ මැතිවරණයෙන් පෙන්වා දීම ය. ට්‍රම්ප් ජයග්‍රහණය කළේ ප්‍රාන්ත 11ක පාවෙන ඡන්දවලින් යැයි කියැවේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් නව ජනාධිපතිවරයාට අපේ සුබපැතුම් එකතු කරන අතර ම ඔහු සාමකාමී ලෝකයකට මාවත සකස් කරනු ඇතැ’යි බලාපොරොත්තු දල්වාගෙන සිටිමු.

Dinamina.lk

Share on Google Plus

0 comments:

Post a Comment