කටඋත්තර දෙන්න පසුබාන්නෙ නෑ - අගමැති.


අල්ලස් කොමිසම තමාගෙන් ප්‍රකාශයක් අවශ්‍ය යැයි දැන්වුවහොත් නොපැකිලිව ඒ සඳහා ඉදිරිපත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ කෝප් වාර්තාව නිකුත් වූ පසු හඬ නගන පිරිසෙන් ඇතැමෙකු චෝදනාවලට ලක්වූවන් බව පැවසූ අගමැතිවරයා, ඔවුන් එසේ හඬ නගන්නේ තමන්ගේ ම නිරුවත වසා ගැනීමට යැයි පෙන්වා දුණි.

අමාත්‍ය සරත් ෆොන්සේකා වෙත එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසන සංවිධායක ධුරය පිරිනමමින් එම පක්ෂ මූලස්ථානයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණු සඳහන් කළේය.

නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් කැපවූ පිරිසගේ අරමුණ යහපාලනය ආරක්ෂා කිරීම බව පෙන්වා දුන් අගමැතිවරයා, කුමන හෝ කරුණක් වේ නම් එය නීතියෙන් විසඳිය යුතු බව කියා සිටියේ ය.

නීතියේ ආධිපත්‍යයට ගරු කරන තමනට එරෙහිව චෝදනා එල්ල වුව ද එය ගැටලුවක් නොවන බවත්, ඒ සම්බන්ධයෙන් නීතියට සාධාරණ ලෙස ක්‍රියාත්මකවීමට ඉඩකඩ සලසන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ කෝප් කමිටු විමර්ශනය සම්බන්ධයෙන් තවදුරටත් කතා කළ අගමැතිවරයා, පසුගිය වසර දහය තුළදී මෙවැනි සාධාරණ පරීක්ෂණයක් ක්‍රියාත්මක වී දැයි ප්‍රශ්න කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හඬ නගන සියලු දෙනා ජාතියෙන් සමාව යැදිය යුතු යැයි තමා පවසන බව අගමැතිවරයා සඳහන් කළේ මෙතෙක් කල් නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක නොකිරීම ඊට හේතුව ලෙස පෙන්වා දෙමිනි.

අධ්‍යාපනය නැංවීම මෙන් ම රට සංවර්ධනය කරා ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙල සාර්ථක කරගත හැක්කේ නීතියේ ආධිපත්‍යය රැකීමෙන් බව කී අගමැතිවරයා, ඒ වෙනුවෙන් දුක් දරා ගැනීමේ ප්‍රතිඵල අද පෙනෙන්නට ඇති බව ද කියා සිටියේය.

Share on Google Plus

0 comments:

Post a Comment