තුෂාර සහ උපුල් ජෝසප් 'මව්බිමෙන්' යයි.



'මව්බිම' පුවත්පතේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ, තුෂාර ගුණරත්න සහ 'ඉරිදා මව්බිම' පුවත්පත් කර්තෘ උපුල් ජෝෂප් ප්‍රනාන්දු යන මහත්වරුන් එම ආයතනයෙන් ඉල්ලා අස්වී තිබේ.

අද පස්වරුවේ ආයතනය තුල සේවකයින්ගේ විශේෂ හමුවක් පවත්වා ඔවුන් දෙදෙනා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කර ඇත.

තමන් ඉදිරියේදී දැවැන්ත පුවත් ජාලයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ඔවුන් එහිදී සඳහන් කර ඇත.

'මව්බිම' පුවත්පතේ කර්තෘ ලෙස ප්‍රවීන මාධ්‍යවේදී බෙනට් රූපසිංහ මහතා පත් කරන ලෙස තමන් 'සිලෝන් නිවුස්පේපර්ස් සමාගමේ සභාපති ටිරාන් අලස් මහතා ගෙන් කල ඉල්ලීම ඔහු විසින් පිළිගත් බව තුෂාර ගුණරත්න මහතා එහිදී පවසා තිබේ.

සති කිහිපයකට පෙර සිටම මෙම දෙපළ ආයතනයේ තවත් සේවකයින් රැසක් සමඟ එකවර පුවත්පතෙන් ඉවත්වීමට සැලසුම් කර තිබූ බවත්, එම සැලසුම පුවත්පතේ හිමිකරු ටිරාන් අලස් මහතාට සැලවීමත් සමඟම ඔවුන් කල සේවය සළකා මෙම දෙපළට ඉල්ලා අස්වීම් ලිපි ලබා දී ගෞරවාන්විතව සමුගන්නා ලෙස දැනුම් දී ඇති බවත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග තහවුරු කර සිටියි.

තවද ඉදිරි දින කිහිපයේදී මව්බිම පුවත්පතේ කර්තෘ මණ්ඩල සාමාජිකයින් පිරිසක් ද බෙදාහැරීම් අංශයේ හා මුද්‍රණ අංශයේ සේවකයින් බහුතරයක් ද ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තාවේ.

හිටපු මහබැංකු අධිපතිවරයාගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් මහතා විසින් පුවත්පත් ඇතුළු මාධ්‍ය ජාලයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවත්, 'මව්බිමේ' කාර්ය මණ්ඩලය ඊට එක්වීමේ සුදානමක් ඇති බවත් මිට ඉහතදී වාර්තාවී තිබිණ.

Share on Google Plus

0 comments:

Post a Comment