බස්‌ වර්ජනය නවතී: අවම දඩය ගැන තීරණය කැබිනෙට්‌ටුවට.


මෙවර අයවැය මඟින් ඉදිරිපත් කළ රථ වාහන වැරදි සඳහා අවම දඩය රුපියල් 2500 දක්‌වා ඉහළ නැංවීමට එරෙහිව ඊයේ (14 දා) මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්තව ආරම්භ කිරීමට සූදානම් වූ බස්‌ වර්ජනය තාවකාලිකව අත්හිටුවූ බව පෞද්ගලික බස්‌ සංගම් නායකයෝ පැවසූහ. 

බස්‌ සංගම් නායකයන් සහ මුදල් ඇමැති රවි කරුණානායක මහතා අතර ඊයේ (14 දා) සවස මුදල් අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවේ දී අවම දඩය සංශෝධනය සම්බන්ධව අද (15 දා) සවස ද සාකච්ඡාවක්‌ පවත්වා එකඟතාවකට පැමිණීමට මුදල් ඇමැතිවරයා එකඟ වූ බැවින් මෙලෙස බස්‌ වර්ජනය තාවකාලිකව අත්හිටු වූ බව ඔවුහු සඳහන් කළහ.

රථ වාහන අවම දඩය සංශෝධනය සම්බන්ධව කැබිනට්‌ මණ්‌ඩලය සමඟ ද සාකච්ඡා පවත්වා තීරණයක්‌ ලබාදීමට ද මුදල් ඇමැතිවරයා බස්‌ සංගම් නියෝජිතයන්ට පොරොන්දු වූ බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌  පැවසීය.

Share on Google Plus

0 comments:

Post a Comment