රනිල්ට එරෙහිව විශ්වාසභංගයක් ආවොත්, මෙහෙයුමක්.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරන්නේ යැයි කියන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ දී 2/3 ට වඩා වැඩි බහුතරයකින් පරාජය කිරීමට සියලු කටයුතු යොදා තිබෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

මහා භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවට අදාළව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ වගකීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී වචනයක්වත් කතා නොකළ ඒකාබද්ධ විපක්ෂය එළියට පැමිණ විශ්වාසභංග යෝජනාවක් ගැන කතා කරමින් රටත් ජනතාවත් නොමඟ යැවීමට දරන පටු උත්සාහයෙන් පැහැදිලි වන්නේ එම කණ්ඩායමේ දේශපාලන බංකොලොත්භාවය යැයි ද එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගෙන් කළ විමසීමක දී ඔහු සඳහන් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කරන්නේ යැයි කියන විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීන්දු කළ බවය.

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ඒකාබද්ධ විපක්ෂයේම මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටින බව හෙළි කළ සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මේ තත්ත්වය හමුවේ විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂයටම පාරා වළල්ලක් වනු ඇතැයි ද සඳහන් කළේය.

Share on Google Plus

0 comments:

Post a Comment