දෙවසරක් පෙර පිම්ම සහ අද දවසේ නැම්ම.


දූෂණය සහ භීෂණය වපුරමින් ගෙන ගිය වසර නවයක රාජපක්ෂ දුර්දාන්ත පාලනය අවසන් කිරීමේ පළමු පියවර තබා දුන්නේ රාජපක්ෂලා විසින් මය. ඒ, නියමිත කාලයට වසර දෙකකට පෙර සහ තමන්ට අවාසිදායක අවස්ථාවක දී ම ජනාධිපතිවරණය කැඳවීමෙනි. එහෙත් විධායක ජනාධිපති තනතුර සහ තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලය සහිතව රාජපක්ෂ කඳවුර පිවිසි මැතිවරණයෙන් ඔවුන්ගේ පරාජය සනිටුහන් කෙරෙණ තීරණාත්මක සාධකය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා රජයෙන් ඉවත්ව විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපවරණයට ඉදිරිපත් වීමය. එසේ මෛත්‍රීපාල මහතා ඉතිහාසය වෙනස් කළා වූ එකී පියවර ගෙන අදට (21) වසර දෙකකි. 

කඩවුණු පොරොන්දු 

රාජපක්ෂ පාලනය අවසන් කිරීම සඳහා දහසකුත් එකක් හේතු එම පාලනය විසින් ම දහස් වර පෙන්වා දී තිබිණි. බරපතළ මානව හිමිකම් කඩ කිරීම්, දූෂණය, වංචාව, අල්ලස්, ප්‍රතිවාදීන් ඝාතනය කිරීම, මාධ්‍ය මර්දනය, නීතියේ ආධිපත්‍ය නොතකා හැරීම, ඥාති සංග්‍රහය, ලෝකය ඉදිරියේ රටේ කීර්ති නාමය බාල්දු කිරීම, ජාතිවාදය ඇවිළවීම යනා දී නොයෙක් මං පෙත් ඔස්සේ රාජපක්ෂ පාලනයේ දුෂ්ට අඬු පඬු විහිදී තිබිණි.  2015 ජනවාරි 08 වනදා ජනාධිපතිවරණයේදී ජනතාව විසින් රාජපක්ෂ පාලනය පන්නා දැමුණේ මේ සියළුම කරුණු පාදක කොටගෙනය. ජනවාරි 08 වන දින ජනතා තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ රාජපක්ෂ දුර්දාන්ත පාලනය වෙනුවට විපක්ෂයේ පොදු අපේක්ෂයා විසින් පොරොන්දු වූ 'යහ පාලනය' පිහිටුවීම වෙනුවෙන් ය. මෛත්‍රීපාල සිරිසේන මහතා රාජපක්ෂ රජයෙන් ඉවත් වී වසර දෙකක් සපිරෙන මොහොත වන විට එදා ඔහු කීදේ සහ අද ඔහු කරනා දේ අතර පරතරය කොපමණද ? 

දූෂිතයින් රෙද්ද අස්සේ

එදා ශ්‍රීලනිප මහ ලේකම්වරයා වශයෙන් සිටි මෛත්‍රීපාල මහතා ශ්‍රීලනිප ප්‍රමුඛ වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයෙන් ඉවත් වූයේ එහි බලය හෙබවූ රාජපක්ෂලා සහ දූෂිත ඇමතිවරුන් මන්ත්‍රීවරුන් පාක්ෂික හිතවතුන් සියල්ලන්ට ම එරෙහිවය. එකී දූෂිතයින්ට දඬුවම් කිරීම ඔහුගේ ප්‍රධාන පොරොන්දුවක් විය. එහෙත් බලයට පැමිණි වහාම පෙරකී දූෂිතයින්ගෙන් හෙබි ශ්‍රීලනිපය විසින් ම එහි සභාපති ධුරය මෛත්‍රීපාල මහතා වෙත පිරිනැමුණු අතර ඔහුද එක්සිතින් එය භාර ගත්තේය. දැන් එදා කියූ දූෂිතයින් සියල්ලන්ම - බැසිල් හැරුණුවිට අනෙක් රාජපක්ෂලාද සමඟම - මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ සළුපට යට සැඟවී ඇත. අද එදා කී දේට ප්‍රතිපක්ෂව ඔහුගේ වගකීම වී ඇත්තේ ශ්‍රීලනිප සභාපති වශයෙන් තම දූෂිත පාක්ෂිකයින් ආරක්ෂා කිරීමය. කෝටි ගණනින් ගසා කෑ බවට එදා චෝදනා එල්ල වූවන්ට එරෙහිව කිසිදු පරීක්ෂණයක් සිදු නොවන්නේ හෝ සාපේක්ෂව කුඩා මට්ටමේ සිදුවීම් - උදා : අයථා වාහන පරිහරණය - පිළිබඳ පමණක් පරීක්ෂණ පැවැත්වෙන්නේ මේ හේතුවෙනි. 

සංහිඳියාව වළ දාලා

මෛත්‍රීපාල සිරිසේන මහතා සමස්ත රටේම ජනතාවගේ නිදහස් ඡන්දයෙන් බලයට පත් ප්‍රථම විධායක ජනාධිපතිවරයා ය. තිස් වසරක යුද්ධය දරුණු මර්දනයකින් අවසාන කිරීමෙන් අනතුරුව විසඳුම් නොදී පැවති සුළු ජාතීන්ගේ ගැටළුවලට පිළිගත හැකි විසඳුම් ලබාදෙමින් ඉතිහාසගත වන්නට ස්වර්ණමය අවස්ථාවක් ඔහු ඉදිරියේ විවරවී පැවතිණි. එහෙත් උපතේ පටන් ම සිංහල මහජාතිවාදයේ පක්ෂයක් වන ශ්‍රීලනිපයේ නායකත්වයට පත් වූ පසුව සුළු ජාතීන් වෙනුවෙන් දෙන බවට පොරොන්දු වූ කිසිවක් ලබා නොදෙන තැනට ඔහු තල්ලු වී තිබේ. එමතුද නොව ඉතා නින්දිත ලෙස ජාතිවාදය අවුළනා බොදු බල සේනාව, රාවණා බලකාය, සිහල රාවය වැනි සංවිධාන වලටද හිතුමතේ නටන්නට යළි ඉඩ දී ඇති අතර එකී බළල් අත් වලට එරෙහිව පවතින නීතියද ක්‍රියාත්මක නොවන තැනට කටයුතු සකස් කෙරී ඇත. ඒ අනුව මෛත්‍රීපාල මහතා පොරොන්දු වූ 'සංහිඳියාව' මේ වන විට ඔහු විසින් ම වළ දමා ඇති බව පෙනේ. 

යුක්තිය වෙනුවට දඬුවමින් මුක්තිය 

රාජපක්ෂ පාලනය දකුණේ සමාජය මත සිය මතවාදී ආධිපත්‍ය පිහිටුවීමෙහිලා මූලිකව ම භාවිතා කළ අවිය වූයේ යුද්ධයයි. එහිදී අති අමානුශික යුද්ධයක් 'මානුශික මෙහෙයුම' ලෙස පින්තාරු කෙරුණු අතර ඒ සෙවනැල්ල යටින් මානව විරෝධී ක්‍රියා, බිලියන ගණන් මුදල් ගසාකෑම් සහ පාලකයින්ගේ පෞද්ගලික පළිගැනීම් පවා හිතුමතේ ක්‍රියාවට නැඟිණි. මෙකී අමානුශික අපරාධයන් හෙළිදරව් කරමින් ඊට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීම උතුරේ සහ දකුණේ යුධ විරෝධී සහ මානවවාදී ජනතාවගේ වුවමනාව වූ අතර එය විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රීපාල මහතාගේ මැතිවරණ පොරොන්දුවක් ද විය. එහෙත් බලයට පත්වීමෙන් අනතුරුව මෛත්‍රීපාල මහතාද දකුණ පිනවීම සඳහා සුපුරුදු 'රණවිරු වන්දනාවේ' යක් බෙරය වයන්නට පටන්ගෙන ඇති අතර යුද්ධය කළ හමුදා සාමාජිකයන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ නොදෙමැයි සපථ කරමින් හමුදා සෙබළුන් ලවා මානව විරෝධී අපරාධයන් කරවූ බලවතුන්ද නීතියට පිටින් වල් බූරු නිදහස භුක්තිවිඳි හමුදා සාමාජිකයින්ද ආරක්ෂා කිරීමට පිටපොට ගසාගෙන සිටී. එහෙයින් දැන් ඔහුගේ සූත්‍රය වී ඇත්තේ අපරාධ වින්දිතයින් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම නොව අපරාධකරුවන්ට දඬුවමින් මුක්තිය ලබාදීමය. 

ජනමාධ්‍යයට තර්ජන 

රාජපක්ෂ යුගයේ මාධ්‍යයට හිමිව තිබුණු ඉරණම සිහිපත් කළ සැණින් මතකයට නැඟෙන්නේ ධර්මරත්නම් සිවරාම් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කරවීම, උපාලි තෙන්නකෝන් කීත් නොයාර් පෝද්දල ජයන්ත වැනි මාධ්‍යවේදීන්ට පරදීමේ සිදුවීම්, මාධ්‍ය ආයතනවලට පහරදීම්, ගිනිතැබීම් ඇතුළු මර්දනකාරී සිදුවීම් ගණනාවකි. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ මූලිකම සටන් පාඨ අතර මාධ්‍ය නිදහස ස්ථාපිත කිරීම සහ පෙරකී ඝාතනයන්, අතුරුදන් කරවීම්, පහරදීම් වලට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ද තිබිණි. එහෙත් ලසන්ත ඝාතනය සහ ප්‍රගීත් අතුරුදන් කරවීමට අදාල පරීක්ෂණ කටයුතු වලදී ඊට වගකිව යුත්තන් ලෙස යුධහමුදා බුද්ධි අංශ නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ව අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෛත්‍රීපාල මහතාට ඔවුන් කෙරෙහි මහා කරුණාව පහළ වී ඇති සෙයක් දක්නට ලැබේ. ප්‍රගීත් අතුරුදන් කරවීමට අදාලව අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබූ සෙබළුන් පිළිබඳව බොහෝ හිතේ අමාරුවෙන් යුතුව ජනපතිවරයා කතා කරන අයුරු පසුගියදා දක්නට ලැබිණි. එසේම එකී පරීක්ෂණ වලට බාධා කෙරෙණ අන්දමේ නියෝග ද මෛත්‍රීපාල මහතා විසින් ආරක්ෂක ලේකම්වරයාට ලබා දී ඇතිබවද මාධ්‍ය හරහා වාර්තා විය. මෛත්‍රීපාල මහතා මීට හේතු ලෙස ඉදිරිපත් කරන්නේ මින් 'රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය' බිඳවැටෙන බවය. රණවිරුවන් යනුවෙන් කොටසකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වැට බැඳීමෙන් මෛත්‍රීපාල මහතා සිදුකරමින් ඉන්නේ නීතිය ඉදිරියේ සියල්ලන් සමානය යන ව්‍යවස්ථාමය වගන්තිය උල්ලංඝනය කිරීම සහ නීතියේ ආධිපත්‍ය නිසි පරිදි ක්‍රියාත්මක කරවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්වෙත පැවරී ඇති වගකීම පැහැර හැරීමය. 

එසේම මැතිවරණ ව්‍යාපාරය තුළදී රාජපක්ෂලාට එරෙහිව ප්‍රචාරණ කටයුතු සඳහා ජනමාධ්‍ය මගින් ලැබුණු සේවය සහ අනතුරු නොතකා සත්‍ය වෙනුවෙන් පෙනී සිටිමින් මාධ්‍යවේදීන් ඉටුකළ වගකීම් මෛත්‍රීපාල සිරිසේන මහතාට අද වන විට අමතක වී ගොස් ඇති සැටියකි. එදා මිතුරන් වූ මාධ්‍යවේදීන් අද වන විට ත්‍රස්තවාදීන් ලෙස ම හංවඩු ගසන්නට තරම් ඔහු දුරදිග ගොස් සිටී. හේතුව නම් ජනපතිවරයාගේ ක්‍රියාකලාපයන් මාධ්‍යයේ විවේචනයට ලක්වීමයි. අනෙක් අතට ඔහුගේ සමහර ප්‍රකාශයන් තුළින් ගම්‍ය වන්නේ එදාට සාපේක්ෂව අද මාධ්‍යයට යම් නිදහසක් ලැබී ඇත්නම් ඒ ඔහුගේ 'හොඳකම' නිසා බවට ඔහු සිතා සිටින ආකාරයකි. මාධ්‍ය නිදහස යනු කාගේ හෝ 'හොඳකම' නිසා කාටවත් ලැබිය යුතු දෙයක් නොව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබිය යුතු මූලික ලක්ෂණයක් බව සිය දශක හතරක දේශපාලන ජීවිතය තුළදීම ජනපතිවරයා ඉගෙනගෙන නැතුවාද, එසේ නැතිනම් ජනපති වූ පසුව එය ඔහුට අමතක වීද යන්න දන්නේද ඔහුම පමණක් විය යුතුය. 

ගුරා හිටගෙන මූත්‍රා කරන විට ගෝලයින් දුව දුවා මූත්‍රා කරන බවට කතාවක් තිබේ. ජනාධිපතිවරයා මාධ්‍ය කෙරෙහි දක්වන ප්‍රතිචාරය එවන් වෙද්දී ඔහුගේ රජයේ අගමැති රනිල් වික්‍රමසිහ මහතාද මාධ්‍යයට නිතර කෙණෙහිලිකම් කරන චරිතයක් බවට පත්ව සිටී. මෑතකදී ඔහු දෙවන වතාවටත් ඩේලි එෆ් ටී පුවත්පතට තදබල වාග් ප්‍රහාරයක් එල්ල කළ අතර ඔහු එය වැසිකිළි කඩදාසි වලටත් වඩා පහළ දමමින් කතා කර තිබිණි. යම් මාධ්‍යවේදියෙක් රටේ සාමයට සංහිඳියාවට තර්ජනයක් වන අයුරින් හිතාමතා ජාතිවාදය අවුළුවන්නේ නම් ඊට එරෙහි වීම එකකි. එහෙත් යමෙක් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය විවේචනය කළ පමණින් පරළ වීම යනු වෙනමම එකකි. දේශපාලනයෙහි ඔතෙක් තෙම්පරාදු වූ අගමැතිවරයා ද මාධ්‍යට පෙන්වන 'යහ' පාලනය මේ වනවිට නම් එතරම් සුබ එකක් නොවේ. මීටත් එහා යමින් ආණ්ඩුවේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා පසුගිය දිනක වෙබ් අඩවියක කතුවරයකුට තර්ජනයක්ද කර තිබිණි. ලංකා ඊ නිව්ස් සහ සඳරුවන් සේනාධීරගේ දෙකයි පනහේ මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් අපටද අනන්තවත් විවේචන තිබේ. එහෙත් රටේ අධිකරණ ඇමතිවරයා වශයෙන් විජේදාස රාජපක්ෂ ඔහුව හිඟන්නෙකු වශයෙන් හැඳින්වීමද ජාත්‍යන්තර වරෙන්තුවක් හරහා ලංකාවට ගෙන්වන බවට තර්ජනය කිරීමද ඩොලර් සීයක් දුන් විට ඕනෑම කෙනෙකුට මඩ ගසන වෙබ් අඩවියක් ලෙස හැඳින්වීමද මෙකී සියල්ලට සාක්ෂියට සහ සහයෝගයට ඒකාබද්ධ විපක්ෂය නම් මහින්ද රාජපක්ෂගේ අනාථ මඩම කැඳවීමද යහපාලනයකට තරම් නොවන බව ඕනෑම කෙනෙකුට අවබෝධ විය යුතුය. 

එදා හඬම ද අදත් මෛත්‍රීගේ ? 

මේ සඳහන් කෙරුණේ ලැයිස්තුවෙන් සුළු කොටසක් පමණි. දෙවසරකට පෙර කී දෑ දෙවසරක කෙරුවාව තුළ කොතෙක් වෙනස් වී ඇත්දැයි පෙන්වන්නට තවත් උදාහරණ බොහෝය. මේ සලකා බැලූ කරුණු කිහිපයෙන් වුව පෙනී යන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් ලැබූ ජනවරමට පිටුපාමින් ගමන අරඹා ඇති බවය. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට වඩා විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බොහෝ වෙනස් වී ඇති බවය. 

මෛත්‍රීපාල සිරිසේන මහතාට තවත් වසර 3කට අධික කාලයක් ඉතිරිව පවතී. දුන් පොරොන්දු අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ වගකීමද ඔහු සතුය. එහෙත් එදා සහ අද අතර මෛත්‍රීපාල මහතාගේ රූපාන්තරණය සලකා බලන විට ඒ වසර තුනේ දීද ජනතා පැතුම් ඉටුවේදැයි සැක සහිතය. දුන් පොරොන්දු ඉටු කළ සත්‍යවාදී ජනනායකයකු වශයෙන් ඉතිහාසයට එක්වීම හෝ සුපුරුදු තුට්ටු දෙකේ දේශපාලනයට අනුව තමන්ගේ සහ තම පවුලේ යහපත වෙනුවෙන් ජනවරම පාවාදුන් නින්දිත දේශපාලකයකු ලෙස ඉතිහාසයට එක්වීම යන මාර්ග දෙකම ඔහු ඉදිරියේ විවෘතය. මීට වසර දෙකකට පෙර ඔහු ආණ්ඩු පක්ෂය හැර යාම ඉතිහාසයේ විශිෂ්ට පියවරක් වශයෙන් සනිටුහන් කිරීමට හෝ ගෙම්බන් මෙන් පිල් මාරු කරන ලාංකේය දේශපාලකයන් අතර තවත් එකකුගේ හැව ඇරීමක් ලෙස ඉතිහාසයෙහි සනිටුහන් කිරීමට හෝ අවස්ථාව ඔහුට හිමිය. 

අපට කීමට ඇත්තේ මෙපමණකි. මෛත්‍රීපාල මහතානෙණි, හැඟීම් වලට වඩා බුද්ධියට ඉඩ දීම යහපත් පාලකයකුගේ මූලික ලක්ෂණයකි. 

-LNW

Share on Google Plus

0 comments:

Post a Comment