විමල්ගේ පුතා සහ මෛත්‍රිගේ පුතා



  • විමල්ගේ හෝකන්දර ගෙදරින් තරුණයෙක්ගේ මළ සිරුරක් හම්බ වෙලාලු නේද?
  • ඒ තරුණයා විමල්ගේ පුතාගේ යාළුවෙක්ලු නේද?
  • තරුණයා මැරිලා තියෙන්නේ ඒ ගෙදරදීලු නේද? විමල්ගේ පුතාත් එතැන ඉඳලා තියෙනවාලු නේද?

මේ දවස්වල මිනිස්සු කතා කරන මාතෘකාවකි. එයට හේතුව අනෙක් මන්ත්‍රිවරුන්ගේ පමණක් නොව මැති ඇමැතිවරුන්ගේත් අගමැති සහ ජනාධිපතිගේත් පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්න ඇති වුණාම විමල් ඒවා මඩට දමල දෙක තුන කරල කියන නිසාය.

මෑතකදී ජවිපෙ මන්ත්‍රි විජිත හේරත් අනතුරකට මුහුණ පෑවේය. ඔහුගේ වාහනය තාප්පයක හැපිණි. ඒ අනතුර වන විට වාහනය පදවාගෙන ගියේ විජිත හේරත්ය. විජිත හේරත්ගේ රිය අනතුර ආරංචි වූ විගස විමල් ඔහුගේ වෙබ් අඩවිය හරහා ප්‍රචාරය කළේ විජිත හේරත් බීමතින් රිය පැදවූවා කියාය. පොලිස් වාර්තාවල ඒ බව සඳහන් වෙනවා කියමින් ඇහැට පෙනෙන්නේ නැති සී.සී.ටී.වී. දර්ශන දමමින් විජිත හේරත් බේබද්දෙක් කරන්න දත කෑවේය. ඊළඟට විජිත හොර ගමනක් ගොස් එද්දී අනතුර සිදු වුණු බවට පින්තූර විකෘති කොට පෙන්වූයේය.

අනුර කුමාර දිසානායක මෑතකදී අයර්ලන්තයට ගියේය. අනුර අයර්ලන්ත ගුවන් තොටුපොළේ සිටින පින්තූර තම සගයන් ලවා වීඩියෝ කොට අනුර සැප ගන්න අයර්ලන්තයට ගොස් ඇතැයි කතන්දර හදලා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළේය.

ඊයේ පෙරේදා කොළඹ සමාජ ශාලාවක පහර දීමක් සිදුවූ විට එම පහර දීම පිටුපස ඉන්නේ මෛත්‍රිගේ පුතා දහම් යැයි විමල් ඇහින් දැක්කා වගේ කීවේය. එම ප්‍රහාරය වන වෙලාවේ සමාජ ශාලාවේ සී.සී.ටී.වී. දර්ශන යැයි කියා සී.සී.ටී.වී. දර්ශන සමාජ මාධ්‍ය හරහා රට පුරා ප්‍රචාරය කළේය.
පහත දැක්වෙන්නේ නයිට් ක්ලබ් සිද්ධිය වුණු විගස විමල් රත්නපුර රැස්වීම රත් කරමින් දහම්ට ගහපු ගැහිල්ලය.

ඊයේ 8 රත්නපුරයේ පැවැති මහින්ද පිලේ රැලියේදී පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ සිය කතාවේදී පසුගියදා ක්ලික් සමාජ ශාලාවට ප්‍රහාරයක් දියත් කිරීම සම්බන්ධයෙන් ජනපති පුත් දහම් සිරිසේනට චෝදනා එල්ල කෙළේය.

ඔහු එහිදී මෙසේ කියා ඇත.

මේ රටේ ඇතැම් මාධ්‍ය නාමල් රාජපක්ෂලාට විරුද්ධව නොයෙකුත් චෝදනා වරගන්වා ඉදිරිපත් කළා. විවිධ තර්ක ඔස්සේ විවිධ චෝදනා ගෙන ආවා. 'එහෙම නම් පුළුවන් නම්, මේකත් දාන්න' කියලා මම මේ රටේ මාධ්‍යවලට අභියෝග කරනවා එහෙම කළාට දාන්නේ නම් නැහැ. නමුත් සමාජ ජාල මාධ්‍යවලවත් යාවිනේ.

අනේ හාමුදුරුවනේ සමාවෙලා මේ දහම් කොලුවාගේ නම වෙනස් කරලා සංඝ ආඥාවක් නිකුත් කරන්න. බුදුන්, දහම්, සඟුන් තමයි අපට තිබෙන තෙරුවන. මෙයා නිසා ඒකත් වැනසෙනවා. දහම් ගිහින් තිබෙනවා ටවුන්හෝල්වල තිබෙන 'ක්ලික්' නමැති නයිට් ක්ලබ් එකට, ජනාධිපති ආරක්ෂක අංශයේ ආරක්ෂාව සහිතව.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ජීප් රථයක තමයි ගිහින් තිබුණේ. පළමු වතාවේ ගිහින් ඇතුළු වෙන්න ඇහුවා. 'පොඩ්ඩක් ඉන්න කියා' පිළිතුරක් ලැබී තිබුණා. 'පස්සේ එන්නම්' කියලා ඒ වතාවේ ගිහින් ආපසු ඇවිත් ක්ලබ් එකේ සියලු වීදුරු බින්දා.

එක සේවකයකුට පහර දී තිබෙනවා. ඒ සේවකයා කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා. ඒ පහර කෑමෙන් රෝගී වූ ඒ නයිට් ක්ලබ් සේවකයාට දැන් ජනාධිපති ආරක්ෂක අංශයෙන් ආරක්ෂාව ලබාදී තිබෙනවා. බලාපොරොත්තු වුණේ මේ වෙනස නේද? නාමල් රාජපක්ෂලා, නයිට් ක්ලබ් ගිහින් මරා ගත්තේ නැහැ. මේ රටේ බහුතරයකට නයිට් ක්ලබ් යන, ගහගන්න, මරා ගන්න පුතකුගේ තාත්තා කෙනෙක් ජනාධිපති කරවන වෙනසක් ඕනෙ වුණා. ඒ වෙනස 2015 ජනවාරි 08 වැනිදා සිදු වුණා.'

එහෙව් විමල් තමාගේ නිවෙසේ තරුණයකු ඝාතනය වීම ගැන ඉන්නේ දත කට පූට්ටු කරගෙනය.

මේ වගේ තරුණ මරණයක් දහම්ගේ ගෙදරක හෝ දහම් ඉන්නා තැනක වුණා නම් අද විමල් හැසිරෙන්නේ කොහොමද?

එහෙනම් මේ සිද්ධිය සිදු වුණු දිනට පසු දින පාර්ලිමේන්තුව ගිනියම් කරන විමල්ගේ කතාව පටන් ගන්නේ මෙහෙමය.

"ගරු කතානායකතුමනි, අද රටේ මහා භයානක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ජනාධිපතිගේ පුත් කුමාරයාගේ නිවෙසේ තරුණ මළ සිරුරක් හමුවී තියෙනවා. ඔහු ජනාධිපතිගේ පුත් කුමරාගේ මිත්‍රයෙක් බව අනාවරණය වෙලා තියෙනවා. මේ තරුණයා කවුද? ඔහුගේත්, ජනාධිපතිගේ පුත් කුමරාත් අතර තිබුණු සම්බන්ධය කුමක්ද? එතැන තිබුණේ නිකම්ම නිකම් මිත්‍රත්වයක්ද? එහෙම නැත්නම් ව්‍යාපාරික ගනුදෙනුවක්ද? එහෙමත් නැත්නම් අපි කවුරුත් නොදන්නා වෙන යම් ගනුදෙනුවක්ද? ජනාධිපතිගේ පුත් කුමරා නිවෙසේ සිටියදීම ඔහු මැරුණේ කෙසේද? මේ මරණය සම්බන්ධයෙන් පොලිසිය අපක්ෂපාතී පරීක්ෂණයක් කරනවාද? අපට දැනගන්න ලැබී තිබෙනවා මේ පරීක්ෂණය ජනාධිපති ආරක්ෂක අංශය යටතට අරගෙන කියල. ජනාධිපතිවරයාගේ ආර්යාව විතරයි තවම මේ ගැන ප්‍රකාශ කරන්නේ. ඇයි ජනාධිපතිගේ පුතාට මේ ගැන කතා කරන්න බැරි. ඇයි ඔහුව හංගලා තියෙන්නේ. ඇයි ඔහු ඉදිරියට නොඑන්නේ. පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කළාද? මේ මරණය සිදු වූයේ කෙසේද කියල මේ රටත් රටේ ජනතාවත් දැන ගත යුතුයි. කොහොමද මේ මරණය සිදු වුණේ. ස්වාභාවික මරණයක්ද? නැතිනම් ඝාතන කුමන්ත්‍රණයක්ද? 

එසේත් නැතිනම් ස්වාභාවික මරණයක් ලෙස පෙන්වා ඔහුට විස පොවා සිදු කළ ඝාතනයක්ද? එවැනි ඝාතනයක් නම් එලෙස ඝාතනය කරන්න හේතු මොනවාද? ජනාධිපතිගේ පුත් කුමරාගේ රහස් ඔහු සතුව තිබුණාද? ජනාධිපතිගේ පුත් කුමරාගේ ව්‍යාපාරික ගනුදෙනු ගැන ඔහු දැන සිටියාද? ජනාධිපතිගේ පුත් කුමරාගේ වෙනත් සම්බන්ධතා ගැන ඔහු දැන සිටියාද? කතානායකතුමනි, මේ සභාව සත්‍ය දැන ගත යුතුයි. අවුරුදු 24ක යොවුන් තරුණයෙක් ස්වාභාවික මරණයකට පත් වෙනවා කියන එක පිටුපස මහ අබිරහසක් තියෙනවා. ජනාධිපතිවරුන්ගේ අගමැතිවරුන්ගේ මැති ඇමැතිවරුන්ගේ නිවෙස්වල වයසක උදවිය සේවකයන් මිය යන්න පුළුවන්. ඒත් ජනාධිපතිගේ පුත් කුමරාගේ මිත්‍ර වයස 24ක යොවුන් තරුණයකු ඔහු සිටි නිවෙසේදීම මිය යෑම මහා කුමන්ත්‍රණයක්. මෙම තරුණයා ජනාධිපතිගේ පුත් කුමරා සමඟ රාත්‍රි කාලයේදී මෙම නිවෙසේ හමුවී තිබෙනවාලු. ඒ මොනවා ගැන සාකච්ඡා කරන්නද? රහස් රකින්නද? මුදල් ගනුදෙනුවලටද. ජනාධිපති මෙම අබිරහස් මරණයේ ඇත්ත රටට හෙළිදරව් වන තෙක් ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතුයි. මම මේ ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි කියා යෝජනාවක් සම්මත කරන ලෙසට. අපට දැන ගන්න ලැබී තිබෙනවා මිය ගිය තරුණයාගේ පවුලේ අය බිය ගන්වන මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා කියා. සාක්ෂි වෙනස් කරන්න කුමන්ත්‍රණයක් දියත් වන බව ආරංචියි. මෙම කුමන්ත්‍රණය පරාජය කරන්න හෙට සිට කළු පටි බැඳ අපි මේ සභාව තුළ විරෝධතාවක් දියත් කරනවා."

මේ මියගිය තරුණයාගේ මළ සිරුර දහම්ගේ ගෙදරදී හමු වුණා නම් විමල් කියන කතාවය. විමල්ගේ හතුරු ලැයිස්තුවේ ඉන්න නායකයන්ට, මන්ත්‍රිවරුන්ට ගහපු මඩ දැන් තමන්ටම කැරකිලා එනවා යැයි විමල්ට දැන් තේරුම් ගොස් තියෙනවා නම් හොඳය. අනුන්ට කපපු මඩ වළේ තමන්ද වැටෙයි පුතේ කියන්නේ නිකම්ම නොවේ.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු

Share on Google Plus

0 comments:

Post a Comment