දත් දොස්තර සමාගමෙන් කම්බස් වන ආයුර්වේද සංස්ථාව




සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය යනුවෙන් අමාත්‍යාංශයක් තිබේ. නම ඇසූ පමණින් ම කෙනෙකුට මතක් වන්නේ අපේ රටේ දෙකෝටි දස ලක්‍ෂයක් පමණ මිනිසුන්ගේ සෞඛ්‍යය හා පෝෂණ කටයුතු වෙනුවෙන් මෙම අමාත්‍යාංශය පිහිටුවා තිබෙන බවයි. අමාත්‍යාංශය භාර දී තිබෙන්නේ නිකම්ම දොස්තර කෙනෙකුට නොව දත් දොස්තර කෙනෙකුයි. ඔහු නම් දොස්තර රාජිත සේනාරත්නයි. එසේ මෙසේ පුද්ගලයකු නොව හිටපු ලොක්කාගේ දත ගලවන්නට ද මුල් වී ක්‍රියා කළ පුතයෙකි.

මෛත්‍රී පාලනයක් බිහි කිරීමට කරණම් ගසා රාජපක්‍ෂ පවුල් පාලනයෙන් එළියට පැමිණි දත් දොස්තර පසුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂයෙන් මැතිවරණයකට ඉදිරිපත් විය. එය ඔහුගේ පළමුවැනි පාට මාරු කිරීම නම් නොවේ. ඒ පිළට මේ පිළට අවස්ථා ගණනාවක දී ම පාට මාරු කළ ඉතිහාසයක් තිබේ. මෛත්‍රී - රනිල් හවුල් ආණ්ඩුව පිහිටුවූවාට පසුව දොස්තර රාජිත සේනාරත්නට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය භාර දෙනු ලැබී ය. එතැන් සිට දොස්තර රාජිත සේනාරත්න කරමින් සිටින්නේ රටේ ජනතාවගේ දත ගලවන පවුල් සමාගමක් පිහිටුවා ගැනීමයි. රාජපක්‍ෂ පාලන සමයේ බැරි වූ ඇරියර්ස් කවර් කර ගැනීමයි. රටේ මුළු ජනතාවගේ සෞඛ්‍යය තීරණය කරමින් සිටින්නේ දොස්තර රාජිත සේනාරත්න සහ පවුලේ සමාගම විසිනි.

මේ බව තහවුරු කිරීමට සාක්‍ෂි රැසක් තිබෙ. පළමුව රාජිත සේනාරත්න ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් ලෙස පත් කරගෙන සිටින්නේ ඔහුගේ බිරිඳ වන සුජාතා සේනාරත්නයි. එයට අමතරව චතුර සේනාරත්න පුතා පාර්ලිමේන්තු මන්ත්‍රී කරගෙන සිටී. මොවුන්ගේ පවුල් සමාගමේ මුල් ගල තිබෙන්නේ මෙතැනයි. එතැන් සිට අමාත්‍යාංශයට අයත් ආයතන පුරා පවුල් ගසේ අතුපතර විහිදුවාගෙන ඇත. ඒ අතුරින් ආයුර්වේද සංස්ථාව නම් නිශ්චිත ආයතනය වෙත පවුල් සමාගමේ බලපෑම් කර තිබෙන්නේ කෙසේ දැයි ජනතා අධිකරණය හමුවේ මෙලෙස තැබේ.

රාජිත ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්, බිරිඳගේ දැනුම් දීමකට අනුව ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා විසින් සම්බන්ධීකරණ නිලධාරීන් හයදෙනකු බඳවාගෙන ඇත. මෙවැනි කි‍්‍රයාවලට සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ ද එකපයින් සිටී. එයට හේතුවක් තිබේ. ඔහු සුජාතා සේනාරත්නගේ ඥාති සහෝදරයෙකි. සේනාරත්න පවුල් සමාගම තවත් පියවරකිින් ව්‍යාප්ත කර ඇත්තේ, මේ ඥාති පත්වීමෙනි. සම්බන්ධීකරණ නිලධාරීන් හය දෙනාට පත්වීම් ලබා දීමට සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් පසුගිය මාර්තු මස 09 වැනි දින අනුමැතිය ලබා දී ඇති බව කියැවේ. එසේ වුවත්, තිබෙන්නේ බරපතල ප‍්‍රශ්නයකි. අධ්‍යක්‍ෂ මණ්ඩලයට මහා භාණ්ඩාගාරය නියෝජනය කරමින්, පැමිණ සිටි නිලධාරී, ආර්. රුෂාන්දන් මේ සඳහා අනුමැතිය ලබා දිය නොහැකි බව දන්වා තිබීමයි. අනෙක් පැත්තෙන් මෙවැනි පත් කිරීම් සඳහා නිර්දේශ කිරීමට ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්ට කිසිදු බලයක් නැත. බලය තිබෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාටයි.

මේ රටේ රැකියා නොමැති විශාල පිරිසක් සිටිති. ඔවුන්ගේ සුදුසුකම් අනුව කවර හෝ රැකියාවක් ලබා දීම අපට ප‍්‍රශ්නයක් නොවේ. මන්ද, රාජිත සේනාරත්නලා ඇමතිකම් ලබාගෙන හත්මුතු පරම්පරාව ම ගොඩ දා ගැනීමට ක්‍රියා කළ ද, මෙසේ රැකියා ලබා ගන්නන් ජීවිතය ගැට ගසා ගැනීමට පඩියක් ලබා ගන්නවා හැර මුළු ජීවිත කාලයේ දී ම ඉතිරි කර ගන්නා යමක් නොමැති බව අප දන්නා බැවිනි. සංස්ථාවට බඳවාගෙන තිබෙන පුද්ගලයන් සඳහා මාසිකව රුපියල් 20,000.00ක වැටුපක් ගෙවීමෙන් මේ බව තවත් හොඳින් තහවුරු වේ.

එමෙන් ම 2015 වර්ෂය තුළ දී කොන්ත‍්‍රාත් පදනම මත තවත් 57 දෙනෙකු සේවයට බඳවාගෙන තිබූ අතර, එයින් 41ක් අනුමත සේවක සංඛ්‍යාව තුළ නොමැති තනතුරු සඳහා බඳවාගෙන ඇත. අලුතින් නිර්මාණය කරන ලද ‘සහකාර කළමනාකාර (අලෙවි ප‍්‍රවර්ධන) යනුවෙන් ද තනතුරු තුනක් ඇති කර ස්ථිර පදනමින් සේවයට ගෙන ඇත. අනුමත සේවක සංඛ්‍යාව තුළ නොවූ සිවිල් ඉංජිනේරු තනතුරක් ද ඇති කර පුද්ගලයකු බඳවාගෙන ඒ වෙනුවෙන් මසකට රුපියල් 80,000ක දීමනාවක් ගෙවීමට කටයුතු කර තිබේ. එයට අමතරව රුපියල් 5,000.00ක දීමනාවක් ද එකතු කර තිබේ. මොහු බඳවාගෙන ඇත්තේ, විධිමත් බඳවා ගැනීමේ පරිපාටියෙන් බැහැරවයි. වර්ෂයක කාලයක් සඳහා 2015 මැයි මස සිට බඳවාගෙන 2016 අප්‍රේල් මස 30 වැනි දින දක්වා විධිමත් පත්වීම් ලිපියක් පවා ලබා දී නොතිබීමෙන් සංස්ථාවේ සභාපති කොතරම් සේනාරත්නකරණය වී සිටින්නේ දැයි පැහැදිලි වේ. 2015 නොවැම්බර් මාසයෙන් පසුව සිවිල් ඉංජිනේරුවා අතුරුදහන් වී සේවයට වාර්තා කර නොමැත. ඔහුට සංස්ථාවෙන් ලබා දෙන ලද ලැප්ටොප් යන්ත‍්‍රය සහ උපාංග ද ඔහු සමඟ ම අතුරුදහන් වී තිබේ.

මෙලෙස පත්වීම් රැසක් ඉහළ නිලයන්ට ලබාදී ඇති අතර, එයින් විශේෂ අවධානය යොමු කළ යුතුව තිබෙන සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය) සඳහා කාන්තාවක් පත් කර තිබූ අතර, එම තනතුරේ නිලධාරීන් වෙත ආරම්භක පියවරේ තිබිය යුතු වැටුප් තලයේ සිට වැටුප් වර්ධක 14ක් එකතු කර මාසික වැටුප රුපියල් 53,930.00ක් වශයෙන් සකස් කර තිබීම විශේෂිත වේ. මෙයට අමතරව තත්ත්ව පාලන කළමනාකරුවකු ද පත් කර ඇත. සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි), සැපයුම් කළමනාකරු ආදී නිලයන්ට සුදුසුකම් නැති පුද්ගලයන් බඳවාගෙන තිබේ.

මෙම බඳවා ගැනීම් සියල්ල ඇතුළු තීරණ රැසක් ගෙන තිබනේ ගෝඨාගේ න්‍යායට අනුවයි. ගෝඨාගේ න්‍යාය යනු වියරු බලයක් පාවිච්චි කිරීමයි. දොස්තර රාජිත සේනාරත්නගේ ඥාති සහෝදර ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ විසින් අනුගමනය කර තිබෙන ගෝඨා න්‍යාය ගැන පැහැදිලි කළ යුතු ය. 2010 මාර්තු මස 09 වැනි දින පැවැති අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමට නිල වශයෙන් භාණ්ඩාගාරයේ නියෝජිතයා සහභාගී වී නැත. එහෙත්, රාජිතලාගේ දේශපාලන පත්වීම් ලද හෙංචයියන් යොදවා මෙම නිලධාරියාට හිරිහැර කර පළවා හැර තිබේ. 

ඉන් පසුව අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීම් සඳහා සහභාගී වීමට එම නිලධාරියා ආරක්‍ෂාව ඉල්ලා ඇතත්. එය ලබා දී නැත. එම තත්ත්වය යටතේ 2016 අප්‍රේල් මස 22, මැයි මස 26 සහ ජුනි මස 03 යන දිනවල අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීම පවත්වා ඇත්තේ, භාණ්ඩාගාර නියෝජිතයා නොමැතිවයි. ඉහත සඳහන් පත්වීම් ලබා දීම පිළිබඳ තීරණ ඇතුළු කරුණු රැසක් ගෙන ඇත්තේ, භාණ්ඩාගාර නියෝජිතයා නොමැති අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීම්වල දී ය. මෙසේ බලය යොදවා අලුතින් තනතුරු ඇති කර ලබා දුන්න ද, අනුමත කාර්ය මණ්ඩලය තුළ කළමනාකරණ තනතුරු 10ක් පුරප්පාඩු වි තිබේ.

සංස්ථාවට සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි) යනුවෙන් තනතුරක් නිර්මාණය කර තිබේ. ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදනය කරන්නේ අලෙවි කිරීමට ය. අලුතින් තනතුරු නිර්මාණය කරන්නේ අලෙවි ප‍්‍රමාණයන් ඉහළ දමා ගැනීමට විය යුතු වේ. අලෙවි කිරීම කෙසේ වෙතත්, ඊට පෙර ඖෂධ නිෂ්පාදනයන් කෙරෙහි අවධානය යොමු කිරීමවත් අවශ්‍ය වේ. 2015 වර්ෂයේ රුපියල් මිලියන 398ක නිෂ්පාදන කිරීමට නියමිත තිබී ඇත. එහෙත්, සත්‍ය වශයෙන් නිෂ්පාදනය කර ඇත්තේ, රුපියල් මිලියන 266ක් වූ ඖෂධ පමණ ය. රාජිත සේනාරත්න ඇමති වූ පසුව අලුතින් සංස්ථාවට 57 දෙනෙකු බඳවාගෙන තිබියදීත්, අදාළ වටිනාකමට නිෂ්පාදනය කිරීමට නොහැකි වී තිබීම කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුව තිබේ.

රාජිත සේනාරත්නලාගේ හිටපු මහරජා වූ මහින්ද රාජපක්‍ෂ තුන්වැනි වර කිරුළ පැළඳීමට උත්සාහ කළ 2014 වර්ෂයේ දී සංස්ථාවේ වාර්තාගත ඉහළ ම ප‍්‍රමාණය නිෂ්පාදනය කර තිබී ඇත. නිෂ්පාදන ඖෂධ කිලෝ ප‍්‍රමාණය සහ තෙල්, අරිෂ්ඨ මිලි ලීටර් 750ක බෝතල් ඒකක 5,87,15,892ක් නිෂ්පාදනය කිරීමයි. මෙම ප‍්‍රමාණය නිෂ්පාදනය කර තිබෙන්නේ සේවකයන් 261 දෙනෙකු විසිනි. නමුත්, දොස්තර රාජිත, සුජාතා සහ මස්සිනාගේ පාලනය ආරම්භ කෙරුණු 2015 වර්ෂයේ දී සේවක සංඛ්‍යාව 243 දක්වා ඉහළ දමා තිබියදීත් නිෂ්පාදනකර ඇත්තේ ඒකක 577,172ක්  පමණි. එක් සේවකයකුගේ වාර්ෂික නිෂ්පාදනය 2014දී ඒකක 2,24,965 සිට 2015දී ඒකක 1,69,292ක් දක්වා පහත වැටී ඇත.

ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පවුල් පාලනය විසින් 2015දී නව නිෂ්පාදන 10ක් දොරට වැඩීමක් සිදු කරන බවට ප‍්‍රචාරය කරමින්, ඒ සඳහා රුපියල් මිලියන 7ක් දොරට වැඩීමේ උත්සවය වෙනුවෙන් දරා තිබිණි. මෙය කෙතරම් කදිම දත් ගැලවීමක් වී තිබුණේ ද යත්, "ඉසිවර ඔසු" යනුවෙන් හඳුන්වා තිබූ ඔසු වර්ග නවයක් අලුතින් ලේබල් කර විවෘත වෙළෙඳපොළට හඳුන්වා දී ඇති අතර, සත්‍ය වශයෙන් ම අලුතින් වෙළෙඳපොළට නිකුත් කර ඇත්තේ, එක් ඖෂධ නිෂ්පාදනයක් පමණි. දත් දොස්තර සහ පවුලේ  සමාගමේ දත් ගැලවීමේ ව්‍යාපෘතිය එසේයි. 

මෙහි ම තවත් දිගුවක් වශයෙන් 2015දී මුළු ප‍්‍රචාරණ වියදම් වශයෙන් රුපියල් මිලියන 9.6ක් හෙවත් රුපියල් කෝටියකට ආසන්න මුදලක් දරා තිබිණි. මෙය 2014 ප‍්‍රචාරණ වියදමට වඩා සියයට 255කින් ඉහළ යාමක් ය. තවත් ලෙසකින් කියන්නේ නම්, 2014දී තිබූ රුපියල් මිලියන 3.76ක් වූ ප‍්‍රචාරණ වියදම 2015දී රුපියල් මිලියන 9.6ක් දක්වා රුපියල් මිලියන 5.82කින් ඉහළ දැමීමකි. ප‍්‍රචාරණ වියදම් සියයට 255කින් ඉහළ යනවිට අලෙවි ආදායම ඉහළ ගොස් ඇත්තේ, 2014 වර්ෂයට වඩා සියයට 17ක් පමණ ය. (නිෂ්පාදන ප‍්‍රමාණය නොව අලෙවි ආදායමයි). දත් දොස්තර සහ පවුල් සමාගම විසින් මහජනතාවගේ දත් ගැලවීමේ ක්‍රියාවලිය තවත් පැති කීපයකින් ඉදිරියට ගෙන ගොස් තිබෙන බව හෙළි වේ. මිල දී ගැනීමේ කි‍්‍රයාවලිය එකකි. ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය ඖෂධ ශාක මිල දී ගැනීම එක පැත්තකි. අනෙක් පැත්තෙන් ආයතනයට ස්ථාවර වත්කම් මිල දී ගැනීම තුළිනි. 2015 වර්ෂයේ ආරම්භයේ දී ම ආසන හයක මඟී ප‍්‍රවාහණ වෑන් රථයක් මිල දී ගෙන ඇත. එයට අදාළ ලංසු කැඳවීමක් සිදු කර තිබේ. එය මතුපිට පෙනීමට ය. මඟී ප‍්‍රවාහණ වෑන් රථයක් ගත්ත ද, අවශ්‍ය වී ඇත්තේ, ඖෂධ ප‍්‍රවාහණ වෑන් රථයකි. ලංසු කැඳවා ඇත්තේ ද ඒ වෙනුවෙනි. ඒ අනුව අඩු ම මිල ඉදිරිපත් වී ඇත්තේ රුපියල් ලක්‍ෂ 58කට ය. මේ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය ද ගෙන තිබේ.

ලැබී තිබූ මිල ගණන් අනුව ලංසුකරුවන් දෙදෙනකු අවසානයේ දී තෝරාගෙන තිබේ. එයින් රුපියල් ලක්‍ෂ 79ක් මිල සඳහන් මඟී ප‍්‍රවාහණ වෑන් රථය ලබාගෙන තිබේ. නමුත්, ලක්‍ෂ 79කට ලබාගෙන ඇත්තේ ලක්‍ෂ 58කට ගැනීමට ඉදිරිපත් වූ දුර්වල තත්ත්වයේ තිබූ වෑන් රථයයි. භාණ්ඩ ප‍්‍රවාහනය වෙනුවට මගී ප‍්‍රවාහන වෑන් රථයයි. දැන් එහි තිබූ ආසන සියල්ල ගලවා දමා භාණ්ඩ ප‍්‍රවාහණයට යොදාගෙන තිබේ. එහි ඉන්ධන දහනය ඉහළ ය. 90 කිලෝ වොට් - 100 කිලෝ වොට් එන්ජින් ධාරිතාවයෙන් යුක්ත වෑන් රථයකි. නමුත්, තාක්‍ෂණික අගැයීම් කමිටුව නිර්දේශ කර ඇත්තේ, මෙම වාහනය මිල දී ගැනීමට නොවේ. 

අවශ්‍යතාවය අනුව භාණ්ඩ ප‍්‍රවාහණ වෑන් රථයක් අඩු මුදලකට ගැනීමටයි. එය පසෙක දමා මඟී ප‍්‍රවාහණ වෑන් රථයක් මිල දී ගෙන ඇත. මේ වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 55ක බැංකු ණයක් ද ලබාගෙන තිබී ඇත. කෙසේ හෝ ආනයනික වටිනාකම රුපියල් ලක්‍ෂ 58ක් වූ වෑන් රථය රුපියල් ලක්‍ෂ 79ක වැඩි මිලට ගෙන තිබේ. මේ ගනුදෙනුව අනුව රුපියල් ලක්‍ෂ 21ක් වටිනා දතක් ගලවා තිබේ. ඒ සභාපති ඇතුළු පිරිස බව ඉතා පැහැදිලි වේ.

ඖෂධ නිෂ්පාදන අමුද්‍රව්‍ය ඇඹරීමේ යන්ත‍්‍ර පහක් මිල දී ගැනීම සඳහා රුපියල් එක්කෝටි හතළිස්අට ලක්‍ෂ තිස්දෙදහස් පන්සියහැටක් (රු.1,48,32,560) වියදම් කර තිබිණි. 2015 නොවැම්බර් මාසයේ දී මෙම යන්ත‍්‍ර නිෂ්පාදන කටයුතු වෙනුවෙන් සවි කර ඇත. ලබාගෙන ඇති යන්ත‍්‍ර සියල්ල තත්ත්වයෙන් බාල ඒවායි. කොළ වර්ග ඇඹරීමට තිබෙන යන්ත‍්‍රය තුළ අදාළ අමුද්‍රව්‍ය සියල්ල එකට ගුලි වී හිර වේ. නිසි පරිදි කි‍්‍රයා කරන්නේ නම්, කොළ ඇඹරී, මිරිකී යුෂ පෙරෙන අතර, ඉතිරි වන රොඩු වෙනත් ස්ථානයකින් එළියට ආ යුතු ය. නමුත්, මෙය තුළ එම කි‍්‍රයාවලිය සිදු නොවේ. සංස්ථාවේ සේවකයන් පෙන්වා දෙන්නේ මෙම යන්ත‍්‍රය පොල් ඇඹරීම සහ මිරිකීම සඳහා පමණක් ප‍්‍රයෝජනයට ගත හැකි බවකි.
මේ වනවිට සිදුව තිබෙන්නේ යන්ත‍්‍ර පහ ම කසළ ගොඩට දැමිය යුතු තත්ත්වයකි. පසුගිය සැප්තැම්බර් මස වනවිට රුපියල් හැත්තෑදෙලක්‍ෂ හයදහස් තුන්සියවිසිහතක් (රු. 72,06,327) වටිනා යන්ත‍්‍ර දෙකක් සම්පූර්ණයෙන් ම භාවිතයට නොගෙන අත්හැර දමා ඇත. දැන් එම යන්ත‍්‍ර අබලි තත්ත්වයට පත්ව තිබෙන බව අනාවරණය වේ. 

එමෙන් ම රුපියල් හතලිස්දෙලක්‍ෂ අනූහය දහස් හාරසියහැත්තෑ පහක් (රු. 42,96,475) වටිනා යන්ත‍්‍ර තුනක් තිබෙන්නේ ඉතා සුළු වශයෙන් ප‍්‍රයෝජනයට ගන්නා තත්ත්වයෙනි. මෙම යන්ත‍්‍ර ක්‍රියා කර වීමට නම්, අමතර සේවකයන් පස් දෙනෙකු යෙදැවීමට සිදුව තිබේ. මෙවන් දත් ගැලවීම් හමුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි) වැනි තනතුරු නිර්මාණය කර පුද්ගලයන් බඳවාගෙන තිබුණ ද, නිෂ්පාදන ඉහළ යන්නේ හෝ අලෙවිය ඉහළ යන්නේ නැත. පවුල් සමාගමේ බර ගාණකට රැකියා ලැබෙනවා පමණ ය.
සංස්ථාවේ නිෂ්පාදන ප‍්‍රමාණය ඉහළ දමා රට තුළ තරගකාරීව සහ ගුණාත්මකභාවයෙන් යුතු ආයුර්වේද ඖෂධ සැපයීම මූලික වගකීම වේ. කිසි ම ප‍්‍රමිතියක් නොමැති බාල ඖෂධ වර්ග රට පුරා විවිධ පෞද්ගලික නිෂ්පාදකයන් විසින් වෙළෙඳපොළට මුදා හරී. මේ අතුරින් සංස්ථාවේ ඖෂධවලට තිබෙන්නේ ඉහළ ම ඉල්ලුමකි. එම ඉල්ලුම සපුරාලමින් රෝගීන් සුවපත් කිරීමටත්, ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය නඟාසිටුවීමටත් ක්‍රියා කරනවා වෙනුවට දත් දොස්තර රාජිත සේනාරත්න සහ පවුල් සමාගමක් බවට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව පත් කරගෙන තිබේ. එබැවින්, මුළු රටේ ම ජනතාවගේ දත් ගැලවීමේ ව්‍යාපාරයක් කරගෙන යයි.

සංස්ථාව තුළ ගෝඨා න්‍යාය අනුගමනය කරන බව ඉහත සඳහන් කර තිබේ. මෙය කොතරම් බරපතලදැයි පැහැදිලි වන්නේ භාණ්ඩාගාර නියෝජිතයාට අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමට සහභාගී විය නොහැකි තරමට මැර බලය යෙදැවීමෙනි. මැරයන් ලෙස යොදා ගන්නා කීප දෙනා අතර මිනීමැරුම් චෝදනා එල්ල වූ පුද්ගලයෝ ද සිටිති. සංස්ථාවට මිනීමරුවන් අවශ්‍ය වන්නේ යහපාලනයක් පිහිටු වීම සඳහා නම් නොවේ. රාජපක්‍ෂ පාලනයේ දී මෙන් ම පවුල් පාලනයක් පිහිටුවීම සඳහායි. මෙම තත්ත්වයෙන් සංස්ථාවට සිදු වන්නේ ශීතල මරණයක් අත් වීමට පාර කැපීමයි.

දත් දොස්තර සහ පවුලේ සමාගමක් ඇති කිරීමට මිනීමරුවන්ගේ මැරයන් යොදා ගැනීම ඉතිහාසයේ කර තිබෙන්නේ රාජිත ඇමතිවරයා පමණක් නොවේ. මෙයට පෙර විශේෂයෙන් 1977දී බලයට පත් ජේ. ආර්. ජයවර්ධන මෙවැනිවුන් සඳහා විශාල ඉඩක් ලබා දී තිබිණි. කළුවාදේවගේ සිරිල් මැතිව්, පෙස්ටස් පෙරේරා, විජේපාල මෙන්ඩිස් ඇතුළු කප්පිත්තෝ රැසක් සිටියහ. රාජිත සේනාරත්න දේශපාලන කරණමක් ගසා පසුගිය මැතිවරණයේ දී ඡන්දය ඉල්ලුවේ ද එක්සත් ජාතික පක්‍ෂයෙනි. ඔහු ආයුර්වේද සංස්ථාව තුළින් යළි පණ දීමට සැරැසෙන්නේ මළගිය මැර ඇමතියන්ගේ භූතාත්මයට දැයි සාධාරණ ප‍්‍රශ්නයක් පැන නඟී. 

යහපාලනයේ ජනාධිපති, අගමැති බිහිරන් සේ, අන්ධයන් සේ සිටින්නේ එවැනි ඇමතියන්ගේ පාලනයට ආශීර්වාද කරමින් විය හැකි ය. එසේ වුවත්. මේ කොයි කාටත් ඉගෙන ගැනීමට තිබෙන යස පාඩමක් ඇත. එය නම්, ජනවාරි 8 වැනිදා ලබා දී තිබෙන ජනවරම පිළිබඳවයි. එයින් උද්දීපනය වූ ජනතා අභිලාෂයන් අළු යට ගිනි මෙන් පුපුරු ගසමින් තිබෙන බව මතක් කර දිය යුතු ය.

Share on Google Plus

0 comments:

Post a Comment