"උස මදි නම් කම්කරු - උස ඇති නම් සිකුරිටි"


ඇමරිකාවේ රීඩ් විශ්වවිද්‍යාලයේ උපාධිය බාගෙට හැදෑරූ ස්ටීව් ජොබ්ස් ලොව ප්‍රථම පුද්ගලික කොම්පියුටරය සෑදුවේය. එය ලෝකයටම වික්කේය. ලෝකයට නව ශිෂ්ඨාචාරයක් දී ප්‍රකෝටිපතියෙක්ව මිය ගියේය.

හාවඩ් යුනියෙන් එලියට ආ බිල් ගේට්ස් මාක් සකර්බර්ග් ඇතුළු සිය ගණනක් මේ මගම යමින් ලෝකයට දේවල් දිනා දුන්හ. චිනයේ ජැක් මා ඔන්ලයින් වෙළෙඳ පොලවල් හඳුන්වා දෙමින් ලෝකය තව දුරටත් ඉදිරියට ගෙන ගියේය.

අවාසනාවට මෙහේ කවුරුවත් ස්ටීව් ජොබ්ස් කෙනෙක්, බිල් ගේට්ස් කෙනෙක්, සකර්බර්ග් කෙනෙක්, ජැක් මා කෙනෙක් රිචඩ් බ්‍රැන්සන් කෙනෙක් වෙන්නේ නැත. අඩුම ගනනේ ලවු ප්‍රශ්නයක් ආර්ථික ප්‍රශ්නයක් නිසා මිසක ජීවිතය ගැන අවධානමක් අරගෙන උපාධි අතහැර දමා ජීවිතය ජය ගන්නට ලෝකය ජය ගන්නට ව්‍යවසායකත්වයන් හඹායන අයවත් මෙහෙන් බිහි වෙන්නේ නැත. අතහැර දමා යනවා තියා වෑගපිටිය, ආරියශීල, ජයසේකර වගේ එකෙක් දෙන්නෙක් ඇරුණාම උපාධිය අවසන් කලාට පසුවවත් මෙහේ අය ව්‍යවසායකත්වයන්ට යොමු වන්නේ නැත

මෙහේ කට්ටිය උපාධි හදාරන්නේ ඒක පෙන්නලා ආණ්ඩුවේ රස්සාවක් ගන්නය. ලස්සනම කාරණය තමුන් වසර ගණනක් තිස්සේ හදෑරූ විෂයය ගැනවත් වටිනාකමක් නැති එකය. උපාධියක් තියෙනවා නම් එච්චරය. හිටපු ජනපතිගේ මොංගල් පුත්‍රයාගෙන් මීට එහා දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒකත් විහිළුවකි.

පසුගිය දශක කිහිපය තුළ ලංකාවේ රාජ්‍යසේවය විසින් රටට කර ඇති මෙම හානිය දෙවෙනි වෙනවා නම් ඒ දෙවෙනි වන්නේ ප්‍රභාකරන් සහ පිරිවර විසින් දශක තුනක් පුරා ගෙන ගිය කාළකණ්ණි යුද්ධයටම පමණි. පෝලිමේ ඇවිත් සජිත්ගෙං පත්වීම් ලබා ගන්නා විදියට මෙන්ම ආණ්ඩුවේ රස්සා ලබාගත් ලක්ෂ ගණනක් විසින් රට වෙනුවෙන් උත්පාදනය කරන දෙයක් නැත. එහෙත් ඔවුන් නඩත්තු වන්නේ රජයේ මුදලිනි.


උදාහරණයක් ලෙස ලක්ෂ 15කට වැඩි රජයේ සේවයට පඩි ගෙවන්නේ පාං බාගයක්, සිගරට් එකක්, හාල් සේරුවක් ගන්නා විට මම ආණ්ඩුවට ගෙවන බදු මුදලිනි. එපමණක් නොව එසේ භුක්ති විඳ විශ්‍රාම ගිය පසුව විශ්‍රාම වැටුප ලබන්නේද මා වැන්නවුන් කිරිපිටි පැකට් එකකට මොබයිල් ෆෝන් එකකට වාහනයකට ගෙවන බදු මුදලිනි. රජයේ සේවය ආදායම් උත්පාදනය කල යුතු නැත. එය පැවතිය යුත්තේ ව්‍යවසායකයන් ඇතුළු අනෙක් අයට පහසුකම් සැලසීමටය. ඒත් ඒකට ලක්ෂ පහළොවක හමුදාවක් අවශ්‍ය නැත

රටට ආදායම ගෙන එන විදේශ ශ්‍රමිකයන්, අපනයන කරුවන් කිසිවෙකුට ලබා නොදෙන බදු සහන පවා මෙම රජයේ සේවයේ පිනට නඩත්තු වෙන ඇතැම් නිල වලට ලැබෙයි. මේ පණිවිඩය ඉතාම පැහැදිලිය.

"ඔබ අපනයන කරුවෙක්, ව්‍යවසායකයෙක් වෙනවා නම් ඔබ හම්බු කරන සෑම සතයකින්ම හැකි උපරිමය බදු ලෙස හූරා ගන්නට ඔබේ රජය සූදානම්ය. එහෙත් ඔබ රජයේ සේවකයෙක් වෙනවා නම් කාගෙන් හෝ හූරා ගත් බදු මුදලින් ඔබව නඩත්තු කරන්නටද ඔබේ රජය සූදානම්ය". ඉතින් ලංකාවේ කාටවත් කාගේ හෝ පෝලිම් බූත් එකකට කාර්‍යාලෙකට රිංගා ආණ්ඩුවේ පිං පඩි රස්සාවක් ලබා ගන්නවා මිසක රිචඩ් බ්‍රැන්සන් කෙනෙක් ජැක් මා කෙනෙක් වෙන්නට ඕනෑ නැත. 

ඔබ රටට ජාතියට ආදරය කරන්නෙක් නම් ඔබේ දරුවාට කියා දිය යුත්තේ රාජ්‍ය සේවයේ පිංපඩි කන්නෙකු නොවී රටේ අභිමානවත් බදු ගෙවන්නකු විය යුතු විදියය. මොනම හෝ ක්‍රමයකින් මේ කොඩිවිනයෙන් ගැලවෙනකං ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියන එකෙං ඉස්සරහට යන්නේ නැත.


- රවීෂ තිලකවර්ධන



Share on Google Plus

0 comments:

Post a Comment