අගමැති මෙරට මාධ්‍ය අමතයි.


මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පිහිටු වූ යහපාලන රජය පිළිබඳව යුරෝපා සංගමය තුළ ඇති පැහැදීම පදනම් කර ගනිමින්, අප රටේ ජනතාවට ආධාර සහ එහි ප්‍රතිලාභ ලබාදීමට යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සූදානමින් සිටින බවත්, ඒ පසුබිම මත ලබන වසරේ දී ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ලබාගැනීම පිළිබඳව ගමන්ට කිසිදු සැකයක් නැති බවත් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

19වන දා දහවල් බ්‍රසල්ස් නුවර යුරෝපා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ශ්‍රී ලංකා ජනමාධ්‍ය අමතමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජීඑස්පී ප්ලස් සහනය ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු සහ පිළිපැදිය යුතු නීති රීති සපුරා ගැනීමේ වගකීම ශ්‍රී ලංකාව සතු බවය. දැන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වී යහපාලනය ස්ථාපිත වී ඇති බැවින්, එම අවශ්‍යතා සපුරාලීමට හැකියාව ඇති බවත්, ඒ ඔස්සේ ජීඑස්පී ප්ලස් සහනය මගින් ශ්‍රී ලාංකේය ජනතාවට ප්‍රතිලාභ රැසක් හිමිකර ගත හැකි බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන් හමුවේ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

 “බ්‍රසල්ස් සංචාරයේ දී මම යුරෝපා සංගමයේ ප්‍රධාන නායකයින් තිදෙනාත්, ඇතැම් ඇමැතිවරුන් සහ පක්‍ෂ කණ්ඩායම් මුණගැසී සාකච්ඡා පැවැත්වුවා. ඉදිරියේ දී සෙසු පක්‍ෂ සහ කණ්ඩායම් හමුවීමට නියමිතයි. ශ්‍රී ලංකාවට අහිමි වී තිබෙන ජීඑස්පී ප්ලස් තීරුබදු සහනය නැවත ලබා ගැනීම සඳහා ඉල්ලීම් කිරීමට යුරෝපීය සංගමයේ ආයතන 3ක් හමුවිය යුතුව තිබෙනවා.

පළමුවෙන්ම යුරෝපා කොමිසම හෙවත් යුරෝපා විධායක සභාව, කැබිනට් මණ්ඩලය අපගේ ඉල්ලීමට එකඟ විය යුතුව තිබෙනවා. යුරෝපා සංගමය නියෝජනය කරන සෑම රටකින්ම එක් පුද්ගලයෙකු එහි අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරනවා. යොන් ක්ලොඩ් යොන්කර් (Jean Calude Junker) මහතා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරනවා. අප යුරෝපා කොමිසම සමග සාකච්ඡා කොට ප්‍රශ්න ගණනාවක් විසදා ගැනීමට සමත් වුණා. නමුත් තවත් කාරණා දෙක තුනක් පිළිබඳව සාකච්ඡා කොට විසඳුම් ලබාගත යුතුව තිබෙනවා.

අප දෙවැනුව සාකච්ඡා කළේ යුරෝපා සභාව සමගයි. යුරෝපා සභාව යනු රටක් නොව සංගමයක් බව කිව යුතුයි. එම නිසා මූලික තීරණ ගනු ලබන්නේ යුරෝපා සභාවෙනුයි. යුරෝපා සභාවට අයත්, යුරෝපා සංගමයේ සාමාජික සෑම රටකම ආණ්ඩුවේ ප්‍රධානියා, විධායක සභාවේ සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ සභාපතිවරයා, යුරෝපීය කවුන්සලයේ සභාපතිවරයා ඊට අයත් වනවා.

යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් මහතා සමග ද මා සාකච්ඡා කළා. ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය ලබා දීම සම්බන්ධයෙන් සැලකීම යොමු කරන බවත්, එම ඉල්ලීමට සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවත්, තවත් කරුණු කාරණා කිහිපයක් සම්පූර්ණ කර ගත් පසුව සහයෝගය ලබාදෙන බවත් ඩොනල්ඩ් ටස්ක් මහතා සමග පැවැති සාකච්ඡාවේ දී සඳහන් කළා.

මෙම සාකච්ඡා සිදු කරන අතරතුර ජීඑස්පී ප්ලස් සහනය ලබාගැනීම සඳහා යුරෝපා සංගමයේ ප්‍රධාන රටවල් සමග ද වෙනම කතා කළ යුතුව තිබෙනවා. එම නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, මමත්, විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාත් එම ප්‍රධාන රටවලට ගොස් හෝ දුරකථන මගින් අදාළ කරුණ පිළිබඳව සාකච්ඡා කරනවා.

අපගේ ඉල්ලීම යුරෝපා කොමිෂන් සභාවෙන් අනුමත කළ විට අනෙකුත් සභාවල ද අනුමැතිය ලැබෙනවා. ඉන් අනතුරුව එම ඉල්ලීම යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 751දෙනෙකු සිටින අතර නොයෙක් කණ්ඩායම්වලට අයත් පිරිස් ඒ අතර සිටිනවා. අප එම කණ්ඩායම් ද මුණ ගැසෙනවා. යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රධානම කණ්ඩායම් දෙකක් වන යුරෝපීය ජනතා පක්‍ෂය සහ කන්සර්වේටිව් ඇන්ඩ් රිෆෝමිස්ට් යන පක්‍ෂ දෙකම ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ සාමාජිකත්වය දරනවා. එක්සත් ජාතික පක්‍ෂය ද ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ සාමාජිකයෙකු බව කිව යුතුයි. අප ඒ අය සමග වෙනම කතා කරනවා. ලබන ජනවාරියේ දී ඔවුන් මුණගැසුණු විට නැවත සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පක්‍ෂ සමග ද මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඇතැම් විට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියටත් එම සාකච්ඡා සඳහා සහභාගි විය හැකියි. එමෙන්ම ලිබරල් පක්‍ෂය සමග ද සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම සියලූම කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට අප ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් යොමු කර තිබෙනවා. මේ වන විටත් එම වැඩ කටයුතු බොහෝ දුරට සිදු වී තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පිහිටු වූ යහපාලන රජය පිළිබඳව යුරෝපා සංගමය තුළ ඉතා පැහැදීමක් තිබෙනවා. අප රටේ ජනතාවට ආධාර සහ එහි ප්‍රතිලාභ ලබාදීමට යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සූදානමින් සිටිනවා. නමුත් එම ක්‍රමවේදයට යම් යම් නීතිරීති තිබෙනවා. එම නීති අනුව සියලූ දේ සපුරා ගැනීමේ වගකීම අප සතුයි. ශ්‍රී ලංකාව දැන් ප්‍රජාතන්ත්‍රවාදී රටක්. එහි යහපාලනය ස්ථාපිත වී තිබෙනවා. එමෙන්ම සියලූම ශ්‍රී ලාංකියන්ට මේ තුළින් ප්‍රතිලාභ හිමි වෙනවා.

ලබන වසරේ දී ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ලබාගැනීම පිළිබඳව මට කිසිඳු සැකයක් නැහැ. ඒ පිළිබඳව මා ශ්‍රී ලංකාවේ දී සම්පූර්ණ වාර්තාවක් ලබා දෙනවා.”

බ්‍රසල්ස් නුවර සියළු සාකච්ඡා අවසාන වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත තවත් කරුනු ලබා දීමට තමන් ක්‍රියා කරන බවද වික්‍රමසිංහ මහතා පැවසීය.

Share on Google Plus

0 comments:

Post a Comment