ජනපතිගෙන් තවත් ආන්දෝලනාත්මක කතාවක්.


අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විවිධ චෝදනා පරීක්‌ෂා කිරීම සඳහා හිටපු ආරක්‌ෂක ලේකම්, නාවික හමුදාපතිවරුන් උසාවියට කැඳවීම පිළිබඳව තම අප්‍රසාදය පළ කරන බවත්, අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය හා අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යන ආයතන දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කරන්නේ නම් එම ආයතනවලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් සඳහන් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය 12 වෙනිදා පවත්වන ලද කතාව, හිටි හැටියේම දේශපාලන පිටිය ගිනි කන්දක්‌ බවට පත් කළේය.

තවමත් එම ප්‍රකාශයේ උණුසුම නිවී ගොස්‌ නැත.

තවමත් රට තුළ උණුසුමක්‌ ඇති කර තිබෙන “12 වෙනිදා, පදනම් ආයතනයේදී කළ කතාව” ආශ්‍රය කර ගනිමින් ඔහු සමග 'දිවයින ඉරිදා සංග්‍රහය' කරන ලද සාකච්ඡාවයි මේ.

ඒ හඬ නැගුවේ මගේ හෘද සාක්‍ෂිය :

ප්‍රශ්නය – ආණ්‌ඩුවට තවම වසර දෙකකුත් ගතවෙලා නැහැ. ඒත් ඔබ තරමක ආවේගයෙන් පසුවෙන බවක්‌ පසුගියදා දකින්නට ලැබුණා. ඔබට සහයෝගය ලබාදුන් පිරිස්‌ පවා දෝෂාරෝපණය කරන කතාවක්‌ හදිස්‌සියේම ඔබ විසින් සිදු කරනවා. මේ කතාව සඳහා පසුබිම නිර්මාණය වන්නේ කොහොමද…?

පිළිතුර – ඒ කතාව මම හදිස්‌සියේ හෝ ආවේගශීලීව කරපු කතාවක්‌ නෙමෙයි. ඔය මගේ කතාව නෙමෙයි, ඒ අවදිවුණේ මගේ හෘද සාක්‌ෂිය. ඒ හ`ඩ නැගුවේ මගේ හෘද සාක්‌ෂිය.

පසුගිය මාස ගණනාව තුළම ඔය කියපු කරුණු, ආණ්‌ඩුවේ ප්‍රධානීන් සමග, ඔය ආයතන ප්‍රධානීන් සමග මම සාකච්ඡා කරලා තියෙනවා. රජයේ ප්‍රධානියා විදිහට, රජයේ අරමුණු ඉටුකර ගැනීමට යහපාලන සංකල්පය තුළ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව, ඒ අයව මම බොහෝම පැහැදිලිව දැනුවත් කරලා තියෙනවා.

මේ සිදුවීම් තුළ යහපාලන සංකල්පය කඩාගෙන වැටෙනවා. එක්‌ කොටසකට හොරකම් කළා කියලා, දඬුවම් දීමට නෛතික ක්‍රියා මාර්ග ගනිමින්, තවත් කොටසකට හොරකම් කරන්න දෙන්න පුළුවන් කමක්‌ නැහැ. මේ ඇතිකර තිබෙන නීතිමය ආයතන ගත් විට, ඒවායේ ස්‌වාධීනත්වය මම ඉතා පැහැදිලිව අවධාරණය කරනවා.

මගේ කතාව තුළ මම අවධාරණයට ලක්‌ කරන්නේ, එම ආයතන ස්‌වාධීනව සහ අපක්‌ෂපාතීව ක්‍රියා කිරීමේ වැදගත්කම.

අපේ ආණ්‌ඩුවට ප්‍රධාන අරමුණු කිහිපයක්‌ තිබෙනවා. ජාතික සංහිඳියාව ශක්‌තිමත් කිරීමට ප්‍රමුඛත්වය දෙමින් සංවර්ධනය වඩා කාර්යක්‌ෂම සහ වේගවත් වන වැඩපිළිවෙළක්‌ සඳහා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ඇති කරගැනීම.

මේ නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව මේ වන විට සකසමින් පවතිනවා. එය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක්‌ අවශ්‍ය වෙනවා. ඒ බලය ලබාගැනීම මමත් අගමැතිතුමත් සතු දෙයක්‌. ඒ ඉලක්‌කය ඇතිකර ගැනීමට යම් යම් බාධාවන් ඇතිවෙනවා නම් ඒක අපේ ආණ්‌ඩුවේ වැඩ පිළිවෙළට ප්‍රශ්නයක්‌.

මේ නිසා මම හැමවිටම උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක්‌ තබාගෙන ආණ්‌ඩුවක්‌ ගෙනියන්නේ කොහොමද කියන එක ගැනයි.

විධායක ජනාධිපතිවරයාට මොන තරම් බලතල තිබුණත් පාර්ලිමේන්තුවේ බලය නැතිනම් ඒ ආණ්‌ඩුවේ අරමුණු ඉෂ්ට කර ගන්න ඉඩක්‌ ලැබෙන්නේ නැහැ. මහජනතාව වෙනුවෙන් රජයේ යහපැවැත්ම සඳහා මමත් අගමැතිවරයාත් මේ තුනෙන් දෙකේ බලය රඳවා ගත යුතුවෙනවා. ඊට බාධා ඇති වෙනවා නම් අපේ ප්‍රධාන අරමුණ බිඳෙනවා.

කැබිනට්‌ මණ්‌ඩලයටම නඩු දාන්න ඕනේ :

ප්‍රශ්නය – ඔබ විසින් අවධාරණය කරන්නේ යහපාලන ක්‍රමවේදය තුළ මූලික කාර්යයක්‌ බවට පත්වී තිබෙන පරීක්‌ෂණ කටයුතු යෑයි සඳහන් වෙන ක්‍රියා මාර්ග නවතා දමා තුනෙන් දෙක ඉදිරියට ගෙන ආයුතු බවද…?

පිළිතුර – මම කොහොමටත්ම එවැනි දෙයක්‌ අදහස්‌ කරන්නේ නැහැ. නමුත් මෙතැන තිබෙන ප්‍රශ්නය වන්නේ, කළ යුතු දේට වඩා නොකළ යුතු, නුසුදුසු දේ සිදුවීම යන කාරණයයි.

උදාහරණයක්‌ ලෙස පවුසි ඇමතිතුමාට නඩුවක්‌ පැවරීම සම්බන්ධ කාරණය ගන්න පුළුවන්. හිටපු අමාත්‍යාංශයේ සිට අනිත් අමාත්‍යාංශයට යන විට වාහනයක්‌ අරන් ගියා කියන එක තමයි, පවුසි ඇමතිතුමාට තිබෙන චෝදනාව.

ඇමතිවරයෙක්‌ හිටපු අමාත්‍යාංශයක සිට නව අමාත්‍යාංශයට යන විට වාහනය රැගෙන යැම සඳහා රාජපක්‌ෂ ආණ්‌ඩුව විසින් නිකුත් කරන ලද චක්‍ර ලේඛයකින් පැහැදිලිවම අවසර ලබා දී තිබෙනවා. ඒ කියන්නේ ඒක නෛතික තත්ත්වයක්‌.

අනිත් එක තමයි, ඒ චෝදනාව යටතේ පවුසි ඇමතිතුමාට නඩු පවරනවා නම් අද ඉන්න මේ මුළු කැබිනට්‌ මණ්‌ඩලයටම ඒ නඩුව දාන්න ඕනේ. මම ජනාධිපති වෙලා, 2015 ජනවාරි වල පත් කරපු ඇමැති මණ්‌ඩලය, 2015 අගෝස්‌තු මාසයේ පවත්වපු මහ මැතිවරණයෙන් වෙනස්‌ වුණා. ඒ වෙනස්‌ වෙන විට, කලින් අමාත්‍යාංශවල හිටපු අය අලුත් අමාත්‍යාංශයට යන කොට තමන් කලින් පාවිච්චි කරපු වාහනය අරගෙන ගියා. ඉතිං එහෙමනම් මේ නඩුව ඔය ඔක්‌කොටම දාන්න ඕනේ.

ඔය ආයතනවල ස්‌වාධීනත්වය, ඒවායේ නීතිමය තත්ත්වය එසේමයි. ඒවාට අපෙන් කිසිම අභියෝගයක්‌ නැහැ. ඒ සැම විටම මේවා ශක්‌තිමත් වෙන්න ඕනේ. පවුසි ඇමැතිතුමා මගේ ඇමැතිවරයෙක්‌. මම ජාතික ඒකාබද්ධතා ඇමති. එතුමා මගේ රාජ්‍ය ඇමැති. උසාවියෙන් පවුසි ඇමැතිතුමාට කැඳවීමක්‌ කරනකන් මම ඒ ගැන දැනුවත් වීමක්‌ වෙලා නැහැ.

මෙහෙම වුණහම ආණ්‌ඩුවක ඇතිවෙන අභ්‍යන්තර ගැටලුකාරී ස්‌වභාවය ගැන හැම කෙනෙක්‌ම හිතන්න ඕනේ.

තමන්ට වගකීම් සහ බලතල එසේම තිබෙන අතරේ, ව්‍යවස්‌ථාදායකය, විධායකය සහ අධිකරණය අතර තිබිය යුතු සමතුලිත ස්‌වභාවයට මෙතැනදී මොකද වෙන්නේ… මම කියන්නේ, අධිකරණය මේ එකකට හෝ යට කරනවා කියන එක නෙමෙයි.

අධිකරණයේ ඒ ස්‌වාධීනභාවය එසේම තිබිය යුතුයි. ඒ ගැන කිසිදු ගැටලුවක්‌ නැහැ. පාර්ලිමේන්තුවේ ජනතා පරමාධිපත්‍යය එයත් එසේම විය යුතුයි. විධායකය ලෙස ජනාධිපති, අගමැති සහ කැබිනට්‌ මණ්‌ඩලය ව්‍යවස්‌ථාදායකයට සහ අධිකරණයට ඒ කටයුතු නිදහසේ කරගෙන යන්න ඉඩ දිය යුතුයි.

විධායකයට රාජ්‍ය ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැගීමේදී විධායකයට අවශ්‍ය ප්‍රතිපත්තිමය සහයෝගය ලබාදීම සඳහා ව්‍යවස්‌ථාදායකයේ සහ අධිකරණයේ යුතුකමක්‌ තිබෙනවා. බලපෑම් කිරීම, යටවීම, දූෂණ වංචාවලට ඉඩදීම කියන එක නෙමෙයි, ඒකෙන් අදහස්‌ කරන්නේ…

රජයක පැවැත්ම සඳහා ඒක අත්‍යවශ්‍ය කාරණයක්‌. ඇමැතිවරයෙකු උසාවි ගෙන ගිය බව මම දන්නේ, උසාවියෙන් ලැබෙන පුවත් මගින් නම් මේ සමතුලිත යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවාද…?

මේ රටේ මීට කලින් එහෙම දේවල් වෙලා නැහැ. එවැනි තත්ත්වයක්‌ තුළ ආණ්‌ඩුවේ අභ්‍යන්තර ගැටලු මතුවෙනවා. එතකොට ආණ්‌ඩුවක්‌ ගෙන යැමේ ප්‍රශ්න මතුවෙනවා. එවැනි අර්බුදයක්‌ ඇති නොවන ලෙස මේවා ක්‍රියාත්මක වෙන්න ඕනේ… නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ… එකේ කිසිම ප්‍රශ්නයක්‌ නැහැ.

කෝටි 500 ක පොටෝ එකක්‌ :

ප්‍රශ්නය – ඔබේ කතාවේදී වඩාත් මතු වූයේ පවුසි ඇමැතිවරයා ගැන නොවෙයි. හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙක්‌ නීතිය ඉදිරියට කැඳවීම කියන කාරණයයි…

පිළිතුර – මම බලයට එනකොට හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන්, මම බලයට පත්වෙලා මාස කිහිපයකින් එෆ්. සී.අයි.ඩී. එක විසින් කැඳවලා තිබ්බා. මම ඒක දැක්‌කේ සවස රූපවාහිනී ප්‍රවෘත්ති වලින්. තිබ්බ චෝදනාව තමයි, මම බලයට පත් වෙච්ච ඡන්දයේදී, ඒ අය දේශපාලනය කළා කියලා.

මම ඒ නිලධාරීන්ට කතා කරලා කිව්වා, මමයි අපේක්‌ෂකයා… ඒ නිසා පැමිණිල්ල කරන්න ඕනේ මම, නැත්නම් මම දැනුවත්ව. හමුදාපතිවරුන්ට විරුද්ධව මෙහෙම පැමිණිල්ලක්‌ කළා කියලා අපේක්‌ෂකයා විදිහට හෝ ජනාධිපති විදිහට මම දන්නේ නැහැ. ඒ අයට විරුද්ධව එහෙම කටයුතු කිරීමේ අවශ්‍යතාවයක්‌ මට තිබ්බේ නැහැ.

හමුදාපතිවරු යම් නීතිමය ආයතනයකට කැඳවනවා නම්, ඒ ගැන මාව, ජනාධිපතිවරයා විදිහට දැනුවත් කරන්න කියලා, එතැනදී මම කිව්වා. ඒ අය දූෂණ, වංචා, අක්‍රමිකතා සිද්ධ කරලා තියෙනවා නම්, නීතියට විරුද්ධව කටයුතු කරලා තියෙනවා නම් ඔහුට විරුද්ධව දඬුවම් පැමිණිය යුතුයි, ඒකේ ප්‍රශ්නයක්‌ නැහැ.

එවැනි කාරණා මොනවාද කියලා, ආරක්‌ෂක ඇමැති හා ජනාධිපති විදිහට යම් දැනුවත් භාවයක්‌ තිබෙන විට, මටත් පුළුවන්, ඒ සඳහා අවශ්‍ය පසුබිම, පරිසරය හදාගන්නේ කොහොමද කියලා දැනුවත්භාවයක ඉන්න.

මම දන්නේ නැතුව නාවික හමුදාපතිවරු තුන්දෙනා උසාවී ගෙනියන කොට, හමුදාපතිවරු විදිහට ඒ ගොල්ලෝ පැළඳගෙන හිටපු පදක්‌කම් එක්‌ක කුඩුවට දාලා, ඡායාරූප ගත්තා. මේ ඡායාරූප ලෝකේ හැමතැනම ගියා. ඒ අය එළියට ඇවිල්ලා කිව්වේ “කෝටි 500 ක්‌ දීලාවත් ගහගන්න බැරි වෙච්ච පොටෝ එකක්‌ තමයි අපිට මේ ගහලා දුන්නේ …” කියලා.

මේ යුද්දේ කරපු අය. මේවගේ දෙයක්‌ කරන කොට එහි යුක්‌තිසහගත සහ සාධාරණ ස්‌වභාවය අපි බලන්න ඕනේ.

සැබෑ ලෙසම වැරැද්දක්‌ කළා නම්, ඒ පිළිබඳව කටයුතු කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙළ කුමක්‌ද කියන එකත් අපි බලන්න ඕනේ. හමුදාපතිවරු අත්අඩංගුවට ගත්තාම, හමුදා අභ්‍යන්තරයේ නොසන්සුන්තා ඇතිවෙනවා. මේ ටික බොහෝ අයට තේරෙන්නේ නැහැ. මේ වැඩේ කරන මිනිහට තමයි මේක තේරෙන්නේ.

ඕනෑම වැරදිකාරයෙකුට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමේ වැරද්දක්‌ නැහැ. නමුත් රට තුළ තිබෙන අභ්‍යන්තර දේශපාලන තත්ත්වයන්, ජාතික ආරක්‌ෂාව, රජයේ පැවැත්ම, රජය බලාපොරොත්තු වෙන, අරමුණු සහ ප්‍රතිපත්ති ඉටුකර ගැනීමට බාධාවන් ඇති නොවීම යන කාරණා ගැන පිළිබඳව සැම තැනින්ම යම් ප්‍රතිපත්තිමය එකඟතා ඇතිකරගන්න ඕනේ වැඩ කරන කොට.

එහෙම නැත්නම් අවුල් සහගත තත්ත්වයන් ඇතිවෙනවා. අනික්‌ එක ඒ වැඩ කරපු අය තුළ තිබුණු දුර්වලතා සහ අඩුපාඩු මොනවාද කියන එක මම දන්නවා.

එජාපයට ආසන 47 ක්‌ තියෙද්දී රනිල් අගමැති කළා:

ප්‍රශ්නය – ඔබ කරන පැහැදිලි කිරීමෙන් පෙනී යන්නේ ස්‌වාධින කොමිෂන් සභා ආදියේ ස්‌වාධීනත්වය තව දුරටත් වලංගු නැහැ කියන කාරණයද…? රාජ්‍යයේ ප්‍රතිපත්ති ඉටුකර ගැනීම කියන කාරණයට යටත්වී ඒවා සිය ස්‌වාධිනත්වය තබා ගත යුතුයි කියන කාරණයද…?

පිළිතුර – මෙතැනදී මේ කොමිෂන් සභාවල බලය ගැන හෝ ස්‌වාධිනත්වය ගැන මම කිසිම අවතක්‌සේරුවක්‌ කරලා නැහැ. ඔය කොමිෂන් සභා හදන්න මුල්වුණේ මමයි. ඔය සංශෝධනය සම්මත කර ගත්තේ මම. මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වලට ගිහිල්ලා, බීම ඉදගෙන, තේ බිලා, කරට අත දාගෙන, මේ වැඩේ කරගත්තේ මම.

එජාපයට පාර්ලිමේන්තුවේ ආසන 47 ක්‌ තිබියදී, රනිල් වික්‍රමසිංහ මහත්තයාව මම අගමැති කළා. ඒ වෙලාවේ එජනිසයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක්‌ තිබ්බා. විපක්‌ෂයට තුනෙන් දෙකක බලයක්‌ තියෙද්දී ආණ්‌ඩුවක්‌ විසින් ඒ තුනෙන් දෙකේ බලය පාර්ලිමේන්තුවේ පාවිච්චි කරලා, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සංශෝධනයක්‌ කරන එක, ලෝකයේ කිසිම රටක මෙවැනි සිදුවීමක්‌ වෙලා නැහැ.

දහනම වෙනි සංශෝධනය සම්මත කර ගන්න මම කරපු දේවල් මමයි දන්නේ. මම ඕවාට විරුද්ධ නම්, මම පස්‌ස ගැහිව්ව නම්, මේ දේවල් කෙරෙන්නේ නැහැ. කොමිෂන් සභා ඇති කිරීම කියන පොරොන්දුව මැතිවරණයේදී මම දුන්නා වගේම, ඒ පොරොන්දුව මම ඉෂ්ට කරලා තියෙනවා. ඒ කාර්යය ඉදිරියට යන්න ඕනේ… අපක්‌ෂපාතිත්වය රැකෙන්න ඕනේ. ඒ සෑම ආයතනයකම කොමසාරිස්‌වරු බොහෝම අවංකව කටයුතු කරනවා. ඒ ගැන මගේ කිසිම ප්‍රශ්නයක්‌ නැහැ.

මොන්ටිසෝරි වැඩ :

ප්‍රශ්නය – ජනාධිපතිවරණයේදී ඔබට සහයෝගය දුන්න විශාල පිරිසක්‌ මෙම කතාව ගැන අප්‍රසාදයෙන් යුක්‌තව පිළිතුරු දෙන ආකාරය අපි දැක්‌කා. ඔබ විස්‌තර කරන පරිදි “12 වෙනිදා, පදනම් ආයතනයේදී කළ කතාව” යහපාලන ආණ්‌ඩුව ශක්‌තිමත් කරන්නක්‌ නම් ඔවුන් මේ තරම් ඒ ගැන කලබල වෙන්නේ ඇයි…?

පිළිතුර – මගේ කතාව විනාඩි 45 ක කතාවක්‌. මගේ කතාව ගැන විවේචනය කරන කිසිම කෙනෙක්‌ මේක සම්පූර්ණයෙන්ම අහලා හෝ කියවලා නැහැ කියන ඒකයි මම විශ්වාශ කරන්නේ…. මාධ්‍ය මගින් පළවෙන්නේ හෝ ප්‍රචාරය වූයේ කතාවේ කොටස්‌ විතරයි.

මුළු කතාව කියවන්නේ නැතිව පුංචි ළමයි වගේ සමහරු කලබලවීම ගැන මම පුදුම වුණා. සිවිල් සංවිධාන, ආචාර්ය මහාචාර්යවරු මේ ගැන ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා පිළිතුරු දෙනවා මම දැක්‌කා.

ඇත්තටම ඒ අය මාව බලයට පත්කරන්න වැඩ කරපු අය විදිහට, මගේ කතාව අහලා මොන්ටිසෝරි වැඩ කරන එක නෙමෙයි, ඔවුන්ට කරන්න තිබ්බේ. බුද්ධිමත්, පරිණත අය විදිහට මාව හම්බුවෙලා හෝ කෝල් එකක්‌ දාලා ඔවුන්ට මගෙන් මේ ගැන අහන්න තිබබා. අපිට මේ ගැන ප්‍රශ්න තියෙනවා…” කියලා මේ ගැන මගෙන් ඇහැව්වා නම්, මේක අපිට බේරගන්න තිබුණා.

මගේ මුළු කතාව කියවන්නේ නැතුව දුවලා ගිහිල්ලා, පුංචි ළමයි කරනවා වගේ, මට විරුද්ධව මාධ්‍ය සාකච්ඡා තිබ්බා.

මාව විවේචනය කරන අය එක්‌කෝ මේ කතාව සම්පූර්ණයෙන්ම කියවලා නැහැ. නැත්නම් අනවබෝධය. මේ කතාව හොඳ වුණත් නරක්‌ වුණත් මට විරුද්ධව කුමන හෝ ප්‍රහාරයක්‌, ඔහේ වනලා ගැසීමේ වුවමනාවත් සමහරුන්ට තිබ්බා.

මම මේ කිසිදේකින් පසුබසින කෙනෙක්‌ නෙමෙයි. යහපාලන සංකල්පය සහ ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිත් එක්‌ක ආණ්‌ඩුව ඉදිරියට ගෙන යැම සඳහා මම පදනමක්‌ දැම්මා. මෙතැනින් ඉදිරියට මේ අඩුපාඩු, වැරදි සිදු නොවීය යුතුයි.

'සයිඩ් ඊෆෙක්ට්ස්' බලන්නේ නැහැ :

ප්‍රශ්නය – ඔබගේ කතාවේ මුලික අරමුණ වුණේ, හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඪාභය රාජපක්‌ෂ මහතා බේරා ගැනීම කියන චෝදනාව ඔබට හිතවත්ව සිටි සමහර පාර්ශව විසින් එල්ල කළා. එයත් ඔබගේ හෘද සාක්‌ෂිය අවදිවීමේ එක්‌ අරමුණක්‌ ද…?

පිළිතුර – මගේ මේ කතාවේ ගෝඪාභය රාජපක්‌ෂ මහතා ගැන සඳහනක්‌ නැහැ. මම එතුමාගේ නම කිව්වෙත් නැහැ. මම කිව්වේ ආරක්‌ෂක ලේකම් සමග නාවික හමුදාපතිවරු තුන්දෙනෙක්‌ උසාවියට දක්‌කාගෙන ගියා. නාවික හමුදාපතිවරු මේ විදිහට දක්‌කාගෙන යැම පිළිබඳව මම අප්‍රසාදය පළකරනවා කියලා.

ගෝඪාභය මහත්තයා ගැන මම එතැනදී සඳහන් කරලා නැහැ. අපි කරුණු විකෘති කරගන්නේ නැතුව, මේ ගැන කටයුතු කරන්න ඕනේ.

ඇවන්ගාර්ඩ් සමාගම සහ ආරක්‌ෂක අමාත්‍යාංශය අතර තමයි, මේ ගිවිසුම අත්සන් කරලා තිබුණේ. පරීක්‌ෂණයේ ප්‍රමුඛත්වය එන්න තිබුණේ ඇවන්ගාර්ඩ් සමාගම සහ ආරක්‌ෂක අමාත්‍යාංශය වෙත.

මෙහිදී නාවික හමුදාපතිවරු සම්බන්ධව ප්‍රශ්න කිරීමක්‌ කෙරෙනවා නම් ඒ සඳහා රට තුළ යම් පසුබිමක්‌, ඊට පෙර හදන්න ඕනේ.

මේ රට යුද්ධයක්‌ කරපු රටක්‌ විදිහට, යුද්ධය කරපු අය සම්බන්ධයෙන් ජනතාව තුළ තිබෙන ප්‍රසාදයත් එක්‌ක, යුද්ධය කරපු ප්‍රධානීන්ව අත්අඩංගුවට ගැනීම සාධාරණී කරණය කරලා, ජනතාවට යම් හේතුවක්‌ පෙන්වන්න ඕනේ, මෙන්න මේ සාධාරණ හේතු උඩයි, මේ අය අත්අඩංගුවට ගන්නේ කියලා.

එහෙම නොකර අත්අඩංගුවට ගත්තහම, ජනතාවගේ නොසන්සුන්තාවයක්‌ ඇතිවෙනවා, ඇයි මේ අය අත්අඩංගුවට ගත්තේ කියලා. අපි මහජනතාවට ඇත්ත කියන්න ඕනේ. මේවා කලින් කිය කිය කරන්න බැහැ කියලා, මෙතැනදි කෙනෙක්‌ කියන්න පුළුවන්. රට තුළ තිබෙන තත්ත්වයන් අපි හැම කෙනෙක්‌ම තේරුම් ගන්න ඕනේ. ආරක්‌ෂක හමුදාවල කළමනාකරණය, ජාතික ආරක්‌ෂාව තහවුරු කර ගැනීමේදී, ආණ්‌ඩුවක්‌ විදිහට ආරක්‌ෂක හමුදා කොහොමද කළමනාකරණය කර ගන්නේ…?

මේවා හිතන්නේ බලන්නේ නැතුව, එක පාරට අකුණක්‌ පිපිරුවා වගේ කටයුතු කරන්න ගියහම, ඒකෙන් ඇතිවෙන අනිසි ප්‍රතිපල බරපතලයි. සමහර බෙහෙත් ගන්න කොට, දොස්‌තර මහත්තයා එක පාරට බෙහෙත් මාරු කරනවා. “ඕකේ 'සයිඩ් ඊෆෙක්ට්ස්' තියෙනවා…” කියලා.

ඒවගේ තමයි මේ. සමහර තීන්දුවලින් එන අතුරු ප්‍රශ්න මොනවද, ගැටලු මොනවද, කියලා බලන්න ඕනේ. ඒවා අපි කොහොමද ඉවත් කරගන්නේ, අවම කරගන්නේ කියලා, බලන්න ඕනේ. තමාගේ දැනුම බුද්ධිය පරිනතභාවය එක්‌ක තමයි, මේ තැන්වලදී කටයුතු කළ යුත්තේ.

මගේ කතාව, මට වෙච්ච වැරදීමක්‌ කියලා සමහර අය කිව්වට, මට නම් වැරදුනේ නැහැ. මගේ කතාව හරියටම හරි. නමුත් මගේ කතාව සමහර අයට අගුණ වෙන්න පුළුවන්. ඒ අගුණ අයට මේ කසාය ප්‍රත්‍ය නැති වෙන්න පුළුවන්. හැබැයි මම නියම කසායක්‌ දීලා තියෙනවා. මේක තිත්ත බව මම දන්නවා. තිත්ත කසාය තමයි. නියම කසාය. තිත්ත කසාය දීලා හරි, ලෙඩා සනීප කරගන්නයි, මට ඕනේ…

ප්‍රශ්නය – ජනාධිපතිතුමනි… එක ලෙඩක්‌ නම් සනීපයි නේද…? අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‌ෂක ජනරාල්වරිය ඉල්ලා අස්‌වුණා. සීඅයිඩියට සහ එෆ්.සී.අයි.ඩි.යටත් ඔබ විසින් චෝදනා එල්ල කළා. ඉදිරියේදී ඒ ස්‌ථානවලත් වෙනස්‌ කම් සිදු වෙයිද…?

පිළිතුරු – ඒ ආයතනත් නිවැරදි විය යුතුයි කියලා මම විශ්වාස කරනවා.

එයා කළෙත් බොළඳ වැඩක්‌ :

ප්‍රශ්නය – අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‌ෂක ජනරාල්වරියගේ ඉල්ලා අස්‌වීම, ඔබ විසින් බලාපොරොත්තු වූ බවක්‌ එයින් පෙනී යනවා.

පිළිතුර – නැහැ… නැහැ… මම බලාපොරොත්තු වුණේ නැහැ… එයා කළෙත් අර දුවගෙන ගිහින් ප්‍රවෘත්ති සාකච්ඡා තියෙනවා වගේ, බොළඳ වැඩක්‌නේ. එයාගේ උගත්කමත් එක්‌ක, එයා කල්පනා කරන්න ඕනේ, ඒ පත්වීම කළේ, ව්‍යවස්‌ථාදායක සභාවෙන් නෙමෙයි. එයාගේ පත්වීම, ජනාධිපතිගේ පත්වීමක්‌. ස්‌වාධින කොමිෂන් සභාවල කොමසාරිස්‌වරු ව්‍යවස්‌ථාදායක සභාවෙන් පත් කළේ. කොමිෂන් සභාවල ලේකම් හෝ අධ්‍යක්‌ෂක ජනරාල් ජනාධිපති විසින් පත් කරන්නේ.

ජනාධිපති පත් කරපු කෙනෙක්‌ විදිහට, මොන්ටිසෝරි ළමයෙක්‌ විදිහට හැසිරෙන්නේ නැතුව එයා කටයුතු කරන්න තිබබා. මම රටේ නැති වෙලාවක, එයා මේ අස්‌වීම් යවන්නේ නැතුව, මම රටට ආයෙත් ආවහම, මාත් එක්‌ක මේ ගැන කතා කරන්න. ඒක මගේ පත්වීමක්‌. මම රටේ නැති වෙලාවේ එයා ඉල්ලා අස්‌වීම ජනාධිපති ලේකම් කාර්යාලයට දුන්නා. “මම ඉල්ලා අස්‌වුණා” කියලා මාධ්‍යවලටත් එයා කිව්වා. මම කලබල වුණේ නැහැ, අනිත් ඔක්‌කොම කලබල වුණා, කියලා තමයි මම හිතන්නේ…

දෝෂාරෝපණයේ ඉලක්‌කය ?

ප්‍රශ්නය – ජනාධිපතිතුමනි, ඔබේ මේ දෝෂාරෝපණයේ ඉලක්‌කය කවුද…? මම මේ දේවල් දැනගන්නේ මාධ්‍යයෙන් කියලා, ඔබම ප්‍රකාශ කරනවා. එහෙනම් මේ දේවල් පසුපස ඉන්නේ කවුද…?

පිළිතුර – ආණ්‌ඩුවක්‌ පවත්වාගෙන යනකොට මෙහෙම දේවල් ඇතිවෙනවා. අපි ඒවා කළමනාකරණය කර ගත යුතුයි. මගේ කතාව සහ ක්‍රියා කලාපය තුළ අපි රජයක්‌ විදිහට ඇතිකරගෙන තිබෙන අරමුණු විනාශ කරගන්න සූදානම් නැහැ. ඒ තුළ අපි ඉවසීමෙන් සහ අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. නැතුව මටත් මොන්ටිසෝරි වැඩ කරන්න බැහැනේ…

සමුපකාර ඡන්ද වැඩක්‌ තියෙනවද…?

ප්‍රශ්නය – ශ්‍රීලනිපය සමුපකාර ඡන්දය පවා පරදින්න පටන් අරගෙන තිබෙනවා. ඒවායේ ජයග්‍රහණ අත්පත් කර ගන්නෙත් ඒකාබද්ධ විපක්‌ෂයේ පිරිස. පළාත් පාලන මැතිවරණයත් ඉදිරියේදී එන නිසා, ඒකාබද්ධ විපක්‌ෂයට යම් සුබදායි සංඥාවක්‌ ඔබ විසින්, මෙම කතාව තුළින් ලබා දුන්නා කියලා සමහරු පවසනවා.

පිළිතුර – ඔය කියන සමුපකාර ඡන්දයක්‌ ගැන මම දන්නෙත් නැහැ. අපි ඕවට තරග කරලත් නැහැ. ශ්‍රීලනිපය ඕවට තරග කරලා නැහැ. ඕවා ප්‍රාදේශීය වශයෙන් කෙරෙන දේවල්. ජනාධිපති කෙනෙකුට සමුපකාර ඡන්ද වැඩක්‌ තියෙනවද…? ඒක සමුපකාර සමිතියේ සාමාජිකයන්ගේ වැඩක්‌. ඕවට දේශපාලනඥයෝ ඇඟිලි ගහන්න ඕනෙද…?

දේශපාලන පක්‌ෂ විදිහට තරග කිරීම සමුපකාර ප්‍රතිපත්තියට එහෙන් පිටින්ම විරුද්ධයි. මම දිනුම්…මම පරාදයි කියලා කවුරු හරි ඒ ගැන කතා කරනවා නම්, එයා සමුපකාර ප්‍රතිපත්ති දන්නේ නැති කෙනෙක්‌. මට ඒවගේ අය ගැන තියෙන්නේ, අනුකම්පාවක්‌.

වාර්තාව වුණහම බලන්න !

ප්‍රශ්නය – වංචා දූෂණ ගැන කතා කරන විට මහ බැංකුවේ බැඳුම්කර සම්බන්ධයෙන් එල්ල වෙලා තිබෙන චෝදනාව තවම විභාග වීමක්‌ අපට දකින්නට ලැබෙන්නේ නැහැ. මහ බැංකුවේ අධිපතිවරයා ඉවත් කිරීම හැරුණු විට, චෝදනා විභාග කිරීමක්‌ හෝ වැරදි කරුවන්ට දඬුවම් කිරීමක්‌ තවම සිදුවී නැහැ…

පිළිතුර – ඔය ගැන සඳහන් වාර්තාව පිට වුණහම ඒ සඳහා අවශ්‍ය පියවර මම ගන්නවා. එතැනදී මම පක්‌ෂ බේදයක්‌ නැතිව ජනාධිපති විදිහට තීරණ ගන්නවා.

මහින්ද මහත්තයා තමයි මටත් ඉගැන්වුවේ :

ප්‍රශ්නය – ඔබ විසින් එජාපය ඈත් කර ශ්‍රීලනිප ආණ්‌ඩුවක්‌ සෑදීම සඳහා යන ගමනක පෙර මග ලකුණක්‌ ලෙස මේ කතාව සමහරු විග්‍රහ කරනවා… මේ ගැන එජාපයේ බහුතරයකගේ කලකිරීමකුත් තිබෙන බව පෙනෙනවා.

පිළිතුර – මහින්ද රාජපක්‌ෂ මහත්තයාගේ ආණ්‌ඩුව ආපු මුල් කාලයේදී කොයිතරම් ප්‍රශ්න ආවාද…? පළවෙනි අවුරුද්දේ දෙකේ, මංගල සමරවීර මහත්තයා ආණ්‌ඩුවෙන් ඉවත්වුණා.

පාර්ලිමේන්තුවේ බහුතරය නැති නිසා, එජාපය සමග ගිවිසුමක්‌ අත්සන් කළා. රනිල් වික්‍රමසිංහ මහත්තයයි මහින්ද රාජපක්‌ෂ මහත්තයයි එකතුවෙලා, මමයි මලික්‌ සමරවික්‍රම මහත්තයයි ශ්‍රීලනිප එජාප ගිවිසුම අත්සන් කළා.

යුඇන්පී – ශ්‍රී ලංකා ආණ්‌ඩුවක්‌ හැදීමේ පළවෙනි ගිවිසුම ඒක.

මහින්ද රාජපක්‌ෂ මහත්තයා තමයි මටත් ඉගැන්වුවේ එජාපයත් එක්‌ක ගිවිසුම් ගහලා ආණ්‌ඩු කරන හැටි.

ඊට පස්‌සේ එජාපයේ හිටපු ජෙෂ්ඨයෝ විසි ගණනක්‌ අරගෙන ඇමතිකම් දුන්නා. ඒ දෙන කොට ශ්‍රීලනිපයේ අයගේ ලොකු සිත් අමනාපකම් ඇතිවුණා. ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන්ගේ තිබ්බ හොඳම අමාත්‍යාංශ තමයි, එදා යූඇන්පී ලොක්‌කන්ට දුන්නේ. එහෙම තමයි.

ශ්‍රීලනිප අය ඇමතිකම් කරනකොට එජාපයේ සමහරු හිතනවා, මේක ශ්‍රීලනිප ආණ්‌ඩුවක්‌ කියලා. එහෙම තමයි. මෙතැනදී කලබල වෙන්න දෙයක්‌ නැහැ.

එජාපයේ අයගේ කනගාටුවක්‌ තියෙනවා කියලා මම දන්නවා. මට ඡන්දය දුන්න අය විදිහට ඒ අය සතුටුවෙන්න නම් මේ ආණ්‌ඩුව හරියට යන්න ඕනේ. එජාප පාක්‌ෂිකයා විතරක්‌ නෙමෙයි, මේ රටේ සියලු දෙනා යහපාලනය ගැන සතුටුවෙන්න ඕනේ. ඒකෙ ප්‍රතිලාභ ලබන්න ඕනේ.

මේක යල් පැනපු ආණ්‌ඩුවක්‌ නෙමෙයි. කල්පැනපු විකුණගන්න බැරි බඩුවක්‌ නෙමෙයි, මේක. මේ බඩුව ලෝකයේ හොඳට විකිණෙනවා. අලුත් ආණ්‌ඩුවක්‌, අලුත් වැඩපිළිවෙලක්‌ විදිහට මේක ලෝකය හොඳට පිළිගන්නවා. අපිට තිබුණ ප්‍රධාන බාධාව ඒකනේ…

ශ්‍රීලනිප ආණ්ඩුවක් ?

ප්‍රශ්නය – මහින්ද රාජපක්‌ෂ මහත්තයා එදා එජාපය සමඟ ගිවිසුම් අත්සන් කරලා, පසුව එජාපයේ අය තමන්ගේ පැත්තට අරගෙන සන්ධාන ආණ්‌ඩුව ශක්‌තිමත් කරගත්තා. ඒ පාඩමත් ඔබ විසින් ක්‍රියාවට නැගීමට සූදානම් ද…?

පිළිතුර – (සිනාසෙමින්…) එහෙම අවශ්‍යතාවයක්‌ ඇතිවෙන එකක්‌ නැහැ…. මම බලන්නේ පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකට එකතු කරගෙන ගමන යන්න.

හමුදා අංශවල නොසන්සුන්තාවයක්‌:

ප්‍රශ්නය – බුද්ධි අංශ සාමාජිකයන් සිරගත කිරීම පිළිබඳව ඔබ විසින් එදා සඳහනක්‌ කළා. මේ තත්ත්වය නිවැරදි කරගන්න ඔබගේ කතාවෙන් පසු ඉඩක්‌ ලැබුණද…?

පිළිතුර – මානව හිමිකම් කියන එක සියලුදෙනාට අයිති කියන එක තමයි, පළවෙනි දේ. මුලින්ම ඒ අය අත්අඩංගුවට ගැනීම සඳහා රඳවා ගැනීමේ නියෝග තමයි ගත්තේ. ඒ සඳහා අත්සන් කරන්න ඕනේ, අනුමැතිය දෙන්න ඕනේ ආරක්‌ෂක ඇමැති.

මම ඒ වෙලාවේ අවසර දුන්නේ, සතියක කාලයකට. අලුත් ආණ්‌ඩුවක්‌ විදිහට මේ මාධ්‍යවේදියෙක්‌ අතුරැදන් වූවාද කියන එක අපි පැහැදිලිව පරීක්‌ෂා කරන්න ඕනේ. ඒ ගැන ඔහුගේ භාර්යාව, ලෝක සමාජයේ අවධානය යොමුවෙලා තිබෙනවා. මාස තුනක කාලයක්‌ රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන හිටපු නිසා ඊට පස්‌සේ මම කිව්වා, මේ සඳහා මට අත්සන් කරන්න පුළුවන් කමක්‌ නැහැ කියලා.

ඒ ගැන හමුදා අංශවලත් යම් නොසන්සුන්තාවයක්‌ තිබුණා. සාමාන්‍ය නීතිය අනුව කටයුතු කරන්න කියලා මම කිව්වා. මේ අය රඳවාගෙන දැන් මාස 17 ක්‌ වෙනවා. පරීක්‌ෂණය අනුව නඩු පවරන්න තියෙනවා නම් ඒ අයට නඩු පවරන්න. ඒ වගේම නඩු පවරලා ඇප දෙන්න පුළුවන් නම් ඇප දෙන්න, කියලා මම කිව්වා. නඩු පවරන්න කරුණු නැතිනම් මේ අය නිදහස්‌ කරන්න කියලා මම කිව්වා. මේ සිද්ධිය පිළිබඳව සෙවීම අනිවාර්ය තත්ත්වයක්‌. ඒ ගැන කිසිම ප්‍රශ්නයක්‌ නැහැ.

නඩු පවරන්නේ නැතිව, මාස 17 ක කාලයක්‌ ඒ අය තියාගෙන ඉන්නවා නම්. ඒක මම දකින්නේ ඔවුන්ට වෙච්ච අසාධාරණයක්‌ හැටියට. ඒ පරීක්‌ෂණය අනිවාර්යයෙන්ම කරන්න ඕනේ.

ඔලමොට්‌ටල, මොන්ටිසෝරි වැඩක්‌ :

ප්‍රශ්නය – ඔබ විසින් පරීක්‌ෂණ සම්බන්ධයෙන් බලපෑම් කරන්නේ නැති බව කිව්වට, කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාගේ වත්ත සෝදිසි කිරීමෙන් පසු, ඒ පිළිබඳව පොලිස්‌පතිවරයාට දෝෂාරෝපණය කර තිබෙන බව මාධ්‍ය මගින් අනාවරණය වුණා…

පිළිතුර – කුමාර වෙල්ගම මන්ත්‍රීතුමාගේ වත්තක්‌ හාරලා වෙඩි නොවදින රථ දෙකක්‌ හොයලා තියෙනවා කියන එක, මාධ්‍ය තුළ තමයි මම දැක්‌කේ. මේක ඔලමොට්‌ටල, මොන්ටිසෝරි වැඩක්‌ විදිහටයි මම දකින්නේ. පදනම් ආයතනයේ මම කියපු දේවල් මේ වගේ කාරණාවලින් ඔප්පු වෙන්නේ නැද්ද…? මේ වැඩ මම අනුමත කරන්නේ නැහැ.

අනවශ්‍ය දේශපාලන ප්‍රශ්න, රජය අප්‍රසාදයට පත්කිරීම වැනි කාරණා මතුවෙනවා. ඉතාම ලාබාල මේ වැඩ ගැන තමයි මම එදා කතා කළේ.

(දිවයින)

Share on Google Plus

0 comments:

Post a Comment